Sinhala story Blog

ජූනි 6, 2012

ජනරාල් ස්නිපෙට් අතුරුදහන්

Filed under: Uncategorized — sinhalashortstories @ 7:35 පෙ.ව.

අසූහය වැනි වීදියේ බටහිර පැත්තේ උමං දුම්රිය පොළේ නැවතූ දුම්රියක් මංකොල්ලා කන්නට පිරිමි කට්ටියක් පටන් ගත්හ.

ඔවුන් මෝටරයේ කෑලි බොහොමයක් ඉවත් කර සීට් කුෂන් ද ඉරා දැමූහ. ඔවුන්ව නවතන්නට ගත් පියවර කිසිවකට ඒ මංකොල්ලා කෑමේ නොයෙදී සිටි අය ඉඩ දුන්නේ ද නැත. උමං දුම්රිය පරිහරණයේ දී වසර ගණනාවක් තදබදයෙන් පීඩිතව, එහි කන්දොස්කිරියාවෙන් කූපිත ව, එහි කිළුටු බවින් අප්‍රසාදයට පත් වී සිටි නිව් යෝර්ක් වැසියන් තම පළිගැනීමට මෙය කදිම අවස්ථාවක් කර ගත්හ.

හැත්තෑහත් වැනි වීදියේ නැගෙනහිර පැත්තේ උමං දුම්රිය පොළේ දුම්රියක් පීලි පැන තිබුණි. නැවතුම් පොළේ වූ බිත්ති වල අලවා තිබි මිනිස් මුහුණක් ඇති හැම පෝස්ටරයකම උඩු රැවුලක් ඇඳ තිබුණි. ඒවා පිරිමි මුහුණු ද ගැහැණු මුහුණු ද කියා සැලකිල්ලක් දක්වා තිබුණේ නැත. විස්තර කර නොහැකි විදියකින් පනස්නව වැනි වීදියේ උමං දුම්රිය පොළේ දී අවදානම් ඇඟ වූ නලා හඬින් ජනතාව කොටු වෙද්දී එහි වූ සියල්ලෝම සිගරට් හිඟයකින් පෙළුනහ. බාරකරුවන් කියා සිටියේ නැවතුම් පොළේ පන්සියයකට වඩා ජනතාවක් සිටිනා බවත් එහෙත් තිබුනේ සිගරට් පැකට් විස්සකට වඩා අඩුවෙන් බවත් ය. ඒවා ඉක්මණින් ඉවර වී ගොස් රැස් වී සිටි අය අතරින් කිහිප දෙනෙක් “කැමල් සිගරට්ටුවක් සඳහා පරමාණු ගොඩක් සමඟ වුවත් සටන් වදින්නම්” යැයි සටන් පාඨ කියන්නට පටන් ගත්හ. අන්තිමේ දී පන්සිය දෙනාම “පිලිප් මොරිස්ට කතා කරන්න,” යැයි මුර දෙන්නට වූහ. ඔවුන්ගේ අඬහැරය දිගු වූ ද, අන්ධකාරයෙන් වෙළී තිබුණා වූ ද උමං මාර්ග වල දෝංකාරය දෙමින් පැතිර ගියේය.

තවත් දුසිම් ගණනක විරෝධතා මෙයාකාරයෙන් තැන් තැන් වල පටන් ගෙන ඇති බව වාර්තා ගලා ආවේය. නිව් යෝර්ක් නගරයෙන් පමණක් නොව අනිත් නගර වලින් ද ඇසෙන්නට විණ. ඊට සරල හේතුව මේ තරම් ජනගහණයක් පාලනය කරන්නට වූයේ නිලධාරීන් අතලොස්සක් පමණක් වීමයි. එසේම, ජනගහණය, ඒකීය වශයෙන් මෙන් ම එකතුවක් වශයෙන් ද ආරක්ෂිත කඳවුරක හිර වී ඉන්නවාට වඩා තමන්ගේ ඉරණමට එළිමහනේ දී මුහුණ දෙන්නට වඩා කැමති වූහ.

ඉතින් මේ හේතු නිසා අවදානම් නළාව හැඬ වී පැය හයකට පසු පුහුණුව නිමා විය. එය ඔවුන් ඊට වඩා මහත් කාලයක් තුල පවත්වන්නට සිතූවකි. ආරක්ෂක ලේකම්වරයාට පුහුණුව අයින් කරගන්නට විශේෂ වූ හේතු ද තිබිණ.

එයින් ප්‍රධාන ම හේතුව වූයේ ජනරාල් ස්නිපෙට් අතුරුදහන් වීමයි. අඟහරු ලොවෙන් ආ මිනිස්සු ගැන වග විභාගයක් පවත්වන්නට පිටත් කර හැරි ඔහු පැය තුනකින් ආපසු වාර්තා නොකිරීම නිසා ලේකම්වරයා නිව් යෝර්ක් හි ජනරාල්වරයාගේ මූලස්ථානය ඇමතීය. ජනරාල්ව හොයන්නට පිරිසක් පිටත් කර යැව්වේය. ඒ පිරිසට අයිති වූ මෝටර් සයිකල් වලින් ගිය පොලිස් නිලධාරීන් දෙසියයක් මෑන්හැටන් දිවයිනේ බැටරි සිට බ්‍රොන්ක්ස් දක්වා හැම වීදියක ම හැම මාවතක ම විපරම් කරන ලදි. එහෙත් ජනරාල් ගැන කිසිම හෝඩුවාවක් දැන ගන්නට නොතිබිණ. ඔහුගේ රථය, හඬ රථ දෙකක් හා ආහාර සපයන කැන්ටින් රථයත් සමඟ කුනාඩ් නැව් තොටුපළ අසල දී සොයා ගත්හ. වාහනයේ තැලිම් පොඩිවීම් කිහිපයක් දකින්නට ලැබුණු අතර, මහත් ගුප්ත වූ සොයා ගැනීම වූයේ යාර තුනක් දිග ඊතලයක් පිටුපස ආසනයේ සීට් එක පසාරු කර තිබීමයි. මේ වාර්තාව යැවූ විට, ලේකම්වරයා වාහන සියල්ලම පොලිස් ගරාජයට රැගෙන ගොස් ඔහුට පුද්ගලිකව ඒවා පරීක්ෂා කර බලන්නට ඉඩක් ලැබෙන තුරු එහි සුරක්ෂිතව තබන්නට යැයි අණ නිකුත් කළේය. එහෙත් තවත් වරක් ඒ ගැන සිතූ ලේකම්වරයා ඊතලය වහාම විශේෂ පණිවුඩකරුවකු අත තමාට එවන්න යැයි නියෝග කළේය.

පොලීසිය විසින් තවත් වාර්තාවක් රපෝර්තු කරන ලදි. එහෙත් මේ වාර්තාව එන්නේ ටික කාලයක් ගෙවී ගිය පසුව ය. ඒ කොලොම්බියා විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැඟිල්ලේ ප්‍රධාන දොරටුව කඩා ඇතැයි කියූ වාර්තාවයි. දොර කඩන්නට යොදා ගත් ගස් කඳ ඒ අසල ඇති බවත් වාර්තාවේ කියන ලදි.

Advertisements

ප්‍රතිචාර 2 »

  1. top

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — ජූනි 6, 2012 @ 2:01 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: