Sinhala story Blog

ජූනි 27, 2012

විපරීතයි එහෙත් ඇත්තයි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:46 පෙ.ව.

“අපි මෙහි දී මූලික වූ දැයක් නොදැක සිටිනවා,” ජනාධිපතිවරයා කීය.

“අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් එක්ක යුද්ධයක ඉන්නෙ. අපිට බැහැ හතුරාව ආරක්ෂා කරන්න හමුදාව යවන්න. ඒ වගේ යෝජනාවක් කෙළින් ම ප්‍රතික්ෂේප කරාවි. අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් එක්ක යුද්ධයක ඉන්නවා විතරක් නෙමෙයි අද අපි යුද්ධයෙන් පැරදිලා ඉන්නෙ, ඒ නිසා අපි ඉන්නෙ අවුල්ජාලයක, අපිට කරන්න දෙයක් නැති ස්ථානයක. අපි ඒ නිසා වහාම රුසියානුවන්ට විරුද්ධව මුකුත් පියවර ගන්න කළින් මේ අවුලෙන් ගැලවෙන්න සාමය සඳහා කොන්දේසි ගැන කතා කරන්න පටන් ගන්න ඕන.”

“ඔබ කියන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, එහි මිලියන එකසිය හැටක් වූ ජනගහණයත්, එහි දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයත්, එහි ගණනය කළ නොහැකි වස්තුවත්, එහි මහා විසාල වූ අවි ආයුධත් එක්ක අපි මේ ෆුට්බෝල් තරඟයකට ඇති තරම් සෙනඟක් වත් එකතු කරගන්න බැරි ජනගහණයක් ඉන්න රටක් එක්ක සාම කොන්දේසි ගැන කතා කරන්න ඕනා කියල ද?”

“විපරීතයි එහෙත් ඇත්තයි,” ජනාධිපතිවරයා උත්තර දුනි. “මම හිතන්නෙ නැහැ අපිට කෝන්වලිස් යටත් වෙද්දී ඒක බ්‍රිතාන්‍යයන් එතරම් කැමැත්තකින් පිළිගත්තාය කියලත්. අපි ඒ කාලේ ඉතා කුඩා ජාතියක්. ඔවුන් ඉතා මහත් ජාතියක්. වෙන කාටවත් වෙනත් විකල්ප සැලැස්මක් තියෙනවා ද?”

කිසිවකුටත් වෙන සැලැස්මක් තිබියේ නැත. රාජ්‍ය ලේකම්වරයා ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව වෙත ජනාධිපති ගුවන් යානයෙන් ගොස් රටවල් දෙකේ සාමය යළි ඇති කිරීම සඳහා පූර්ණ බලයැති නියෝජිතයෙක් ලෙසින් කටයුතු කරන්නට තීරණය කෙරුණි. එකිනෙකාට සහාය දීමේ ගිවිසුමක් සඳහා ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට එල්ල විය හැකි ප්‍රචණ්ඩත්වයකින් ඔවුන් ගලවා ගැනීම පිණිස ඇමෙරිකන් යුද හමුදා බල සේනාංක පහලොවක් දීමට ද තීරණය කෙරුණි. ඇමෙරිකන් යුද හමුදා සේනාංක පහලොව ඔස්ට්‍රියාවේ ඇමෙරිකන් පැත්තේ වූ ලින්ස් නගරයේ, සෝවියට් සේනාංක වලට සැතපුම් ගණනක් ළඟින්, ක්ෂණයෙන් සූදානම් කර හැකි යැයි ඇසීමෙන් සෙනෙට් සභික ග්‍රිෆින් තරමක් සංසුන් වූයේය.

“පුළුවන් තරම් දේවල් දෙන්නම් යැයි ඔවුන්ට පොරොන්දු වෙන්න,” ජනාධිපතිවරයා රාජ්‍ය ලේකම්වරයාට උවදෙස් දුනි. මේ සියල්ලට ම හේතු වෙච්ච සැන් රෆායෙල් පිනෝ වයින් වහාම වෙළඳපොලෙන් ඉවත් කරනවා. අපි ඔවුන්ට දෙමු විශේෂ වරප්‍රසාද ඔවුන් කැමති තරම් ප්‍රමාණයක් ඔවුන්ගේ පිනෝ වයින් ඇමෙරිකාවට ආනයනය කරන්නට. අපි දෙන්නම් කියන්න ඔවුන්ට සල්ලි, යන්ත්‍ර, තාක්ෂණික සහාය -ඕනෑම දෙයක්. ඒවා සඳහා බෝම්බයත්, ආචාර්ය කොකින්ට්ස් වත් අපට ආපහු දෙනවා කියන්නට ඔබ ඔවුන් කැමති කරවා ගන්න. ඒක බැරි නම්, අඩුම ගානේ බෝම්බය රුසියානුවන්ට දෙන්නෙ නැහැ කියන සහතිකය වත් ලබා ගන්න වෙහෙස වෙන්න. ජනරාල් ස්නිපෙට් සහ අර පොලිස් නිලධාරීන් හතරදෙනාවත් ආපහු ඉල්ල ගන්න ඕන,” ජනාධිපතිවරයා එය එකතු කළේ යමක් මතක් වුනු ලෙසට ය.

ජනාධිපතිවරයා ලේකම්වරයා දිහා ඔහුව තක්සේරු කරන ඇසකින් බැලුවේය. “මට ඕනකමක් නැහැ පුද්ගලිකත්වයට ඇඟිලි ගහන්න,” ඔහු එකතු කළේය, “ඒත් මම දන්න විදියට ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ පාලකයා, රූමත් තරුණ කාන්තාවක්. ඒක මතකයේ තියාගෙන .. හ්ම් … ටිකක් කඩවසම් පෙනුමකින් ඉන්න බලන්න. මම හිතන්නෙ තෑගි ටිකක් අරගෙන ගියොත් හොඳයි. මොනවා ද යෝජනා කරන්නෙ?”

රාජ්‍ය ලේකම්වරයා කියන්නට ගියේ නිව් යෝර්ක් ෂැම්පේන් බෝතල් කෙස් දොලහක් යැයි කියන්නට වුවත් එය පිටවෙන්නට පෙර මඟහරවා ගෙන, “මින්ක් කබායක් කොහොම ද?” යැයි ඇසීය.

“එපා,” ජනාධිපතිවරයා කීය. “අධිසීතකරණත් එපා. වෙන දෙයක් හිතන්න.”

ඔවුන් දියමන්ති මාලයක් තීරණය කළහ. ලේකම්වරයාට ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ ඇති නයිලෝන් කකුල් ආවරණ ගැන ද සොයා බලන්නට අණක් ලැබුණි. මේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ එවැනි තෑගි කාන්තාවන් අතර ඉතා ජනප්‍රිය වූ නිසා ය.

ප්‍රසීඩියම් රැස්වීම හා ඇමෙරිකන් කැබිනෙට්ටු රැස්වීම අතර මැද කාලයක දී ලන්ඩනයේ මහජන මන්ත්‍රණ මණ්ඩලයේ ගෞරවනීය බයිරන් පාට්රිජ් විදේශ ලේකම් වෙතින් ප්‍රශ්නයක් අහන්නට නැඟිට සිටියේය.

“අතිගරු රැජිනගේ ආණ්ඩුව දන්නවා ද,” ඔහු ඇසුවේය, “ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව විසින් ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරලා කියා, දනව්වේ විශේෂ හමුදා බලකායක් නිව් යෝර්ක් නගරය ආක්‍රමණය කරලා කුවේඩියම් කියලා මහා විශාල ප්‍රදේශයක් විනාශ කරන්නට සමත් බෝම්බයක් අරන් පලා ගිය බව?”

විදේශ ලේකම් ඉතා සෙමෙන් නැඟිට්ටේ ය. යාන්තමකින් කඳ නවා ආචාර කර, “මේ සිද්ධියේ සියළු තොරතුරු ගැන අතිගරු රැජිනගේ ආණ්ඩුව සියල්ල දන්නවා,” යැයි කියා වාඩි විය.

“මේ සිද්ධිය නිසා ඇතිවන ගැටළු මර්ධනයට ගන්නා ලද පියවරයන් මොනවා ද කියා, එහෙම ගන්නා යම් පියවර ඇත්නම්, කියන්නට අතිගරු රැජිනගේ ආණ්ඩුව සුදානම් ද?” ගෞරවනීය බයිරන් පාට්රිජ් නැවතත් ඇසුවේය.

විදේශ ලේකම්වරයා ඔහු අසලින් වාඩි වී සිටි අගමැතිට මඳක් ළං වී අගමැතිගේ කණට යමක් කොඳුරා පැවසීය. අගමැතිවරයා නින්දේ පසුවන්නා සේ පෙනිණ. ඔහුගේ ඇස් පියැවී ඇත. නිහැඬියාව මැද්දේ මන්ත්‍රී සභාවට ඔහු වෙතින් එන ගොරවන වැනි වූ සද්දයක් යාන්තමින් ඇසිණ. ලේකම්වරයා රහසින් කොඳුරා අවසන් වූ පසු කෙසේ නමුත් අගමැතිවරයා බුල්ඩෝග් වර්ගයේ බල්ලෙක් මෙන් නැහැයෙන් පිඹ ඉතා පැහැදිලිව “ඔබේ පරෙවියා, ටෝනි,” යැයි කියනවා සැමට ඇසිණ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: