Sinhala story Blog

අප්‍රේල් 14, 2012

ගර්ජනය කළ මීයා -හැමෝටම අයිතියක් තියෙනවා එයාල කැමති නම් මෙහෙ ඉන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 12:24 ප.ව.

ටලී මුදු ලෙසින් ඇය දෙස බැලුවේය.

ඒ බැල්මේ යම් ගෞරවයක් මුසු වී තිබිණ. එය ඔහු තම පියාට හැර වෙන කිසිවෙකුට නොදුන්නකි. “ඔබ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට සත්‍යයෙන්ම ආදරය කරනවා නේද?” ඔහු කරුණාන්විතව ඇසුවේය.

“ඔව්,” ආදිපාදවරිය කීවාය, “ඒ වගේම තමයි මෙහෙ ජීවත් වෙන අනිත් අයත්. මේ අපේ පොළවයි. අපේ වායුවයි. ඔබත් රටට ආදරය කරනවා, එහෙම නේද?”

ටලී ජනේලයක් වෙත ඇවිද ගියේය. “සමහර විට,” ඔහු සෙමෙන් කීවේය, “සියෑටල් වල දී, ලන්ඩන් වල දී, නැත්නම් ජර්මනියේ කළු වනාන්තරයේ දී මම සතුටින් යැයි මම හිතපු අවස්ථා තිබුණ. ඒත් හදිසියේ ම මේ මිටියාවත මතක් වෙලා, අර කඳුවැටිය මතක් වෙලා, සවස්කාලයේ එහි ගැවසෙන නිල් මීදුම මතක් වෙලා, මගේ හදවතට දැනෙනවා පුදුම කාන්සියක් එතකොට මට ආපහු එන්න සිද්ධ වෙනවා. ඒක හරි පිස්සුවක් ඇත්තටම. මොකද හැම කඳුවැටියකම මීදුමක් තියෙනවා, සන්ධ්‍යා කාලයේ හැම මිටියාවතකම ඇහෙන සද්ද එක හා සමානයි.”

“කඳුවැටිය ස්විට්ස්සර්ලන්තයේ හෝ ප්‍රංශයේ කොටසක් වුවහොත් ඔබ ඒත් කඳුවැටියට ආදරය කරනවා ද?”

“ඊට වඩා මම කැමතියි මිය යන්නට, මම හිතන්නෙ.”

“එහෙනම් මම දන්නවා ඔබ ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට ආදරය කරන බව. ඒ කඳු නිසා විතරක් නෙමෙයි. ඒ රට නිසා. මේ රට දැන් ඉන්නෙ අවදානම් තත්වයක. එක්තරා කාලයක දී අපිට පුළුවන් වූවා අපේ දිගු ඊතල හා ස්වාධීනත්වයේ ජවයෙන් පැවැත්ම රැකගන්න. ඒත් දැන් ඒ දෙකෙන්ම කිසි වැඩක් නැහැ. අපිට මුදල් අවශ්‍ය්‍යි. ඔයා මා කියන එක අහලා කොමියුනිස්ට්වාදියෙක් වගේ රඟපානවා ද?”

ටලී ඇය වෙත හැරී මුහුණ දිහා බලාගෙන හෙමිහිට සිය ඔළුව දෙපැත්තට වැනුවේය. “බැහැ,” ඔහු කීවේය. “මම ඒකට එකඟ වුනත්, ඒ විගඩම සාර්ථක වුනත්, අපිට සල්ලි ලැබුනත්, රට බේරෙන්නෙ නැහැ. අපි වැඩිම වැදගත් දේ එතකොට විකුණලා ඉවරයි. අපි අපේ ගෞරවය විකුණලා. අපි රටක් හැටියට තවත් ත්‍යාගශීලි රටක් උවමනාවෙන් ම රවටලා. එයාලට වැඩියෙන් තියන නිසා අපි එයාලගෙන් හොරකම් කරගෙන.”

ඔහු මඳක් නැවතිණ. දිගු වෙදැඟිල්ලකින් සිය පයිප්පයේ තිබි දුම්කොළ තද කළේය. “ඔබ කිව්වෙ විශාල රටවල් වලට වගේම කුඩා රටවල් වලටත් පවතින්න අයිතියක් තියෙනවා කියලනෙ,” ඔහු නැවතත් කතාව ආරම්භ කළේය. “ඒක ඇත්ත. ඒත් ධනවත් හා විසල් රටවල් උපහටයෝ කරන්න බැහැ ඔවුන් ධනවත් හා විසල් වූ පමණින්. ඇමෙරිකාවට සල්ලි තිබුණ කියල, අපිට දෙන්න තරම් සල්ලි තිබුණ කියල, එයාලගෙන් ඒ සල්ලි උපයෝගයකින් ගැනීම නිවැරදි වෙන්නෙ නැහැ. දුප්පත් වැන්දඹුවකගෙන් හොරකම් කිරීම වගේ ම දුෂ්ට වැඩක් තමයි මිලියනපතිවරයෙක් ගෙන් හොරකම් කිරීමත්. අපි වංචනීය ලෙස පැවැත්ම ආරක්ෂා කරගත්තොත් අපි කොහොම ද ජාතියක් හැටියට ඔළුව උස්සලා ඉන්නෙ? අන්තර්ජාතික හොරකමේ යෙදුනොත් කොහොම ද අපි එතකොට ජාතික ආඩම්බරයක් ගැන කතා කරන්නෙ? එහෙම මාර්ග වලින් අපි ඇමෙරිකාවෙන් සල්ලි ඇති තරමට ලබාගත්තොත්, ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල සෑම පිරිමියෙක් ම, ගෑණියෙක් ම, දරුවෙක් ම මිලියනපතිවරයෙක් කළහොත්, තම පැවැත්ම සඳහා රට විකණපු අය යන අපහාසයෙන් ඔවුන්ට දුක් විඳින්නට සිද්ධ වේවි.”

“මම ඒ ගැන එහෙම හිතුවෙ නැහැ,” ආදිපාදවරිය හෙමිහිට කීවාය. “මම හිතුවෙ කොහොම ද සල්ලි හොයාගන්නෙ කියන එක විතරයි. අපිට හිටපු විදියට ජීවත්වෙන්න. සමහර විට ඔබ නිවැරදියි. ඒත් අපි මොකක් හරි ක්‍රමයක් හොයා ගන්න ඕන. නැද්ද අපිට ගෞරවනීය මාර්ගයක් මේ අර්බූදයෙන් ගැලවෙන්න?”

“අපිට පුළුවන් සංක්‍රමණය වෙන්න,” ටලී පිළිතුරු දුන්නේ ය. “අපිට පුළුවන් කියන්න මිනිස්සුන්ට සංක්‍රමණය වෙලා වෙනත් රටවල රැකියාවන් හොයාගන්න කියල.”

ග්ලෝරියානා හිස වැනුවාය. “ග්‍රෑන්ඩ් ෆෙන්වික් වල ඉන්න හැමෝටම අයිතියක් තියෙනවා එයාල කැමති නම් මෙහෙ ඉන්න.” ඇය කීවාය. “ඒක එයාලගෙ රට. ජීවත්වෙන්න කියලා වෙන රටක් හොයාගෙන යන්න කියලා බලහත්කාරයෙන් කියන්න බැහැ. අනික, සංක්‍රමණයෙන් ඉස්සර ප්‍රතිඵල තිබ්බට දැන් ඒකෙන් වැඩි ඵලක් නැහැ. මම කියෙව්වා කොහෙ හරි ඉතාලිය උත්සාහ කළා කියල එයාලගෙ ජනගහණය අඩු කරගන්න ජනතාව ඇමෙරිකාවට යවල. ඒත් දැන් ඉතාලියෙ ඉන්නවාලු සංක්‍රමණය පටන් ගත්තාට වඩා ජනතාව. ඊටත් වඩා දුප්පත් ජනතාව. ඇමෙරිකාවේත් දැන් ජනගහණය වැඩිවෙලා එයාලා කොටසු ක්‍රමයක් පටන් අරන්. ග්‍රෑන්ඩ් ෆෙන්වික් වලට ලැබෙන කොටසුව වෙන්නෙ අවුරුදු පහකට වරක් එක්කෙනෙක් හෝ දෙන්නෙක්ට යන්නයි. ඒකෙන් උදව්වක් නැහැ. අපිට වෙන ක්‍රමයක් ගැන හිතන්න වෙනවා.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: