Sinhala story Blog

දෙසැම්බර් 31, 2011

අප ජීවත්වන්නෝ -371 මුරකරුවෙක් දැක්කාම බඩගාන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 5:26 ප.ව.

සූට්කේසය අතින් අල්ලා ගත් ඇය හිම මත වූ රෝද සලකුණු පසු පසින් වෙනතක ඇවිද ගියා ය.

සිහින් කළු රුවක්, පිටුපස්සට ඇල වී, බැස යන හිරු එළියෙන් මළකඩ පැහැයෙන් ඈතට ඈතට දිස්වන පිට්ටනියක් දිහාට තනිවම ඇය ඇවිද්දා ය.

පොළවට වැඩි උසකින් නොයුතු වූ ජනේල පඩිවල කහ පැහැති තිත් මෙන් දිස් වූ ඉටිපන්දම් එළි වූ ගම්බද නිවාස ඇය ඉදිරියේ දකිද්දී අඳුර වැටී තිබුණි. ඇය දොරකට තට්ටු කළා ය. පිරිමියෙක් එය විවෘත කළේ ය. ඔහුගේ රැවුලත් කොණ්ඩයත් එකට මුසු වූ බ්ලොන්ඩ් පැහැති අවුලකි. ඒ අවුල අස්සෙන් දීප්තිමත් ඇස් දෙකක් කුතුහලයෙන් බැලීය. ඇය නෝට්ටුවක් ඔහු අත තබා, හිරවෙන රහස් මැතිරිල්ලකින්, හැකි තරම් ඉක්මණින් තතු පැහැදිලි කරන්න උත්සාහ ගත්තා ය. ඇයට වැඩි යමක් විස්තර කරන්නට සිද්ධ නොවීය. ඒ ගෙදර වාසය කළ අය දත්තහ. ඔවුන්ට වටහා ගත හැකිවිය.

බිත්ති දෙකට වෙන් කරන කෙටි ලෑල්ලක් අසල, පිදුරු ගොඩක ගුලි ගැසී නිදන ඌරන් දෙදෙනෙක් අබියස ඇය ඇඳුම් මාරු කරගත්තා ය. ඇය එතැන නැති ලෙසකින් කාමරයේ අය මේසය අසල වාඩි වී සිටිති. බ්ලොන්ඩ් හිස කෙස් ඇති ඔළු පහකි. එකක් නිල් ලේන්සුවකින් වැසී ඇත. මේසයේ වූ බොකු ලී දීසි මත ලී හැඳි වැදෙති. කොනක වූ ග‍ඩොල් උදුනක් අසල රාක්කයකින් තවත් හැන්ඳක හඬ ඇසේ. එතැන බොකු දීසියක් මතට නැවී ඇති තඹවිට හිසක් සුසුම් හලයි. මේසය උඩ ඉටිපන්දමකි. එක කොනක ආගමික ප්රතිමා වලින් යුතු ලෝකඩ ත්‍රිකෝණයක් ඉදිරියේ කුඩා රතු ගිනිදැල් නිවි නිවී පත්තු වෙති.

ඇය සුදු බූට් සපත්තු දමාගෙන ගවුම ගැලවූවා ය. කාමරය උණුසුම් හා වාතාශ්රයක් රහිත වුව ද ඇයගේ නිරුවත් අත් සීතලෙන් වේවලීය. ඇය සුදු පැහැති මංගල ගවුම ඇඳ ගත්තා ය. එහි දිගු වාටිය පිදුරු වල වැදී සර සර හඬක් නිකුත් කළේ ය. එක ඌරෙක් සිහින් ඉරක් මෙන් වූ ඇසක් ඇර බැලීය. ඇය වාටිය උස්සා එය ඉනට තබා විසාල ආයකටු ගැසීය. සුදු සාටකයෙන් හිසකෙස් වටා බැඳ තදින් ඔතා ගත්තා ය. සුදු ලොම් කබාය හැඳ ගත්තා ය. වම් ඇලයේ වාටියේ මුදල් නෝට්ටු තබා මසා තිබු කුඩා ඉලිප්පුම ඇයට දැනුණි. එය ඇයට උවමනා වූ අන්තිම හා එකම අවිය විය.

ඇය මේසය වෙත එද්දී, බ්ලොන්ඩ් යෝධයා කිසිත් හැඟීමකින් තොරව මෙසේ කීය: “පැයක් දෙකක් හිටියොත් හොඳයි, හඳ බැහැලා යන තෙක්. වළාකුල් එච්චර ස්ථිර නැහැ.”

ඔහු පැත්තකට වූයේ, අතින් පෙන්වා, නිහඬ ව, එය කළ යුතු යැයි කියන විලාසයෙන්, ඇයට මේසයේ ඉඩක් ලබා දෙමිනි. ඇය ලේස් ගවුම ඔසවා, බංකුව උඩින් පැන වාඩි වූවා ය. කබාය ගලවා ඇයගේ අතේ දමාගෙන සිරුරට කිට්ටුවෙන් තදවෙන ලෙස රඳවා ගත්තා ය. ඇයගේ උස් ලේස් කොලරය දිහා කාන්තා ඇස් යුගල කුට්ටම් දෙකක් එල්ල වී තිබුණි. නිල් ලේන්සුව හැඳි කෙල්ල වයසක කාන්තාවට යමක් රහසින් කීවා ය, ඇයගේ දෑස් පුදුමයෙන් පිරී තිබිණ.

නිහඬ ව, පිරිමියා දුම් දමන ලී බොකු දීසියක් අමුත්තා ඉදිරියේ තැබීය.

“එපා, ස්තූතියි,” ඇය කීවාය. “මට බඩගිනි නැහැ.”

“කන්න,” ඔහු අණ කළේ ය. “ඔයාට ඒක අවශ්ය වේවි.”

ඇය කීකරුව උණු ඌරු තෙල් සුවඳින් යුතු වූ ඝන ගෝවා සුප් අනුභව කළාය.

හදිසියේ ම නිහඬ බව කඩමින්, ඇය දිහා නොබලා, “ඒක මුළු රැයක් පුරා ඇවිදින්න වෙන ගමනක්,” යැයි ඔහු කීවේ ය.

ඇය ඔළුව වැනුවා ය.

“ඉතා තරුණයි,” මේසයේ අනිත් පැත්තේ හිඳගත් කාන්තාව ඔළුව වනමින්, සුසුම් හලමින් කීවා ය.

ඇය යන්නට සූදානම් වූ කල, හිස් අඳුරක උරුහන් බාමින් වැදෙනා සුළඟකට පිරිමියා දොර විවෘත කළේ ය. “පුලුවන් තරම් දුරක් ඇවිදින්න. මුරකරුවෙක් දැක්කාම බඩගාන්න,” බ්ලොන්ඩ් රැවුල අස්සෙන් ඔහු මැතිරුවේ ය.

“ස්තූතියි,” දොර වැසෙද්දී ඇය කීවාය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: