Sinhala story Blog

අප්‍රේල් 6, 2012

ගර්ජනය කළ මීයා -කාලගුණයත් මතභේද වලින් තොර නොවන මාතෘකාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:00 පෙ.ව.

කෙසේ වෙතත් වසන්තයේ වගාවන් අරඹන්නට තිබිය දී,

පස් පෙරළන්නට හැම අතක් ම අවශ්‍ය වී තිබිය දී, පැළ කරන්නට හෝ බැටළුවන් බලාගන්නට හැම අයෙක් ම උවමනා වී තිබිය දී, ආදිපාද දනව්වට තවත් මැතිවරණයක් පැවැත්වීමට නොහැකිය. ඒ නිසා ප්‍රශ්නය ආදිපාද ආර්යාව, එකලොස්වන ග්ලෝරියානා වෙත පැවරිණ. ඇය වයස විසිදෙකක් වූ ලස්සන කෙල්ලෙකි. රට ආරම්භ කරන ලද රොජර් ෆෙන්වික්ගේ පරම්පරාවට ඍජුව හිමිකම් කියන්නියකි.

ඇය වෙත ඉදිරිපත් කරන ලද මේ අර්බූදය ඵෛතිහාසික විය. සෙසු ලෝකයා සැලකිල්ලක් නොදැක්වුවත්, ඒ කුඩා රටේ පළ වූ එකම පුවත්පත වන ෆෙන්වික් නිදහස් මිනිසා හි මුල් පිටුවේ තීරු දෙකක සිරස්තලයක් ගන්නට එය සමත් විය. තම සම්භව්‍ය යුගයේ වස්ත්‍ර වලින් සැරසුණ නියෝජිතවරු පාර්ලිමේන්තුව රැස්වන මාලිගාවේ කවුන්සිල් ශාලාවට ඇතුල් වූහ. ඔවුන් කැඳවාගෙන ආවේ සෙංකෝලය රැගත් වේත්‍රධාරියා ය.

ආදිපාදවරිය හිඳගෙන සිටි අසුනට ඉදිරියෙන් වූ පැරණි ‘ජාතියේ මේසය’ මත වේත්‍රධාරියා සෙංකෝලය තැන්පත් කළේය. ඇය හැඳ සිටියේ ද මධ්‍යතන යුගයේ පරිදි වූ උස් කොලරයක් සහිත ගවුමකි. ඇයගේ හිසමත ආදිපාද ඔටුන්නක් ලස්සනට රැඳී තිබිණ. සියළු නියෝජිතයෝ ඇයට ආචාරශීලීව හිස නමා ගෞරවය පා ඇයගේ ආමන්ත්‍රණය අසන්නට අසුන් ගත්හ.

ඔවුන් සියල්ලෝ ම මැදිවියේ වූ අයයි. ඇයගේ පියා විය හැකි තරම් වයසින් යුතු වූ අයයි. ඒ හැමෝටම ඇය කුඩා පැංචියෙක් ලෙසින් ඔවුන්ගේ කරත්ත වල කිසියම් හෝ අවස්ථාවක ගමන් කර ඇත්තියකි. මවුන්ට්ජෝයි සිටුවරයා හැරෙන්නට අනිත් සියල්ලෝ ම ගොවීන් වූහ. ඇය ඔවුන්ගෙන් පෙයාර්ස් හා මිදි වදෙන් පොරෙන් ඉල්ලා ගෙන ඇත්තියකි. ඔවුන්ගේ දරුවන් හා පාසැල් ගියා මෙන් ම වාර්ෂික දිගු දුනු කෙළියේ ද යෙදී ඇත්තියකි. එහෙත් වසරකට පෙර ඇයගේ පියා, එවක ආදිපාදවරයා හදිසියේ ම මිය ගියේය. වංශකුලයේ අයට හදිසියේ දරන්නට වන ඒ වගකීම, එනම් හිටිහැටියේ ම අසල්වැසි බව අතහැර නායකයා වෙන්නට, කුඩා දැරියක වීම නවතා රටේ නායක ආර්යාව වෙන්නට, තම අසල්වැසි මිනිස්බව හැර දා රටේ ශක්තියේ සංකේතය වෙන්නට, ඇයට තනතුර බාරගන්නට සිද්ධ විණ.

මේ ග්ලෝරියානාට ආරම්භ කරන්නට සිද්ධ වු ප්‍රථම පාර්ලිමේන්තු සැසිවරයයි. ඇය පිටට පෙන්වූයේ නැතත් ඇය තරමකට නොසන්සුන් වූවාය. සිහසුනේ සිට අමතන ආකාරය පුහුණුවන්නට ඇය රාත්‍රියෙන් වැඩිපුර කාලයක් ගෙවා තිබිණ. පසුගිය සමයේ රටපුරා පැතිර ගිය දේශපාලන වාදපද වලින් ඈත් වී කිසිත් මතභේදයක් ඇති නොවන කතාවක් පවත්වන්නට ඇය වගබලා ගත්තාය.

අවාසනාවට ඇයට සොයාගත හැකි වූ මතභේදයකට තුඩු නොදෙන එකම මාතෘකාව වූයේ කාලගුණයයි. ඒකත් සම්පූර්ණයෙන් ම මතභේද වලින් තොර නොවන බව ඇය දැක්කාය. උතුරේ වයින් මිදි වවන අයට සුදුසු කාලගුණය දකුණේ බාර්ලි හා තිරිඟු වවන අයට සුදුසු නැත. ඉතින් ඇය තම කතාව ආදිපාද දනව්වේ සියළු වැසියන්ට අතීතයේ සිට ස්වයංපෝෂිත වූ ජාතික ලක්ෂණය පවත්වා ගෙන යන්නට ග්‍රෑන්ඩ් ෆෙන්වික් වැසියන්ට මේ දුෂ්කර කාලය පසුකර සාමය හා සශ්‍රීකත්වය ලැබෙනා වූ, තමන් යෙදෙන වෘත්තියේ නියැළී ස්වයංපෝෂිත වන්නට සුදුසු කාලගුණයක් ලැබේවා යන්න කියන්නට සීමා කර ගත්තාය.

ඇයගේ කතාවට ඉතා සතුටු අත්පොළසන් නාදයකින් පිළිතුරු ලැබිණ. සියළු නියෝජිතයෝ ඇය දිහා බැලුවේ තම දියණියක් දිහා බලනා විදියටයි. එසේම ඕනෑම අවස්ථාවක තම දිවි පූජා කර හෝ ආරක්ෂා කරන රටේ නායිකාව දිහා බලන විදියටයි. “එකලොස්වන ග්ලෝරියානා ආදිපාදවරිය දිගු කල් දිනේවා!” යැයි ප්‍රශස්ත පැතුම් පතනා හඬවල් ද පැතිරෙන්නට විය. ඉක්බිතිව බහුතර කැමැත්ත නියෝජනය කරන්නා වෙතින් ඇමතුම ඉදිරිපත් වෙන කාලය උදාවිය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: