Sinhala story Blog

දෙසැම්බර් 26, 2011

අප ජීවත්වන්නෝ -370 ඇය උපදින්නට බලාගෙන සිටිනවා පමණි

Filed under: Uncategorized — sinhalashortstories @ 10:15 ප.ව.

XVII

දුම්රිය රෝද වැදුනේ හරියට යකඩ දම්වැලක් දෙසැරයක් ගසා අදින හඬකිනි. අනතුරුව රෝද ‘ටික් ටික්’ ගා මොට ගෙරවිලි හඬක් පිට කර හැරියේ ය. නැවත තියුණුව දෙසැරයක් ගසා අදින හඬක් නිකුත් කළේ ය. යකඩ ඔරලෝසුවක බට්ටා ඉක්මණින් පැද්දෙන ලෙසකින් වැදෙන්නට වූයේ තත්පර, මිනිත්තු හා සැතපුම් පළවා හරින ලෙසකිනි.
ජනේලයක් අසල ලී බංකුවක කීරා ආර්ගුනෝවා වාඩි වී සිටියා ය. සූට්කේසය ඇයගේ ඔඩොක්කුව මත විය. ඇය එය සිය අත් දෙකෙන් ම අල්ලා ගෙන සිටියා ය. ඇයගේ ඇඟිලි විහිදී තිබිණ. ඇයගේ හිස බංකුවේ පිටුපස ඇන්දට හේත්තු වී අසල වූ දුහුවිලි වැදි වීදුරු ජනේල පියන ලෙස ම සිහින් පුංචි වෙව්ලීමක් යුතු විය. ජනේලය වෙත එල්ල වූ දෑස් වැහෙන්නට ඇසිපිය කඩා වැටේ. එහෙත් ඇය ඇස් පියැවූයේ නැත. පැය ගණනාවක් ඇය නොසෙල්වී සිටියා ය. ඇයගේ මාංශ පේශී වලට නොසෙල්වීම දැනුනේ නැත. ඇයට මාංශ පේශී ඇතැයි තව දුරටත් දැනුනේ නැත.

ජනේලයෙන් එහා පෙනෙන තෙක් මානයේ දිග හැරුණු හිම මතින් කිසිවක් දකින්නට නොවීය. තැනින් තැන කළු පැල්ලම් සේ විදුලි රැහැන් කණු පෙනී නොපෙනී ගියේ ය. හරියට සුදු හා අළු අතර දුම්රිය පාවෙමින් සිටිනවා වැනි ය. එක තැන තියනවා වැනි ය. රෝද කෑ ගසමින් ඇදුනේ ශුන්යයක ඇති‍ල්ලෙන ලෙසකිනි. ඉඳහිටක, සුදු කාන්තාරයේ සුදු පැල්ලමක් දැකිය හැකි විය. ඒ පැල්ලමේ ෆිර් ගස් වල අතු සේ දැකිය හැකි වූ කළු අගිත්තන් ජනේලය පසු කරමින් දිව ගියේ විදුලි කෙටුමක වේගයකිනි.
දිගු කාලයක දී ඇය කිසිවක් ආහාරයට ‍ගත්තේ නැතැයි ඇයට මතක් වෙද්දී, එය පැය ගණනක් ද නැත්නම් දින ගණනක් ද යන්න නිශ්චිත නොවෙද්දී, ආහාරයක් ගත යුතු යැයි යාන්තමින් සිතට දැනෙද්දී, ඇයට කුසගින්න කුමක් දැයි අමතක වී ගිහින් තිබිය ද, ඇය දුම්රිය නැවතුම් පොළ වෙත රැගෙන ආ පරණ පාන් ගෙඩියෙන් කුඩා කෑල්ලක් කඩා එය උත්සාහයෙන්, හකු උවමනාවකින් මෙහෙයවා, යන්ත්රයක් මෙන් එය හිමිහිට හපන්නට වූවා ය.

දුම්රිය නැවතුම් පොළවල් වල දී ඇය වටා සිටි පිරිමි මැදිරියෙන් පිටත් වී ගොස් නැවත ආවේ දුම් දමන උණු තේ කේතල අතැතිව ය. වරක් කවුදෝ ඇය අතට කෝප්පයක් තද කළේ ය. ඇය උණු ටින් කෝප්පයේ අග තොල් වලට තද කරගෙන බිව්වා ය.

දුම්රිය සමඟ විදුලි රැහැන් කණු තරඟයට දුවති. හරහට පනිමින්, වෙන් වී යමින් නැවතත් හරහට පනිමින්, සිහින් කළු නූල් ලෙසින් වේගයෙන් පියඹා යමින්, මැදිරිය හඹා යා නොහැකි තරම් වේගයෙන් දුවති.

දිවා කාලයේ දී අහස පොළවට වඩා ලා පැහැයෙන් දිස්විය. ඝන සුදු පැහැයක් උඩින් විනිවිද පෙනෙන ලා අළු පැහැයකින් පැතිර ගිය ලෙසිනි. රාත්රී කාලයේ දී පොළව අහසට වඩා ලා පැහැයෙන් දිස්විය. කළු ශුන්යයක් යටින් දිස්වන ලා නිල් පැහැති තීරුවක් ලෙසිනි.

ඒ වාඩි වී සිටි කොනේ ම, ඇය නිදා ගත්තා ය. ඇයගේ අත මත හිස පතිත විය. ඇයගේ අත් වූයේ සූට්කේසය මත ය. රාත්රියේ දී ලනු කෑල්ලකින් ඇය අතේ මැණික් කටුවට තම සූට්කේසයේ අල්ලුව බැඳ තැබුවා ය. ඇය වටා සිටි අය සොරා ගත් ගමන් මළු ගැන කෙඳිරි ගානවා ඇති තරම් ඇසුණි. ඇය නිදාගත්තේ තම සවිඥානය එක සිතුවිල්ලක -එනම් සූට්කේසය ගැන, මිදී තිබිය දී ය. මැදිරිය ගැස්සී සූට්කේසය මඳක් ලිස්සී ගිය ද ඇය තිගැස්සී ඇහැරුනා ය.

ඇයට වෙනත් සිතුවිලි ඉතිරි වී නොතිබිණ. ඇයට හිස් බවක් දැනිණ. පැහැදිලි බවක් දැනිණ. නිහඬ බවක් දැනිණ. ඇයගේ සිරුර හරියට ඇයගේ අධිෂ්ඨානයේ ඡායාවක් වැනි ය. ඇයගේ අධිෂ්ඨානය -ඊ තලයක් මෙන්, තියුණුව ඇදී තියන දැඩි ගතියකින්, පසු කර යා යුතු මායිමක් පෙන්වනවා වැනි ය. ප්රාණයක් ඇතැයි ඇයට දැනුනේ තම ඔඩොක්කුව මත වූ සූට්කේසය පමණි. ඇයගේ අධිෂ්ඨානය දුම්රිය රෝද හා වැදෙමින් යයි. ඒ බිම යටින් ඇයගේ හදවත ස්පන්දනය වෙයි.

වරක් අපැහැදිලි වූ අවධානයකින් ඇයට ඉදිරියෙන් වූ කාන්තාවක් සීතල සුදු පියයුරුවක් කුඩා දරුවෙකුගේ තොල් මැදට තල්ලු කරනවා පෙනුණි. පුද්ගලයන් තවමත් සිටිති. ජීවිතය තවමත් ඇත. ඇය මිය ගිහින් නැත. ඇය උපදින්නට බලාගෙන සිටිනවා පමණි.

රාත්රියේ දී ඇය පැය ගණන් ජනේලය දිහා බලාගෙන වාඩි වී සිටියා ය. ඇයට ජනේලයෙන් පිටත කිසිවක් පෙනුනේ නැත. අඳුරු ඉටිපන්දම් එළිය, බංකු, අවකාශයේ වෙව්ලන බෝඩ් ලෑලි ගැසූ බිත්ති, අවුල් වී ගිය හිසකෙසින් යුතු වූ ඇයගේ ම ‍හිසේ ඡායාවන් ඇයට දැකගත හැකි විය. ජනේලයෙන් එපිටත පොළවක් නැත, ජනේලයෙන් එපිටත ලෝකයක් නැත. ජනේලයේ දිස්නයෙන් දුම්රිය පීලි ළඟින්, කහ පැහැති හතරැස් හිම කොටස් දුම්රිය හා දුවති. කළු පැල්ලම් සිහින් කැඩිච්ච ඉරි මෙන් පසු කර හමා යයි. ඉඳහිටෙක, අහස අගිස්සට කිට්ටු වන තරම් ඈතකින් අඳුර කපා ගෙන විහිදෙන එළියක් ජනේලයට එපිටතින් පැතිර ඇති නිල් හිම පෙන්නුම් කරයි. එළිය නිවී ගොස් පොළව ඒ සමඟ නොපෙනී යයි. ජනේලයේ එවිට ඉතිරි වන්නේ අවුල් වූ හිසේ, අඳුරු ඉටිපන්දම් හා ලෑලි ගැසූ බිත්තියේ ඡායාවන් පමණි.

ඇයට බැස යන්නට වූ දුම්රිය නැවතුම් ‍ස්ථානයන් විය. සුළං හමන දුම්රිය වේදිකාවක අවසර පත් විකුණන කවුන්ටරයක් අසල හිටගෙන සිට අළුත් ටිකට් පතක් ගන්නට ඇයට සිද්ධ විය. අරුණළුවේ ගොරවමින් ඇදී එන, කළු එන්ජිමකින් වූ, රතු ගිනිදැල් වරුසා පිඹිමින් දුව එන, තවත් දුම්රියක් එනතුරු බලා ඉන්නට සිද්ධ විය.

ඉන් ඉක්බිතිව නැවතත් බිම යටින් වැදෙනා රෝද විය. තවත් දුම්රිය නැවතුම් ස්ථානයකි. තවත් අවසර පත්රයකි. තවත් දුම්රියකි. දිවා කාලයන් රැසකි. රාත්රී කාලයන් රැසකි. එහෙත් ඇයගේ සිතේ ඒවා සටහන් නොවිණ. කාකි කැප් තොප්පි පැළඳ සිටි පිරිමි, අවසර පත් පරීක්ෂා කළ අය, කැරලි ගැසුනු ලොම් කොලරයකින් යුතු වූ පරණ කබායක් හැඳ සිටිනා කෙල්ල ගමන් කරන්නේ ලැට්වියන් මායිම වෙත බව නොදත්හ.

අන්තිම දුම්රිය නැවතුම් ස්ථානයේ, ඇය තවත් ටිකට් පතක් නොගත් ස්ථානයේ, දුම්රියේ අවසානයට පෙර වූ නැවතුම් පොළේ, මායම් නගරයට පෙර වූ ස්ථානයේ, දිරා ගිය ලී ලෑලි ගොඩකින් යුතු වූ කුඩා අඳුරු වේදිකාවක් තිබුණි.

වට පිටාවෙන් අඳුර පහත් වෙයි. දිළිසෙන රතු පැල්ලමක් වෙත හිමේ වැටිච්ච දුඹුරු පැහැති රෝද සලකුණු ඇදී ගියේ ය. නිදිමතින් සිටි සොල්දාදුවෝ කිහිප දෙනෙක් ඇය ගැන සැලකිල්ලක් දැක්වූයේ නැත. ගමන් බඩු මැදිරියකින් දැවැන්ත වේවැල් බක්කියක් දැඩි අත් දෙකකින් බිමට තබද්දී එය ‘කට කට’ ගාන හඬක් ඇසුණි. දුම්රිය නැවතුම් ස්ථානයේ දොර අසල දී, කවුදෝ උණු වතුර ඉල්ලා ආයාචනය කළේ ය. මැදිරි ජනේල වල විදුලි එළිය නිවි නිවී පත්තු විය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. අරුණි අක්කේ, ඊළග කොටස දාවි කියල හැමදාම ඇවිත් බලලා යනවා. ඔයා කතාව නතර කරලා තියෙන්නේ කුතුහලය වැඩි තැනකින්මනේ

    ප්‍රතිචාර විසින් mier — දෙසැම්බර් 30, 2011 @ 4:17 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: