Sinhala story Blog

දෙසැම්බර් 2, 2011

අපි ජීවත්වන්නෝ -356 ඇමෙරිකන් පදිංචිකාරයා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:37 පෙ.ව.

ඔහු හෙමිහිට ඇවිද්දේ ය.

වීදි ඝනට වැටී මිදී ගිය හිම ඔප දැමූ ලෙසකින් අයිස් වී ඇත. කීරි ගාමින් පිරිමි අයගේ සපත්තු අයිස් මත වැදිණ. ලාම්පු කණු අසල සුදු රවුම් වල ලුණු කැට මෙන් හිම කැට දිළිසුණි. කඩ ජනේල වලින් වැටි හතරැස් එළියෙන් පිටි කරන ලද වීදුරු ගිනි දැල් මෙන් හිම දිළිසුණි. පෝස්ටරයකින් ශක්තිමත් බාහු රාජකීය විලසකින්, ජයග්රාහී ලෙසින් ඔසවා ගත් රතු කමිසයක් හැඳි දැවැන්තයෙකුගේ පින්තූරයක් දිස්විය.

“අපි නව මනුෂ්ය්ත්වය ඉදිකරන්නෝ වෙමු!”

අන්ද්රෙ ගේ අඩි සංසුන් විය. ස්ථාවර ව වැදිණ. අන්ද්රෙ ටැගනොව් යම් තීරණයක් කරා එළඹුන පසු හැම විටක දී ම සංසුන් ‍විය.
තම කාමරයට පිවිසි විට ඔහු විදුලි බල්බය පත්තු කරගත්තේ ය. ගෙනා බඩු මේසය මත තැබුවේ ය. කැප් තොප්පිය හා කබාය ඉවත් කළේ ය. එය කාමරයේ කොනක ඇණයක එල්ලී ය. ඔහුගේ නළල මතින් කෙස් රොදක් වැටිණ. දිගු හෙමින් වූ සංචලනයකින් ඔහු එය අතින් පස්සට පීරා දැමීය. උදුනේ අඟුරු කැබලි කිහිපයක් ඔහු ඉතිරි කර ඇත. කාමරය උණුසුම් ය. ඔහු කමිස අත්වල රැලි අතින් පිරිමැද කෙළින් කළේ ය.

ඔහු සෙමෙන් වටපිට බැලීය. බිම වූ පොත් ටිකක් දැක්කේ ය. ඔහු ඒවා අහුලා ගෙන සීරුවෙන් මේසය මත ගොඩක් ගැහුවේ ය.
සිගරැට්ටුවක් දල්වා ගත් ඔහු කාමරයේ මැද සිටගෙන සිටියේ ය. ඔහුගේ වැලමිට සිරුරට හිර වී තිබිණ. කඩ ජ‍නේලයක වූ ඉටි රුවක් මෙන් නොසෙල්වී එක අතකින් පමණක් තමනට ඉදිරියෙන් ඉතා සෙමෙන් හැඩ රුවක් ඇන්ඳේ ය. ඒ සිහින් දිගු ඇඟිලි දෙකක රඳවා ගත් සිගරැට්ටුවෙනි. අනතුරුව ඔහු සිගරැට්ටුව මුවේ රඳවා ගත්තේ ය. කාමරයේ සෙලවුනු එකම දෙය ඒ අත හා එහි අග රැඳි සිගරට් දුමාරයයි, එය තොල් අසලින් පටන් ගෙන උරහිස දක්වා ඇදී ගොස් නැවත තොල් වෙතින් දිස්විය. සිගරට් අළු බිමට පතිත විය.

ඇඟිල්ලේ රස්නයක් දැනුනු කල සිගරැට්ටුව උරා අවසන් කර ඇති බව ඔහු දැක්කේ ය. කොටය උදුනට විසි කළ හෙතෙම මේසය අසලට ගියේ ය. ඔහු අසුන් ගෙන ලාච්චුවක් ඇරියේ ය. එහි වූ දෑ එකින් එක ඉවතට ගෙන ඒ දිහා බලා සිටියේ ය. කඩදාසි කිහිපයක් අතට ගෙන මේසය මත ගොඩක් ගැහුවේ ය.

ඉක්බිතිව ඔහු නැඟිට උදුන වෙත ගියේ ය. පුවත්පත් කඩදාසි උදුනට දමා තැඹිලි ගිනි දැල්වෙන තෙක් ඊට පිම්බේ ය. දර කොට දෙකක් උදුනට එකතු කර ඒවායේ කීරි ගාමින් දැල්වෙන්නට ගත් පොත්තේ සුදු දැල් පෙනෙන තෙක් ඒ අසල හිටගෙන බලාගෙන සිටියේ ය. අනතුරුව ඔහු මේසය වෙතට ගොස් ගොඩ ගැසූ කඩදාසි ගොඩ ගෙනැවිත් උදුනට දැමුවේ ය.

ඊ ළඟට ඔහු තම ඇඳුම් තැන්පත් කර තිබූ පරණ පෙට්ටි හැරියේ ය. තම කාමරයේ තිබී කිසිවකුත් සොයා නොගත යුතු වූ දෑ ඔහුට විය. කෙල්ලකගේ කළු සැටින් ලෝගුවක් අතට ගත් ඔහු එය උදුනට විසි කළේ ය. රතු එළියෙන් දීප්තියෙන් දැල්වෙන ගින්නේ රෙද්ද හැකිළී යන හැටි ඔහු බලාගෙන සිටියේ ය. ඉන් දැල්ලක් හටගත්තේ නැත. දිගු සිහින් දුමාරයක් සමඟ දැඩි නැහැය හකුළුවන කටුක ගන්ධයක් නිකුත් විය. ඔහු ඒ දිහා බලා සිටියේ ය. ඒ දිහා බලා සිටි ඔහුගේ දෑස් නිසල ය, පුදුමයෙන් පිරී තිබුණි.

කළු සැටින් සෙරෙප්පු යුගලක් ද, ලේස් ලේන්සුවක් ද, සුදු රිබන් පටියෙන් වූ ලේස් කබායක් ද ඔහු ගින්නට එකතු කළේ ය. කබායේ අතක් කළු ගැසි ගඩොල් අතරින් එළියට වැටිණ. ඔහු එය ප්රවේසමින් ඔසවා නැවතත් ගින්නට එකතු කළේ ය.
ඊ ළඟට ඔහුගේ අතට අහුවුනේ ‘ඇමෙරිකන් පදිංචිකාරයාය’ නමින් වූ කළු හැඩරුවක් රතු ද්රාවණයක බහා ලූ වීදුරු සෙල්ලම් බඩුවයි. ඔහු එය දිහා බැලී ය. මඳක් පසුබට විය. එයත් ප්රවේසමින් ගිනිගත් ලේස් මත තැබුවේ ය. වීදුරු ටියුබය පුපුරා ගියේ ය. ද්රාවණය සිරි සිරි ගා දැල් වී ගියේ තියුණු හුමාල ඩිංගිත්තක් පිට කරමිනි. ‘පදිංචිකාරයා’ ගල් අඟුරු අතර හිලක රැඳිණ.
ඊ ළඟට ඔහු අතට ගත්තෙ කළු ෂිෆෝන් නිදන ඇඳුමයි. එය දෑතින් ම අල්ලා ගත් ඔහු උදුන ඉදිරියේ හිටගෙන සිටියේ ය. අල්ල පිරී ගිය දුමාරයක් මෙන් දැනුන ඒ බර නැති සිල්ක් ඇඳුම ඔහුගේ අත්ලේ පොඩි වී ගියේ ය. අත්ලේ දිග හැරගත් තුනී කළු රෙද්ද තුලින් ඔහු තම ඇඟිලි දිහා බැලුවේ ය. ඇඟිලි හෙමිහිට සෙලවූයේ ය.

උදුන ළඟින් දණගසා ගත් ඔහු එය ගින්න මත ඇතිරුවේ ය. ‍මොහොතකට රතු අඟුරු කළු වීදුරුවකින් වැසී ගියා සේ අඳුරු විය. ගවුම සුළං පහරක් වැදි සේ වෙව්ලා ගියේ ය. වාටිය කැරලි ගැසී ගියේ ය. බෙල්ල ළඟ වාටියේ කොනකින් සිහින් නිල් දැල්ලක් පැන නැඟ්ඟේය.

ඔහු නැඟිට ඒ දිහා බලාගෙන සිටි‍යේ ය. දිළිසෙන රතු නූල් කළු රෙද්ද පුරා දුවන හැටි බලා සිටියේ ය. කළු හීන් සිවියක් අඟර දඟර නටන හැටි බලා සිටියේ ය. එය හරියට හුස්ම ගන්නවා වැනි ය. කුදු වෙනවා වැනි ය. රෙද්ද මෙන් තුනී වූ දුමාරයක් බවට හැරී කුඩා වී යන හැටි බලා සිටියේ ය.

ඔහු දිගු කාලයක් හිටගෙන ඒ කළු, දිළිසෙන රතු වාටි වලින්, තවමත් ගවුමක හැඩයෙන් වූව දිහා බලා සිටියේ ය. එහෙත් එය තව දුරටත් විනිවිද පෙනෙන සිහින් තුනී ගතියෙන් නොවීය.

එය සපත්තු අගිස්සෙන් ඔහු තල්ලු කර බැලුවේ ය. අල්ලන්නටත් පෙර ම වාගේ ඒ කුඩා කෑලි වලට කැඩී ගියේ ය. පුංචි අළු දැලි ලෙසින් චිමිනිය කරා ඇදී ගියේ ය.

ඔහු ‍හැරී ගොස් මේසය අසලින් වාඩි විය. එක අතක් මේසයේ ද අනිත් අත දණහිසේ ද තියාගෙන, ඔහුගේ දෑත් පහලට එල්ලෙද්දී, කෙළින් වූ ද, පුරුක් අතරින් පමණක් වෙනසක් පෙනෙනා වූ ද ඇඟිලි දහය ම නොසෙල් වී තිබිය දී, හරියට වායුවට ඇලී තිබෙන ලෙසකින් සිටියේ ය. රාක්කයක පරණ එලාම් ඔරලෝසුවක් ටික් ටික් ගාමින් වැදෙනා හඬ ඇසුණි. ඔහුගේ මුහුණ බැරෑරුම් විය. නිහඬ විය. ඔහුගේ දෑස් කාරුණික විය, පුදුමයකින් පිරි තිබිණ, කල්පනාවෙන් පිරී තිබිණ …

ඔහු හැරී, ලාච්චුවෙන් කඩදාසි කොලයක් රැගෙන මෙසේ ලියුවේ ය: “මගේ මරණයට වෙන කිසිවෙක් වගකිව යුතු නැත.” අනතුරුව අත්සන් කළේ ය: “අන්ද්රෙ ටැගනොව්.”

එක වෙඩි පහරක් පමණක් පත්තු විය. ගරුඬ තරප්පු පෙල දිගු වූ නිසා සහ හිමෙන් මිදී තිබුණ නිසාත් එය අවසන් වූයේ හිමෙන් පිරි උද්යානයක වූ නිසාත්, කිසිවෙක් සොයා බලන්නට ගියේ නැත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: