Sinhala story Blog

මැයි 2, 2012

සියළු ඉදිරි ගමන් අඩාල කරන සිද්ධියක්

Filed under: Uncategorized — sinhalashortstories @ 1:58 ප.ව.

සියළු මාධ්‍ය්‍ය බලය නැවතත් එක්කාසු කරන ලදි.

මෙවර උත්සාහය වූයේ කිසිම ප්‍රහාරයක් අපේක්ෂා කරන්නේ නැතැයි පතුරුවා හරින්නට ය. දැනුම් දෙන ලද පුහුණුව හුදු සූදානමින් සිටීමට කරන ලද්දක් පමණි. පිට රටවල වාතාවරණය හොඳ යැයි ද, යුද්ධයේ අවසානයෙන් පසු වඩාත්ම හොඳ කාලය මෙය යැයි ද කියැවුණි. රාජ්‍යතාන්ත්‍රිකයන් මෙයට සාක්කි දුන්නහ. ජෙනරාල්වරුන් හා අද්මිරාල්වරුන් ඒ වදන් තහවුරු කළහ. ඊට දින දහයකට කළින් ඇමෙරිකාවේ ලේ උරා බොන සියළු පිටරටවල් වලට වහාම ප්‍රහාර එල්ල කළ යුතු යැයි කියා සිටි ජනරාල්වරයෙක් ද තම තමන්ගේ වෙනස් මත කතාබහින් සාමයෙන් විසඳාගත නොහැක්කේ මන්දැයි විමසුවේය.

“අපි,” ඔහු කීවේය, “සාමය අත ළඟට ම ගෙනැවිත් ඉන්නෙ -කලබල නොවී විනිශ්චයක් ගන්න ඉඩක් දුන්නොත්- අපේ ජීවිත කාලයන් පුරා විතරක් නෙමෙයි අපේ දරුවන්ගේ ජීවිත කාලයන් පුරා ද පැවැත්වෙන සාමය අත ළඟට ගෙනැත් තියෙන්නෙ.”

ඒ ඔක්කොම කෙසේ වෙතත්, -සූදානමින් සිටීමට කරන්නට ගිය දැනුම් දීමක් ගැනයි කිව්වාට, රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ සාක්කි වලින් සමන්විත වූවාට, යුද්ධයක් පෙනෙන මානයක නැතැයි ජනරාල්වරුන් හා අද්මිරාල්වරුන් එකඟ වූවාට, වෙන රටකින් හෝ රටවල් කිහිපයකින් පහර දීමක් ගැන දැන ගන්නට නැතැයි ජනාධිපතිවරයා විසින් මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියත්-
කිසිම ඵලයක් නොලැබිණ. මහජනතාවගේ මනසේ වූයේ එකම ප්‍රශ්නයකි: යුද්ධයක් හමුවේ නැත්නම් ඇයි අපි මෙවැනි දැවැන්ත පෙරහුරුවකට සූදානම් වෙන්නේ?

හදිසි කලබලයක් මැඬපවත්වන්නට කොතරම් උත්සාහ දැරුවත්, එය යාන්තමකට සාර්ථක කරගන්නට හැකියාව තිබිය දී, ඒ සියළු ඉදිරි ගමන් අඩාල කරන සිද්ධියක් හටගති.

රට ආරක්ෂා කරගන්නට අවි ආයුධ ප්‍රමාණවත් තරම් ඇත්දැයි විමසා රටේ හැම පැත්තකින් ම ගලා ආ දහස් සංඛ්‍යාත ලියුම් වලින් කැළඹුනු සිතැති ග්‍රිෆින් සෙනෙට් සභිකයා කුවේඩියම් බෝම්බය සාර්ථක සේ නිපදවා ඇතැයි අනාවරණය කරන්නට තීරණය කළේය. ඒ තීරණය ජනාධිපති, ආරක්ෂක ලේකම්, කැබිනෙට්ටුවේ අනිත් සාමාජිකයන් ද මුණ ගැසීමෙන් පසුව ගත්තකි. රටේ පැතිරෙන මහජන කැළඹිල්ල සමනය කරත හැකිවනුයේ ඇමෙරිකාවට වෙන කිසිම රටකට නැති දැවැන්ත විනාශයක් කරත හැකි අවියක් ඇති බව පැවසීමෙන් යැයි ඔහු පෙන්වා දුන්නේ ය.

පරමාණු ඉන්ධන කොමිසමේ සභාපති වශයෙන් ඔහු මාධ්‍ය හමුවක් කැඳවූයේය. සෙනෙට් කමිටු කාමරයකට රොක් වූ වාර්තාකරුවන්ට ඔහු බෝම්බය ගැන විස්තර ලබා දුනි.

“කියු-බෝම්බය, ආචාර්ය කොකින්ට්ස් විසින් සාර්ථක ලෙසින් නිම කරන ලද්ද,” ඔහු කීවේය, “සූර්යයාගේ දැවෙන ගිනිදැල් අපේ හතුරන් වෙත ඉලක්ක කරන්නට අවස්ථාවක් අපිට ලබාදෙනවා. අද තියන ප්‍රමාණයෙන් ඒක වර්ග සැතපුම් මිලියන දෙකක ඉඩක් විනාශ කරනවා. අපේ අතේ තියන විනාශකාරී බලයේ සීමාවක් නැහැ.

“කියන්න අවශ්‍ය නැහැ,” ඔහු තව දුරටත් කියාගෙන යයි, “අපි කවදාවත් කියු-බෝම්බය පාවිච්චි කරන්නෙ නැහැ. අපිට පාවිච්චි නොකර බැරි වුනොත් හැරෙන්නට.”

“පාවිච්චි නොකර බැරි අවස්ථාවක් වෙන්නේ මොකක් ද?” වාර්තාකරුවෙක් ඇසීය.

“අපිට කළින් වෙන රටක් ඒක පාවිච්චි කළොත් තමයි එහෙම අවස්ථාවක් ඇති වෙන්නෙ කියල මට විශ්වාසයි,” සෙනෙට් සභිකයා පිළිතුරු දුන්නේ ය. එය කියූ වහාම තමන් කියූ ප්‍රකාශයේ බරපතල වැරැද්ද ඔහුට පෙනී ගියේය.

“ඒ කියන්නෙ අනිත් රටවල් වල අයටත් කියු-බෝම්බයක් තියනවා කියලා ද?” වාර්තාකරුවා ඇසීය.

“අපි දන්න තරමින් නැහැ,” සෙනෙට් සභිකයා කීය. එය කටින් පිට වූ වහාම අනිත් රටවල් වලටත් අවිය ඇති බව ගැන සැකයක් තමන් විසින් ම ඇතුල් කළා යැයි ඔහුට වැටහිණි. තවත් හානියක් සිද්ධ වෙන්නට කළියෙන් ඉක්මණින් හමුව නිමා කරන්නට හේ යුහුසුළු වූයේය. ඔහු එය කළේ කියු-බෝම්බය තිබෙනා බවත්, ඒ නිසා වෙන කිසිවෙක් ඇමෙරිකාවට පහර දෙන්නේ නැති බවත් තහවුරු කරමිනි. ඒ කරුණ මාධ්‍ය හමුව පැවැත්වීමට ප්‍රධාන අරමුණ වුවත් එය සාර්ථක ලෙසින් කියැවුනේ නැති බව ඔහුට දැනුණි. ඔහුගේ සැකය නිවැරදි යැයි පෙනී ගියේය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. Reblogged this on Sinhala story Blog and commented:

    වැරදීමකින් මේ කොටසට කළින් ඊ ළඟ කොටස දාලා. සමාවෙන්න.

    ප්‍රතිචාර විසින් sinhalashortstories — මැයි 10, 2012 @ 10:04 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: