Sinhala story Blog

මැයි 23, 2012

පොරොන්දු වෙන්නම් මම කොහේවත් යන්නෙ නැහැ කියලා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:37 පෙ.ව.

“ඩිකී,” ඔහු අසල කූඩුවක සිටි කැනරි කුරුල්ලාට කතා කළේය.

ඒ කැනරි ඔහුගේ විද්‍යාගාරයේ සිටි එකම හිතවතා ය. “අපි දෙන්නම ගොඩක් පරිස්සම් වෙමු. දැන් මොනවා හරි කන්න ඕන වේලාව. මම ඔයාට ඩිංගක් එහා මෙහා පියාඹන්න කූඩුව ඇරලා දෙන්නම්. ඒත් මට පොරොන්දු වෙන්න අර පෙට්ටියෙ හැප්පිලා ඒක පොළවට වැටෙන්න හරින්නෙ නැහැ කියල. මොකද ඔයා එහෙම කළොත් මුළු නිව් යෝර්ක් නගරය ම දුහුවිලි වෙලා යයි. මාත් එක්කම.”

කැනරි කුරුල්ලාගෙන් පිට වූ දැඩි උද්දාමයකින් යුතු ගීත නාදය විද්‍යාගාරය පුරා පැතිර ගියේය.

“මම දන්නවා මේ පෙට්ටිය බිමට ඇදලා දාන්න තරම් හැකියාවක් නැහැ ඔයාට, ඔයා පුංචි නිසා,” ආචාර්ය කොකින්ට්ස් කියාගෙන ගියේය, “මම පොඩි නොසන්සුන් බවක් දැනෙනවා. හරි නම් මම ඒක ගලවලා දාන්න ඕන. ඒත් මට මහන්සියි. මගේ අත් වෙව්ලනවා. ඉතින් අපි පොඩ්ඩක් ඉන්න ඕන මොනවා හරි කාලා ඉවර වෙන කල්. ඊට පස්සෙ අපි ඒක ගලවලා දාලා නිදා ගනිමු.”

ඔහු සැන්ඩ්විච් පෙති සොයන්නට සාක්කුවට අත එබුවේය. පුරුදු පරිදි දුම්කොළ පයිප්පයත් දුම්කොළ පසුම්බියත් ඔහුගේ අත ගැටිණ. ඒවා වැඩි සිහි කල්පනාවකින් තොරව මේසය මත තබා නැවතත් සාක්කුවට අත දැමීය. තෙල් කඩදාසියේ ඔතන ලද යමක් අත ගැටිණ. සැක සහිතව එළියට ගත් එහි පරළු පාන්පෙති මැද පීකුදු සොසේජ් තීරු දෙකක් ඇති බව දැක්කේ ය. ඔහුගේ තඩි කාච සහිත කණ්ණාඩි තුලින් එය පිරික්සීය. ඉහත කලක ජීවය තිබි එහෙත් පාන්පෙති දෙක මැද ජීවිතක්ෂයට පත් වූ බවකින් එය ඔහුට පෙණින. අනිත් පොකැට්ටුවේ තවත් පොට්ටනියක් විය. නමුත් එහි වූ සැන්ඩ්විචය මීටත් වඩා සැක සහිත බවකින් දිස්විණ.

“ඩිකී,” විද්‍යාඥයා කීවේය, “මා ළඟ මේ සැන්ඩ්විච් දවස් දෙකක්, සමහර විට දවස් තුනක් තියෙන්න ඇත. මම හිතන්නෙ අපි මේවා කෑම සුදුසු නැහැයි කියල. මම දුරකතන සම්බන්ධීකරණ කාන්තාවට කතා කරලා බලන්නම් කාව හරි යවලා කන්න දෙයක් ගෙන්න ගන්න පුළුවන් වෙයි ද කියලා.” ඔහු දුරකතනය අතට ගෙන එහි 0 කරකැවීය. එයින් ඔහුට සම්බන්ධීකරණ පුවරුව ලැබේ. මිනිත්තු දෙක තුනක් ගත වූවත් කිසිත් ප්‍රතිචාරයක් නොලැබිණ.

“පුදුමයි,” ඔහු සිය ඔරලෝසුව දිහා බලමින් කීවේය, “තාම දහයාමාරයි. ඇය දවල් කෑමට ගිහින් වෙන්න බැහැනෙ.” ඔහු නැවතත් දුරකතනයේ බින්දුව කරකැවීය. මෙවර කළින් අල්ලා ගෙන සිටියාට වඩා කාලයක් එය අල්ලා ගෙන සිටියේය. අවසානයේ දී කටහඬක් පිළිතුරු දුනි. එය පිරිමි කටහඬකි. ආචාර්ය කොකින්ට්ස් මීට පෙර කිසිදාක සම්බන්ධීකරණ පුවරුවෙන් පිරිමි කටහඬක් අසා නැති නිසා එයින් මහත් පුදුමයට පත්වීය.

“මොකක් ද ඕනා?” අනිත් පැත්තෙන් ආ කටහඬ කිව්වේ උවමනාව කුමක් වුවත් එයට තමන්ට කතා කර බාධා කිරීම නොයුතු යැයි කියන ලෙසකිනි.

“මේ ආචාර්ය කොකින්ට්ස්,” භෞතික විද්‍යාඥයා උත්තර දුනි, “මට ඕනා මේකට උත්තර දෙන කාන්තාවට කතා කරන්නයි. මට සැන්ඩ්විච් එකක් ගෙනැත් දෙන්න ඇයට පුළුවන් දැයි අහන්න.”

“ආචාර්ය කොකින්ට්ස්?” කටහඬ විමසීය, ඉක්මණින් ආචාරශීලී විය. “මේ බිල්ඩිමේ බාරකාරයා. ඔබ කොහෙද ඉන්නෙ?”

“මගේ විද්‍යාගාරයේ. ඔබ කවුරු කියලා ද ඔබ කිව්වේ?”

“සතුරු ප්‍රහාරයකට මුහුණ දීම සඳහා වූ පුහුණුවේ දී ගොඩනැඟිල්ලේ බාරකාරත්වය ලද අය. දැන් පුහුණුවක් පැවැත්වෙනවා. ඔබ ඒක දන්නවා නේද?”

“පුහුණුවක් පැවැත්වෙනවා? අපි මෙච්චර ඉක්මණින් යුද්ධයකට ගිහින් ද? කවුරුත් ඒ ගැන කිසිවක් මට කිව්වෙ නැහැ. කාට හරි තිබුණා මට කියන්න.”

කටහඬ සංසුන් කරන ලෙසකින් සිනාසුණි. “නැහැ නැහැ, යුද්ධයක් නැහැ ඩොක්ට. ඒවා නිකම් කටකතා විතරයි. මේ බාරකරුවන් වන අපි දන්නවා යුද්ධයක් නැහැ කියල. ඒත් මේක සෑහෙන්න ලොකුවට කරන අවදානම් දැන්වීමක්. ඔබට බැහැ බිල්ඩිමෙන් පිටතට යන්න. බලාගෙන ගියාම, ඔබ ඉන්න ඕනා ඔබ ඉන්න තැනම. කවුරු හරි ඇවිදින් ඔයාව නිසි ආරක්ෂක කඳවුරකට ගෙන යන තෙක්.”

“ඒත් මට බෑ ආරක්ෂක කඳවුරකට යන්න. මට තියෙනවා මෙතැන දෙයක්, දාලා යන්න බැරි. ඒක කොහොමටත් දාලා යන්න බැරි දෙයක්.”

“ඔහ් .. ඒ ඔබේ කැනරි කුරුල්ලා ද? අපිට ඒක බලා ගන්නා පුළුවන් දෙයක්.”

“නැහැ, ඒ මගේ කැනරි කුරුල්ලා නෙමෙයි. ඒක සම්පූර්ණයෙන් ම වෙනස් දෙයක්. මට ඒක දාලා යන්න බැහැ. ඒත් මට බඩගිනියි. කාට හරි බැරි ද මට සැන්ඩ්විච් එකක් ගෙනැවිත් දෙන්න?”

බාරකරුවා මොහොතක් කල්පනා කළේය. ආහාර නොමැතිව හිර වුනු අය සඳහා ආහාර රැගෙන එන හදිසි සේවා අංශයේ කැන්ටින් සේවක පිරිසක් ඉක්මණින් එන බව ඔහුට සිහිවිය.

“පොඩ්ඩක් ඔය ඉන්න තැනම ඉන්න පුළුවන් ද ඩොක්?” ඔහු විමසීය. “මිනිත්තු දෙක තුනකින් කවුරු හරි කෑම අරගෙන ඒවා. මට පොරොන්දු වෙන්න වෙන කොහේවත් යන්නෙ නෑ කියල.”

“මම මුළු නිව් යෝර්ක් නගරයට ම පොරොන්දු වෙන්නම් මම කොහේවත් යන්නෙ නෑ කියල,” ආචාර්යවරයා පිළිතුරු දුන්නේ මහත් කැපවීමකිනි.

බාරකරුවා සිනාසීය. දුරකතන විසන්ධි කර එතැනින් නැඟිට ආහාර රැගෙන එන කැන්ටින් සේවකයන් එනවා දැයි බලන්නට ගියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: