Sinhala story Blog

දෙසැම්බර් 18, 2011

අපි ජීවත්වන්නෝ -367 අපි ගෙවන්නෙ අපි කරපු පව් වලට වන්දි

Filed under: Uncategorized — sinhalashortstories @ 5:13 ප.ව.

ඇයට සති කිහිපයක් බලා ඉන්නට සිදුවිය.

සන්ධ්යා කාලයේ දී, ඇලෙක්සැන්ඩර් ඩිමිට්රියෙවිච් වැඩ නිමා කර ගෙදර ඇවිදින් ඔහුගේ හිම සපත්තු ඉස්තෝප්පුවේ ගසා දැමුවේ ය. ඒ සපත්තු පිස දමන්නට තිබූ විශේෂ රෙදි කැබැල්ලකින් ඒවා පිස දැමුවේ ය. මන්ද ඒ හිම සපත්තු අමතර සපත්තු ය. අධික වැයකින් මිල දී ගත්තකි.

රාත්රී කෑම අහවර වූ විට ඔහුට යන්නට තිබි රැස්වීම් කිසිවක් නොවීය. පාට නොගෑ ලී දොර රාමුවක් අසලින් වාඩිගත් ඔහු ගිනිපෙට්ටි ලේබල් ඒ දොර රාමුවේ ඇලවීය. අගුල් දමා ගත් පෙට්ටියක ඔහු ඒ ගිනිපෙට්ටි ලේබල් එකතු කළේ ය. හැම රාත්රියකම ඔහු ඒවා ප්රවේසමින් මේසය මත දිග හැරියේ ය. ඒවා වලින් මෝස්තර හදන්නට ඔහු උත්සුක විය. ඔහු දොර රාමුවක් සම්පූර්ණයෙන් ම එලෙසින් අලවා නිම කර තිබුණි. නොයෙක් පාට සංකලනයන් දිහා ඇස් පුංචි කර බලමින් ඔහු හෙමින් මැතිරීය. “ඒක හරි ලස්සනයි. ලස්සනයි. මම හිතන්නෙ පෙට්රොගෑඩයේ කාටවත් නැහැ මේ විදියෙ කිසිවක්. ඔයා මොකද හිතන්නෙ කීරා, මම කහ පාට දෙකක් එක්ක කොළ පාට එකක් පාවිච්චි කරන්න ද නැත්නම් කහ පාට තුනක් ගන්න ද?”

“කොළ පාට එක ලස්සන වේවි, තාත්තා,” ඇය සෙමෙන් පිළිතුරු දුන්නා ය.

රාත්රියේ දී ගලීනා පෙට්රොව්නා කඩාගෙන බිඳගෙන ගේ තුලට ආවා ය. ඉස්තෝප්පු‍වේ වූ පුටුවක බරැති ගමන් මල්ලක් විසි කළා ය. ඇය දුරකතනයක් එහි රඳවාගෙන තිබුණි. එහි රිසීවරය උදුරා ගත් ඇය අත් වැසුම් ඉවත් කරමින්, කබායේ බොත්තම් ගලවමින්, ඉක්මණින් කතා කළාය, “ෆෙඩරොව් සහෝදරයා? … මේ ආර්ගුනෝවා සහෝදරිය කතා කරන්නෙ. අර ‘ජීවත්වන’ නම් වූ පුවත්පත සඳහා මට අදහසක් තියනවා. හෙට අපේ සමාජය සංදර්ශනය වෙනුවෙන් .. දැන් අපි බ්රිතාන්ය කම්කරුවන් පාගා දමන චේම්බලේන් වංශාධිපතියා ඉදිරිපත් කරද්දී, අපි ගනිමු සිසුවෙක්, හොඳ මහත කෙනෙක්. රතු කමිසයක් ඇඳගන බිම වැතිරිලා, අපි එයා උඩින් මේසයක් තියමු -ඔහ්, මේසයේ ඉස්සරහ කකුල් විතරයි -අපි අර තරබාරු එක්කෙනාව ගම්මු චෙම්බලේන් වංශාධිපතියා රඟ පාන්න. ඉහළට යන සිල්ක් තොප්පියක් දාගෙන මේසයට වාඩි වෙලා මස් පෙත්තක් කන්න … ඔහ්, ඒක ඇත්ත මස් පෙත්තක් වෙන්න ඕන නැහැ, අපි කඩදාසි තලපයකින් ඒක හදමු …”

ගලීනා පෙට්රොව්නා තම රාත්රී ආහාරය කඩිනමින් ගිල දැම්මා ය. ඇය සන්ධ්යා පුවත්පත කියෙව්වා ය. ඔරලෝසුව දිහා බලමින් පත්රය කියවා අවසන් කරන්නට පෙර උඩ පැන නැඟිට්ටා ය. නැහැය මත පව්ඩර් ඇබිත්තක් අතුල්ලමින්, ගමන් මල්ල උදුරා ගෙන කවුන්සිල් රැස්වීමක් සඳහා පිටත් වී දිව්වා ය. ඇය නිවසේ ගත කළ දුර්ලභ සන්ධ්යාවක මේසය පුරා හැම අත විසුරුවා ගත් පුවත්පත් වාර්තා සහ පොත් වලින් ඇය මාක්ස්වාදී සමාජය සඳහා නිබන්ධන ලියුවා ය. හිස ඔසවා, අමතක වූ දැයක් මතක් කරගන්නට ඇස්පිය ගහමින් ඇය “කීරා, ඔයා දන්නවා ද, අර පැරිසියේ පොදු පාලනය, ඒ මොන අවුරුද්ද ද?” දැයි ඇසුවා ය.

“ඒ 1871 දී, අම්මා,” කීරා සෙමෙන් පිළිතුරු දුන්නා ය.

ලිඩියා වැඩ කළේ රාත්රී කාලයේ ය. දිවා කාලයේ දී ඇය ‘අන්තර්ජාතිකය’ සහ ‘ඔබ ගොදුරු වුනා බිල්ලක් ලෙසින්’ සහ රතු හමුදා සිංදුවක් තම පරණ විසල් පියානෝවේ පුහුණු වූවා ය. පියානෝව වසරකටත් වඩා වැඩි කාලයක් තුල ශබ්දය නිසි සේ සකස් කර නැත. ඇය ප්රිය කළ පරණ සම්භව්ය නිර්මාණ වාදනය කරන්නට ඇයගෙන් ඉල්ලූ කල ඇය ඉල්ලීම් තරයේ ප්රතික්ෂේප කළා ය. ඇයගේ මුව සිහින්, මෝඩ ලෙසකින් වූ මුරණ්ඩු ගතියක් පෑවා ය. ඒත් ඉඳහිටක දී ඇය හදිසියේ ම පියානෝව අසලින් වාඩිගෙන පැය ගණනක්, දැඩි ගතියකින්, ප්රචණ්ඩ ලෙසකින්, අතර මැදින් විවේකයක් ද නොගෙන චොපැන්, බාහ්ක් සහ චයිකොව්ස්කි යනාදීන්ගේ සංගීතය වාදනය කළා ය. ඇයගේ ඇඟිලි වල සංවේදය තොර වී ගිය කල ඇය හඬා වැටුනා ය, මහත් හඬින් ඉකි ගසමින්, එකම ආකාරයකින්, කිසිත් සිහියක් නොමැතිව දරුවෙක් සේ හඬා වැටුනා ය. “මේ ලිඩියාගෙ තවත් ඇඬිල්ලක් විතරයි,” කියූ ගලීනා පෙට්රොව්නා ඊට කිසිත් අවධානයක් දුන්නේ නැත.

ලිඩියා වැඩ නිමා වී නිවසට එද්දී කීරා බිම මත වූ මෙට්ටයේ වැතිර සිටියා ය. දිගු කාලයක් ඇඳුම් උනන්නට ලිඩියා ගත්තී ය. දිගු කාලයක් කාමරයේ කොනක වූ ආගමික ප්රතිමාවන්ට වන්දනා කරන්නට ඇය ගත්තී ය. සමහර සන්ධ්යාවක දී ඇය කීරා වෙත පැමිණ මෙට්ටයේ කොනක වාඩි වූවා ය. දිගු සුදු නිදන ගවුමකින් යුතු වූ ඇය අඳුරේ වෙව්ලීය. ඇයගේ පිට දිගේ දිගට ගෙතූ වරලකින් කොණ්ඩය වැටී ඇත. ජනේලයෙන් එහා පෙනෙන වීදි ලාම්පුවෙන් වැටි එළියක් ඇයගේ විඩාබර මුහුණත්, ඉදිමුණ දෑස් හා මුව කොන් වල වූ කුඩා රැළි ද, තව දුරටත් තරුණ නොවූ රැළි වැටි දෑත් ද විහදා පෑය. “මට ආයෙත් සිහිනෙන් පෙනුන, කීරා, ඉහළින් ආපු එකක්. ඇත්තෙන්ම අනාගතය හෙළි කරන්නක්. ඒ කටහඬ මට කිව්වා ගැලවීම වැඩි දුරක නෙමෙයි කියලා. ඒක ලෝකෙ අවසානය. ක්රිස්තුස් වහන්සේගේ හතුරාගේ පාලනයයි. ඒත් විනිසුම් දෙන දිනය ළඟ එනවා. මම දන්නවා. ඒක මට පෙන්නලා දීලා තියෙන්නෙ.”

ඇය රහසින් උණ රෝගියෙක් සේ මතුරන්නී ය. ඇය තම සහෝදරිය වෙතින් බලාපොරොත්තු වූයේ සිනහා හඬකි. ඇය කීරා දෙස නොබැලුවා ය. කීරාට එය ඇසුනා දැයි නොදත්තා ය. ඒත් ඇයට කතා කරන්නට අවශ්ය වුනි. එය ඇහෙන තවත් මිනිස් කන් දෙකකට කියන්නට අවශ්ය වුනි.

“වයසක මනුස්සයෙක් ඉන්නවා, කීරා. දෙවියන්ගේ සංචාරකයෙක්. මම එයාව හමුවෙන්න ගියා. කරුණාකරලා මේක කාටවත් කියන්න එපා, නැත්නම් එයාල මාව සමාජයෙන් පන්නලා දායි. එයා තමයි දෙවියන් විසින් තෝරා ගත්ත එක්කෙනා, එයා දන්නවා. එයා කියන්නෙ ආගම් පොත්වල මේක කළින් කියලා තියන බවයි. අපි ගෙවන්නෙ අපි කරපු පව් වලට වන්දි. හරියට සොඩොම් සහ ගොමොරාහ් දඬුවම් වින්ඳ විදියට. යහපත් ආත්මයක් ඇති අයෙකුට මේ කරදර හා දුක විභාගයන් විතරයි. දුක් විඳලා ඒක දරාගෙන කාලයක් සිටීමෙන් පමණයි අපි දිව්යලෝකයට යන්න වරම් ලබන්නෙ.”

“මම කාටවත් කියන්නෙ නැහැ, ලිඩියා. දැන් ඔයා නිදාගන්න යන එක හොඳයි, මොකද ඔයාට හරියට මහන්සියි, මෙතන හරි සීතලයි,” කීරා සෙමෙන් පිළිතුරු දුන්නා ය.

දිවා කාලයේ දී කීරා අරගල කෞතුකාගාරයේ මඟපෙන්වීම් කරගෙන ගියා ය. සන්ධ්යා කාලයේ දී ඇය කෑම කාමරයේ වාඩි වී පරණ පොත් කියැවූවා ය. ඇය කතා කළේ කලාතුරකිනි. කවුරු හෝ ඇයගෙන් ප්රශ්නයක් ඇසූ කල ඇය සෙමෙන්, පැහැදිලිව පිළිතුරු දුන්නා ය. ඇයගේ කටහඬ එක තනුවක මිදී ඇති සේ ය. ඇය කෝපයෙන් ඉන්නවා දකින්නට, එක වතාවක් හෝ එසේ දකින්නට අකමැත්තෙන් වුවත් ගලීනා පෙට්රොව්නා පැතුවා ය. එහතේ ඇයට එය දකින්නට නොලැබුණි. එක සන්ධ්යාවක් ලිඩියා අතින් මල් පෝච්චියක් සාලයේ වැටී මහත් හඬක් නඟමින් බිඳී ගියේ ය. ගලීනා පෙට්රොව්නා තැති ගත් පුංචි කෑ ගැසිල්ලක් උඩ පැන්නා ය. ඇලෙක්සැන්ඩර් ඩිමිට්රියෙවිච් ඇස්පිය ගහමින් වෙව්ලුවේ ය. කීරා සෙමෙන් හිස එසවූයේ කිසිත් සිද්ධ නොවූ අන්දමට ය.

එහෙත් මඟ පෙන්වන කේන්ද්රයෙන් නැවත නිවසට එද්දී ඇයගේ දෑස්වල ප්රාණවත් ගතියක ඡායාවක් හටගති. ලිට්නියේ විදේශ පොත් සාප්පුවක ජනේලයක් අසල ඇය නැවතුණි. සතුටු, කැඩිච්ච, විදේශීය අකුරු ඇති, සෙවුම් පහන් වලින් එළිය වැදෙන, දිගු කළු වාහන පේලි අතරින් රංගනයේ යෙදෙන කාන්තාවන් දිලිසෙන කකුල් උස්සාගෙන ඉන්නා වර්ණවත් පොත් කවර දිහා බලද්දී ය. ඇයගේ ඇඟිලි වල ප්රාණයේ සේයාවක් දිස්වූයේ හැම සැන්දෑවකම, පොත් තබන්නෙක් සේ ක්රමවත් බවකින් ඇය මොට කුඩා පැන්සල් කෑල්ලකින් තම මෙට්ටය අසල වූ කැලැන්ඩරයේ දිනය කපා හරිද්දී ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: