Sinhala story Blog

දෙසැම්බර් 9, 2011

අපි ජීවත්වන්නෝ -361 මම කියන වචනය භාෂාවෙන් නැතිවෙලා ගිහින්

Filed under: Uncategorized — sinhalashortstories @ 7:54 පෙ.ව.

නගරයේ ඈතක වූ නිවාස දක්වා, ගිම්හාන උද්යානයේ හිම වෙත, අත්පුඩි හඬ මොට හෙන හඬක් ලෙසින් පැතිර ගියේ ය.

අළු අහසට එසැවී ඇති රතු බැනර අස්සෙන් වැදෙන අත් දැකිය හැකිවිය. අත් පහතට වැටුණු විට හිස් සහ ඇස් රතු ග්රැනයිට් කුට්ටිය දෙස යොමු විය. සියරොව් සහෝදරයා නික්ම ගොසිනි. එතැන අළු අහස පසුබිම් කරගෙන සිටගෙන සිටියේ සිහින් සිරුරකින් වූ, ආඩම්බර, දැඩි තීරණාත්මක රුවකින් හිටගත් වික්ටර් ඩුනේව් ය. කළු හිසකේ රොදවල් සුළඟේ වැනුනි. ඇස් බැබළීය. දීප්තිමත් සුදු දත් පෙළට උඩින් මුව තවත් පළල් වී විවර විය. පැහැදිලි, හඬ පැතිර යන, තරුණ හා ශක්තිමත් කටහඬක් නිහඬ ජනරැළියට විසි කෙරුණි.

“සහෝදර ශ්රමිකයෙනි! දහස් ගණනින් අපි මෙතැන රැස්වී සිටිනුයේ එක මිනිහෙක්ට ආචාර කරන්නට ය. නමුත් ඒවා කොතරම් වටිනා ජයග්රහණයන් වූවත්, එක මිනිහෙක් යන්න ශක්තිමත් කම්කරු සාමූහිකත්වය ඉදිරියේ කිසිත් වැදගැම්මකින් නොයුතුයි. අර මිනිසා ඒකීය වූ පුද්ගලයෙක් පමණක් වූවා නම්, අපි අද මෙතැන නැහැ. ඔහු තමන්ට වඩා ශ්රේෂ්ඨ වූ දැයක සංකේතයක් වූයේ නැත්නම්, අපි අද ගෞරව කරන්න මෙතැනට එන්නෙ නැහැ. මේක අවමංගල්යක් නෙමෙයි, සහෝදරවරුනි, මේක උපන්දින උත්සවයක්! අපි සමරන්නේ සහෝදරයෙක් ගේ මරණය නොවෙයි. අපි සමරන්නේ නව මනුෂ්යත්වයක ආරම්භයයි. ඔහු ඒ නව මනුෂ්යත්වයේ පළමුවැන්නෙක්. ඒත් ඔහු එහි අවසාන අය නොවෙයි. සෝවියට් අය, සහෝදරවරුනි, අළුත් මිනිස් ජාතියක් නිර්මාණය කරනවා. ඒ අළුත් ජාතිය පරණ ලෝකය භීතියට පත් කරනවා. මොකද මේක ඒ යල් පැන ගිය ප්රමිති සියල්ලට මරණය කැඳවන නිසා. ඉතින් එහෙනම්, මේ අපේ අළුත් මනුෂ්යත්වයේ ප්රමිතියන් මොනවා ද? මුල් ම වූ, ප්රධාන ම වූව නම් අපිට අපේ භාෂාවෙන් වචනයක් නැතිවෙලා ගිහින්. වඩාත් ම බියජනක, වඩාත් ම කපටි, වඩාත්ම පාපතර වූ මනුෂ්ය වචනය: ‘මම’ කියන වචනය. අපි ඒකට වඩා වර්ධනය වෙලා. ‘අපි’ තමයි අනාගතයේ සටන් පාඨය. අපේ හදවත පත්ලේ පරණ මාරයා වූ ‘ස්වකීය’ කියන තැන හිටගන්නා අළුත් වචනය තමයි සාමූහිකත්වය. පසුම්බියට වඳින එකෙන් අපි ඈත් වෙලා, පුද්ගලික බලය, පුද්ගලික අහංකාරය යනාදියෙන් අපි ඈත් වෙලා. අපි රත්තරන් කාසි හෝ රත්තරන් පදක්කම් පතන්නේ නැහැ. අපේ එකම නම්බුනාමය වන්නේ සාමූහිකත්වයට සේවය කරන ගෞරවය ලැබීමයි. එක් අයෙක්ගේ ලාභය වෙනුවෙන් නොව සාමූහිකත්වයේ ලාභය වෙනුවෙන් අවංක සේවය කිරීම අපේ එකම අරමුණයි. අපි අද මෙතැන දී ඉගෙන ගෙන අපේ මායිම් වලට එපිටත සිටිනා හතුරන්ට උගන්වත යුතු පාඩම කුමක් ද? සාමූහිකත්වය වෙනුවෙන් පක්ෂ ස‍හෝදරයෙක් දිවි පුද කරන පාඩම. පාලනය කරන පක්ෂයක් එයින් පාලනය වෙන අය සඳහා දිවි පුද කරන පාඩම. සහෝදරවරුනි! ඔබ වටා ඇති ලෝකය දිහා බලන්න. බලන්න ධනවාදී රටවල් වල ඉන්නා තරබාරු කෙළ හලන ඇමතිවරුන් දිහා බලන්න. බලය අල්ලා ගන්නට ලේ හලමින් දඟලන ඔවුන් කොතරම් එකිනෙකා හා සටන් කරනවා ද, පිටුපස්සෙන් ඇනගන්නවා ද! ඊට පස්සෙ බලන්න ඔබව පාලනය කරන අය දිහා, ආත්මාර්ථකාමී නොවී තම සේවය සාමූහිකත්වය වෙනුවෙන් දිවි පූජා කරන අය. කම්කරුවන් නියෝජනය දැවැන්ත වගකීම බාරගත් අය දිහා බලන්න! ඔබ බලන්නේ නම්, ඔබට දකින්න හැකියි මා කියන්නේ කුමක් ද කියා. සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂය තමයි අද දේශපාලන ලෝකයේ තියන අවංක, බියගුළු නැති, උත්කෘෂ්ටයන් ඇති මිනිසුන් වෙතින් හැදිච්ච එකම මිනිස්සු පිරිස ඉන්න තැන!”

පීටර්-පෝල් කඳවුරේ පරණ කාල තුවක්කු සියල්ල එකවර ගඟ හරහා මුදවා හැරි ලෙසකින් අත්පොළසන් නාදයක් පැතිර ගියේ ය. වික්ටර්ගේ කළු කෙස් කැරලි රැස් වී සිටි පිරිස අතරින් නොපෙනී ගොස් කෙළින් සිටගත්, කෙටිව කැපූ කොණ්ඩයෙන් යුතු සෝනියා සහෝදරිය මතු වී අත වනද්දී අත් පොළසන් නාදය නැවතත් පැතිර ගියේ ය. ඇය තම පළල් පපුව පුම්බා හැකි තරම් මහත් හඬින් කම්කරු සමාජයේ නව කාන්තාවගේ නව යුතුකම් ගැන ගුගුලා ය. අනතුරුව තවත් මුහුණක් මතු විය. එය සිහින් විය. ක්ෂය රෝගියෙකුගේ මෙන් විය. රැවුල නොකැපූ මුහුණකි. කණ්ණාඩි පැළඳ සිටියෙකි. සුදුමැලි මුවක් පළල් ව හැර, කාටවත් ඇසෙන්නේ නැති වචන කැස්සේ ය. ඊට පසුව තවත් මුවක් කතා කළේ ය. එය සෙනඟ ඉක්බවා පැතිර ගිය කටහඬකි. ඒ මුව ඝනට වැඩුණු රැවුලකින් යුතු මුහුණකින් ආ නාද දෙන හඬකි. කොමියුනිස්ට් තරුණ වෘත්තීය සමිතියේ ගෝමර වැටි කොල්ලෙක් කතා කළේ ය. ඔහු හිස කසමින් ගොත ගසමින් කතා කළේ ය. උස අවිවාහක කාන්තාවක්, පොඩිවුන, පරණ තාලේ තොප්පියක් පැළඳ ගෙන රුදුරු ලෙසින් කතාවක් කළේ ය. ඇය තම කුඩා මුව විවර කළේ දන්ත වෛද්යවරයා ඉදිරියේ දී සේ ය. ඇය තම සිහින් ඇඟිල්ල සභාව දෙස දික් කරමින් කතා කළේ අකීකරු සිසු පිරිසකට තරවටු කරන්නා සේ ය. උස් නැව් කප්පිත්තෙක් කතා කළේ ය. ඔහුගේ මිටි මොළවා ගත් දෑත් ඉනේ රැඳී තිබුණි. පිටුපස පේලිවල ඉන්නා අය ඉඳහිටක ඉස්සරහ පේලිවල ඉන්නා අය සිනාවන හඬ ඇසෙද්දී වදන් මොනවා දැයි ඇසුනේ නැතත් සිනා වූහ.

නොඉවසිල්ලෙන් නළියමින් දහස් ගණනක පිරිසක් හිට‍ගෙන සිටියහ. ඔවුන් අඩි හප්පමින්, අත් කිහිලි වල ගසා ගෙන ද, කබා අත්වල ඇතුලට ඇදගෙන ද, ලොම් කබා කරවටා ඇති රැලි වල ඔබාගෙන, නැහැය යටින් ඉහළට ඇදි පරණ සළු අස්සේ කුඩා තෙත අයිස් හුස්ම පිට කරමින්, සිටියේ සිරුර උණුසුම් ව තබාගනු පිණිස ය. රතු බැනර් ඔසවා ගැනීම ඔවුන් වාරයෙන් වාරයට බාර ගත්හ. ඔසවා ගත් අය ඒ බැනර් එල්ලා තිබි පොළු තම සිරුරට තදින් හිර කරගත්තේ වැලමිටි වලිනි. සීතලට මිදී ගිය ඇඟිලි වලට ඔව්හු කටින් උණුසුම් හුමාලය පිම්බ හ. ටික දෙනෙක් කාටවත් නොකියා හිමිහිට අතුරු පාරවල් දිගේ සැඟ වී පිටත් වී ගියහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: