Sinhala story Blog

මැයි 29, 2012

ඒකෙ ඇත්තෙ වැලි සහ පස් විතරක් වෙන්නැති

Filed under: Uncategorized — sinhalashortstories @ 6:27 පෙ.ව.

“මේ බලන්න,” ටලී කීවේ ගෙවී යන මිනිත්තු ගැන අවධානයෙන් හටගත් දොම්නස් බවිනි.

“මේක මායාවක් නෙමෙයි. මේක සෑහෙන බරපතල කාරණයක්. දැන් මාස දෙකක් වෙනවා ග්‍රෑන්ඩ් ෆෙන්වික් ආදිපාද දනව්ව ඇමෙරිකාවට එරෙහිව යුද ප්‍රකාශ කරලා. අපි නිව් යෝර්ක් නරගය ආක්‍රමණය කළා. ඔබ අපේ සිරකරුවා. අපි ඔබව අරගෙන යනවා අපිත් එක්ක ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වට.”

“ඒත් ඇයි ග්‍රෑන්ඩ් ෆෙන්වික් ඇමෙරිකාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ?” ආචාර්ය කොකින්ට්ස් විමසීය.

“වයින් නිසා,” විල් පිළිතුරු දුනි. “ඇමෙරිකන් ඔබලා අපේ වයින් කොපි කරලා මොනවද ජරාවක් පිනෝ ග්‍රෑන්ඩ් ෆෙන්වික් කියලා නම් කරලා. අන්න ඒ නිසා.”

“වයින් නිසා,” ආචාර්ය කොකින්ට්ස් කීවේය. “නැත්නම් වෙන අහවල් කාරණයකට ද කවුරු හරි ජාතියක් ඇමෙරිකාව එක්ක යුද්ධ වදින්නෙ?” ඔහු දෙවුර හැකිළුවේ දැන් සම්පූර්ණ තත්වය පැහැදිලි වූවා යැයි කියන්නට මෙනි.

“මේ ඇති,” ටලී ගෝරනාඩු කළේය. “ඔබ එනවා අපිත් එක්ක අපේ යුද සිරකරුවෙක් හැටියට. ඔබයි ඔබ හැදූ බෝම්බයයි. කෝ බෝම්බය?”

“බෝම්බය?” ආචාර්යවරයා කීවේය. ඔහු වැටෙමින් සිටි සිහිනයෙන් ඔහු වහාම අවදි විය. “බෝම්බය? මොන බෝම්බයක් ගැන ද ඔබ කතා කරන්නෙ? මම දන්න බෝම්බයක් නැහැ.”

“මේ මෙතැන කියලා තියෙන බෝම්බය,” ටලී නිව් යෝර්ක් ටයිම්ස් තීරුව ඔහු ඉදිරියේ වනමින් කීවේය. “පත්තු වුනොත් ඔක්කොම විනාශ කරන බෝම්බය.”

භෞතික විද්‍යාඥයා ඔවුන් වෙතින් දෙනෙත් මෑත් කර බංකුව මත වූ ඊයම් පෙට්ටිය දිහා තත්පයකට බැල්මක් හෙලුවේ ය. ක්ෂණයෙන් ඔහු එය අල්ලා ගන්නට පියවරක් තැබුවේ ය. එහෙත් ටලී ඔහුට කළින් එය තම විසල් සුරතේ රඳවාගන්නට සමත් වූයේය.

“මේක ද එහෙනම්?” ඔහු ජයග්‍රාහී ලීලාවෙන් විමසීය. ඔහු අත දිගුකර එය පෙන්වූයේය. එය වැටෙන්නට ලිස්සා යද්දී අනිත් අතින් එය අල්ලා ගත්තේ ය. ඔහුගේ අසිපත හඬ නංවමින් බිමට පතිත විය. බැලේ නර්තංගනවාක් මෙන් ආචාර්ය කොකින්ට්ස් ඇඟිලි වලින් ඉස්සී නැවත හිමිහට පහත් විය. තඩි කාච සහිත ඇස් කණ්ණාඩි ඇතුලේ ඔහුගේ දෑස් කිටි කිටියේ වැසී තිබුණි.

“කරුණාකරලා,” ඔහු නළල අතකින් පිස දමමින් කීවේය, “ප්‍රවේසමෙන්. පුංචි මී පැටියෙක් වගේ ඒක අල්ලගන්න. ඔව්. ඒක තමයි බෝම්බය. ඔය විදියට ගැස්සුවොත්, හෙලෙව්වොත්, නැත්නම් බිම වැට්ටුවොත් හරි ඒකෙ හැප්පුනොත් හරි ඒකට කුමන විදියකින් හෝ බාධා කළොත් ඒක පුපුරනවා. ඒක පිපුරුනොත් නිව් යෝර්ක් නගරයයි, ෆිලඩෙල්ෆියාවයි, බොස්ටන් නගරයයි ඔක්කොම විනාශ වෙනවා. සැතපුම් ගණනාවක් යනතුරු ඉන්න හැම ජීවියෙක් ම මරා දායි. ඒ හැරෙන්නට එයින් නිකුත් වෙන විෂ වායු වලින් හසුවෙන හැම දෙයක් ම නැති කරයි. තව අවුරුදු ගණනාවක් යනතුරු එහෙම වේවි. ඉතින් මම ඉල්ලා සිටිනවා, ඉතා ප්‍රවේසමින් ඒක ආපහු තියලා මිලියන ගණනක අහිංසක ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා.”

විල් මේ සිද්ධිය දිහා සැක සහිතව බලා සිටියේය. මේ බෝම්බය ගැන කතාව කුමක් දැයි ඔහු නොදත්තේ ය. ඒත් ටලී කියනවා නම් බෝම්බයක් ඇතියි කියා එහෙම නම් බෝම්බයක් ඇත. ඒත් අනිත් අතට අර කුඩා පෙට්ටියේ ඇත්තේ මුළු ග්‍රෑන්ඩ් ෆෙන්වික් දනව්වත් තවත් විශාල පෙදෙසකුත් විනාශ කරන්නට සමත් වූවක් යැයි මේ ආචාර්ය කොකින්ට්ස් කියන්න පිළිගැනීම ඉතා දුෂ්කරය.

ඔහු අසිපත අමෝරා ගෙන බෝම්බය වෙත ඇදුණි.

“ඒක මට දෙන්න.” ඔහු කීවේය, “මම ඒක දෙකට කපලා බලන්නම් ඇතුලේ මොනවා ද තියෙන්නෙ කියල. මම හිතන්නෙ මේ මිනිහා බොරු කියනවා කියල. ඒක ඇතුලේ වෙඩි බෙහෙත් තිබුණත් මේ කාමරය පුපුරවා හරිනවාට වඩා දෙයක් කරන්න බැරි වේවි. ඒකෙ ඇත්තෙ වැලි සහ පස් විතරක් වෙන්නැති.”

“එපා! එපා!” ආචාර්ය කොකින්ට්ස් බෙරිහන් දුන්නේ ය. “එපා, කරුණාකරලා. මම වැඳ වැටෙනවා. ඒකට පහර දෙන්න එපා කියල.” ඔහු විල් වෙත දිවගොස් අත් දෙකෙන් ම විල්ගේ අසිපත බදාගත්තේ ය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. නියමයි

    ප්‍රතිචාර විසින් Dinuka Jayasinghe — මැයි 29, 2012 @ 9:33 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: