Sinhala story Blog

ජූනි 16, 2012

යටත් වෙලා නැහැ ඒත් පරාජය වෙලා

Filed under: Uncategorized — sinhalashortstories @ 5:57 පෙ.ව.

ජනාධිපතිවරයා අසුනින් නැඟිට මේසය වටා ඇවිද ගොස් ආරක්ෂක ලේකම්වරයා ඉදිරියේ සිට ගෙන ඔහු දිහා පහළට හිස යොමු කර බලා සිටියේය.

“ඔබ සනීපෙන් ද අසනීපෙන් ද යනාදී ප්‍රශ්න කිසිවක් මම අහන්න යන්නෙ නැහැ. මොකද මම හිතනවා ඔබ ඉන්නෙ සුවයෙන් කියලා,” ඔහු කීවේය. “මේක විහිළුවක් ද කියලා අහන්න යන්නෙත් නැහැ. මොකද මම දන්නවා ඔබට ඇමෙරිකාවේ ජනාධිපති කාර්යාලය ගැන ගෞරවයක් තියෙන බව. ඒ නිසා ඒක විගඩමකට පාවිච්චි කරන්නෙත් නැහැ. දැන්. මට දෙන්න සාධක. කවුද මේ අනිත් ජාතිය? මොනවා ද ඔවුන් කළේ? කවදා ද ඔවුන් එය කළේ? ඇයි ඔවුන් එහෙම කළේ? ඒ සේරටම වඩා, මට දැනගන්න ඕන ඔබ කොහොම ද නිගමනය කළේ ඔවුන් අපිත් එක්ක කරපු යුද්ධයෙන් දිනුවා කියන එක? මට පෙනෙන්නෙ නැහැ අපි යටත් වූ ජාතියක් කියා.”

“යටත් වෙලා නැහැ, ජනාධිපති මහත්තයා,” ආරක්ෂක ලේකම්වරයා කීවේය. “ඒත් පරාජය වෙලා.” පුටුවේ පැත්තකට බර වූ ඔහු බිම තිබි ලිපි ගොනුවක් අතට ගත්තේ ය. “අපි යමු ද මේසය ළඟට?” ඔහු නොසන්සුන් ලෙසින් ඇසීය.

ජනාධිපතිවරයා කෙටියෙන් හිස සොලවා පළමුව ඒ පැත්තට පිය නැඟුවේය.

ලිපි ගොනුවෙන් කඩදාසි රෝලක් අතට ගත් ආරක්ෂක ලේකම්වරයා එය මේසය මත දිග හැරියේය.

එහි මුදුනේ හිස් දෙකකින් යුත් උකුස්සාගේ ලාංඡනය විය. උකුස්සා එක හිසකින් “ඔව්” යැයි ද අනිත් හිසෙන් “නැහැ” යැයි ද කියයි. එයට යටින් පරණ ඉංග්‍රිසි අකුරු වලින් “ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව” යැයි ලියා තිබිණ.

ජනාධිපතිවරයා එය හිමිහිට සහ හඬ නඟා කියැවීය. එහෙත් අවසන් පරිච්ඡේදයට පැමිණි විට, “මෙසේ තීරණය කරන ලදි, මෙම සිද්ධිය සාමකාමීව සමථයකට පත් කරන්නට ගත් සියළු වෑයම් අසාර්ථක වූ නිසා දැන් මෙහි දී ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව ඇමෙරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර සිටිමු.” එය කියැවූයේ දොම්නසිනි. හැම වචනයක් ම හිමිහිට උච්චාරණයෙනි. “මෙහෙම කතාවක් කවදාවත් අහලා නැහැ,” යැයි කියූ ඔහු සෙමෙන් තම පුටුවට බර දී ආරක්ෂක ලේකම්වරයා දෙස බලා සිටියේය.

තම තම පුටුවල හිඳගත් දෙදෙනා එකිනෙකාගේ මුහුණු බලාගෙන කිසිත් වචනයක් පිට නොකර පැය භාගයක් පමණ ගෙවා දැමූහ. වචන පිට කරන්නට නුසුදුසු වේලාවක් යැයි දෙදෙනාට ම හැඟී ගොස් තිබිණ. වදන් පිට නොකර එකිනෙකාගේ සිත්වල ඇති හැඟීම් වටහා ගත යුතු වූ වේලාවකි. එහෙත් සිතුවිලි සියල්ල ඉතාමත් අවුල් ය. ඒවා සියල්ල මහා විපත්තියක පෙර නිමිති ද නැත්නම් අනිසි සමච්චලයක් ද යන අන්ත දෙක අතර ගලා ගිය සිතුවිලි ය. අවසානයේ නිහැඬියාව බිඳියේ ජනාධිපතිවරයාය.

“ඔන්න ඕක මට ආයෙත් දෙන්න,” ඔහු ඉල්ලා සිටියේය. ලේකම්වරයා ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්වේ යුද ප්‍රකාශය ඔහුට දුන්නේ ය. ජනාධිපතිවරයා එය නැවතත් කියැවීය.

“හරි එහෙනම්,” ජනාධිපතිවරයා කීය. “කොහෙන් ද මේක ආවේ? මම හිතන්නෙ ඔයා විමසා බලන්න ඇති මේක නිල මාර්ගයකින් ආව ද නැද්ද කියලා.”

“මම සොයා බැලුවා,” ලේකම්වරයා කීවේය. “ඔව්, නිල මාර්ග වලින් තමයි ඇවිත් තියෙන්නෙ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන චෙස්ටර් එක්ස්. බෙස්ටන් කියන ලිපිකරුවාගේ නිවසේ දී රහස් පොලීසිය විසින් සොයාගෙන තියෙනවා. ඒක සොයාගෙන තියෙන්නෙ එයාගෙ නිවස උණුසුම් කරන රේඩියේටරය පිටිපස්සෙ තිබිලා.”

“මොන එහෙකට ද එතැන තිබිලා තියෙන්නෙ?” ජනාධිපතිවරයාගේ මුහුණ කෝපයෙන් රෝස පැහැ ගැන් වී තිබිණ.

“ඒක බෙස්ටන්ගෙ වැරැද්ද නෙමෙයි,” ලේකම්වරයා වහාම පිළිතුරු දුන්නේ ය. “ඔහු මධ්‍යගත යුරෝපීය අංශයේ වැඩ කරන කෙනෙක්. හැමදාම පණිවුඩ ගෙනෙන කෙනෙක් තමයි එය ඔහු අතට පත් කරලා තියෙන්නෙ. ඒත් ඔහු සිතා තියෙනවා ඒක පත්තර කාමරයේ ඉන්න අයගේ විහිළුවක් කියලා. ඒක පොකැට්ටුවේ දාගෙන ඔරු පදින්න ගිහින් එදා සවස. ඔරුව පෙරළිලා. ඉතින් යුද ප්‍රකාශය ඔහු රේඩියේටරය ළඟින් තියලා තියෙන්නෙ වේලෙන්නට. ඊට පස්සෙ ඒ ගැන අමතක වෙලා. රහස් පොලීසිය ඒක හොයාගත්තෙ අපි ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්ව හා යුද්ධ කරනවා කියල සොයාගත් අනිත් සාධක ගැන විමසද්දී තමයි.”

“මොනවා ද ඒ අනිත් සාධක?” ජනාධිපතිවරයා කෙටියෙන් ඇසීය.

ලේකම්වරයා කෙටි කාර්යක්ෂම වූ වාක්‍ය්‍යන් වලින් සම්පූර්ණ කතාව පැහැදිලි කළේය. අඟහරු ලොවෙන් ආ මිනිස්සු ගැන කතාවක් පැතිර ගිය හැටිත්, යුද වස්ත්‍ර හැඳගත් පිරිමි කල්ලියක් මෑන්හැටන් දිවයිනේ සිටි බවත්, ජනරාල් ස්නිපෙට් අතුරුදහන් වී ඇති බවත්, ඔහුගේ තැලී පොඩී වී ගිය වාහනය සොයාගත් බවත්, ඒ සමඟ නැව්තොටුපොලේ තවත් වාහන තුනක් තිබි බවත්, රේගු ගොඩනැඟිල්ලක ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වේ කොඩිය ලෙලදුන් බවත් කියා සිටියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: