Sinhala story Blog

අප්‍රේල් 24, 2012

ගර්ජනය කළ මීයා -වංචාවෙන් නිදහස

Filed under: Uncategorized — sinhalashortstories @ 9:42 පෙ.ව.

ඇමෙරිකාවට පහර දෙන ග්‍රෑන්ඩ් ෆෙන්වික් විශේෂ හමුදා බලකායක් සංවිධානය අදිපාදවරිය හෝ ඇයගේ පක්ෂ නායකයන් දෙදෙනාම හිතුවාට වඩා සංකීර්ණ කටයුත්තක් විය.

මවුන්ට්ජෝයි සිටුවරයා බලාපොරොත්තු වූයේ විශේෂ හමුදාවක් අවශ්‍ය නොවේ යැයි කියා ය. යුද්ධ ප්‍රකාශ කිරීම පමණක් සෑහෙතැයි ඔහු තනිවම සිතුවේය. ඉන්පසු ලෝකයාට දන්වා වහාම යටත්වීමෙන් පසු ඇමෙරිකාව විසින් ප්‍රතිසංස්කරණ පටන් ගනු ඇතැයි සිතුවේය. එහෙත් යුද්ධ ප්‍රකාශ කර යවා සති හතරක් ගත වී ගියත් ඇමෙරිකාවෙන් කිසිම සද්දයක් නැත. මොනවා හරි පිළිතුරක් ලැබුණා නම් හොඳ යැයි ඔහු සිතූවේය. කිසිත් ප්‍රතිචාරයක් නැතිවීම ඔහුට දරාගත නොහැකිය. ඔහු තම බිය ආදිපාදවරියට කියන්නට නොගියේය. එහෙත් අහස් කුස දිහා බලන්නට පුරුද්දක් හේ පටන් ගති. යටත් වෙන්නට අවස්ථාවක් නොදීම කුමන මොහොතේ හෝ පරමාණු බෝම්බයක් ඇද හැලෙතැයි ඔහු බියෙන් පසුවිය. කුමක් වේ දැයි කතාබස් කරන්නට ඇමෙරිකන් නියෝජිතවරයෙක් ග්‍රෑන්ඩ් ෆෙන්වික් හි නොමැත. අවසානයේ දී ඔහු ආදිපාද දනව්වට ළඟ ම වූ ස්ථානය වන ප්‍රංශයේ ඇමෙරිකන් තානාපති කාර්යාලයට යන්නට ආදිපාදවරියගේ අවසරය ඉල්ලීය.

එහි ගිය ඔහුට සැවොම සිනා පා විහිළු කළහ. හැමෝම මේ සිද්ධිය විහිළුවක් සේ සලකනවා යැයි ඔහුට සිතිණ. ග්‍රෑන්ඩ් ෆෙන්වික් යුද ප්‍රකාශයට තානාපතිවරයා දුන් පිළිතුර වූයේ තදින් සිනහ වී පිටට තට්ටුවක් ගසා තමන්ට ඕනෑම බොරුවක් ඔප්පු කරන්න පුළුවන් යැයි ඩොලර් සීයයක් ඔට්ටු අල්ලන අයෙක් ගැන කතාව දන්නවා දැයි ඇසීමයි. ඒ ඇමෙරිකන් ප්‍රතිචාරය ආදිපාදවරියට වාර්තා කිරීම මවුන්ට්ජෝයි සිටුවරයා ඉතා අකමැත්තෙන් කරන ලදි.

මේ අවස්ථාවේ දී විශේෂ හමුදා බලකායක් සංවිධානයටත්, යුද්ධය පටන් ගන්නටත් තීරණය කෙරුණි. ටලී බැස්කොම්බ් ෆෙන්වික් හමුදාවේ උසස් කොස්තාපල් වශයෙන් ඇමෙරිකාවට එරෙහිව සටන් කරන පිරිස එකතු කරගන්නට පත් කරන ලදි.

ටලී වැඩ බාරගත්තේ යුහුසුළුව ය. තමන් සමඟ සටන් කරන්නට අවිගත් මිනිසුන් තිදෙනෙක් ද, දිගු දුනුවායන් විස්සක් ද ප්‍රමාණවත් යැයි ඔහු තීරණය කළේය. ආදිපාද දනව්වේ පරණ නීතියකට අනුව අවි ආයුධ සමඟින් යුද්ධයට යා හැකි සියළු පිරිමින්ට වහාම මාලිගය වෙත එන්න යැයි අණක් යවන ලදි. නියමිත දිනයේ දුනු, ඊතල හා කුඩා රවුම් පලිහ, කෙටි අසිපත්, මුගුරු හා හෙල්ලන් රැගත් හම් කබායන් ඇඳි, යුද්ධයට අඳින මුහුණු හිස් උරහිස් හා ගෙල වසන වස්ත්‍ර හැඳගත් හත්සියයක් පිරිමි මාලිගාවට ආහ.

බාල වයින් හදා තම වෙළඳපොල උදුරා ගන්නටත් අනගිත්වය අවතක්සේරු කරපු කැලිෆෝර්නියා වයින් හදන්නා ගැන උරණ වූ ෆෙන්වික් ජනතාව අතර යුද්ධය ඉතා ජනප්‍රිය වූවකි. උරුමයෙන් හිමි වූ කුසලතාවයෙන් නිමැ වූ තම නිෂ්පාදනයට වූ හානිය සඳහා පළිගන්නට සියල්ලන්ට ම හමුදාවට බැඳෙන්නට උවමනා වී තිබිණි. “අපේ පිනෝ ආරක්ෂා කර ගනිමු,” යන්නත් “වංචාවෙන් නිදහස” යන්නත් යුද්ධය ජය ගන්නට ඉතා ඉහළ අරමුණු වශයෙන් හැමෝම පිළිගත්හ. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් ද ආදිපාද දනව්ව පුරා කුඩා දුනු අතැතිව ඇවිදින්නටත්, හෙල්මට් වෙනුවට මුට්ටි පළඳින්නටත් පටන් ගත්හ.

ඒ තරම් උනන්දුවක් තිබි නිසා විසිතුන් දෙනෙක් පමණක් විශේෂ හමුදා බලකායට තෝරන්නට ටලීට අසීරු විය. එකින් එකා අඩු කරන ක්‍රමයකින් ඔහු අවසානයේ තෝරාගත්තේ අඩි පන්සියයක් දුරක සිට ඊතලයක් යවා හේසල් අත්තක් දෙකඩ කරන්නට හැකියාව ඇති ශක්තිමත් දේහ තිබි විසිදෙනෙකි. අවිගත් තුන්දෙනා තෝරාගැනීම වඩා පහසු විය. මන්ද ආදිපාද දනව්වේ අවි අයිතියට ඉඩ ලැබුනේ විසි දෙනෙකුට පමණි. ඒ අය අතර ලොතරැයියකින් තුන්දෙනෙක් තෝරාගන්නවාට ඔව්හු සියල්ලෝම කැමති වූහ.

ඉන්පසු පටන් ගැනුනේ ආදිපාද දනව්වේ හමුදාව පුහුණු කරන සමයයි. සියළු බඩු රැගෙන කඳු නඟින්නටත්, සීතල ගංඟාව එහාටත් මෙහාටත් නැවතත් එහාටත් තරණය කරන්නටත්, දුනු හරඹය හා කළුවරේ සටන් කරන්නටත් ඔවුන් පුහුණු වූහ. අවසානයේ දී විශේෂ හමුදා බලකායේ සියල්ලෝම ඇමෙරිකාව ආක්‍රමණය සඳහා සූදානම් බව ටලී දැනුම් දුන්නේය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

මෙම ලිපියේ ප්‍රතිචාර සඳහා RSS පෝෂකය TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Shocking Blue Green තේමාව. WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

%d bloggers like this: