Sinhala story Blog

නොවැම්බර් 17, 2011

අපි ජීවත්වන්නෝ -345 නිනෙල්, මාර්ක්සිනා, කොමියුනාරා, යුනිවසිටේටා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:36 පෙ.ව.

XIV

සෝනියා සහෝදරිය මේසය අසල වාඩි වී සිටියා ය. ලැවැන්ඩර් මල් පැහැයේ පාටින් සායම් දිය වී ගිය කිමෝනාවක් ඇය හැඳ සිටියා ය. ඇයගේ කනේ පැන්සලයක් රැඳී තිබුණි. කිමෝනාවේ ඉදිරිපස පැති දෙක එකතු වී නොතිබිණ. තව දුරටත් වසන් කරනු නොහැකි තරම් ලෙසින් ඇයගේ සිරුර දරු උපත්තිය සඳහා වෙනස් වී ඇත. ඇය ලාම්පුව යටින් නැවී, කැලැන්ඩරයක පිටු පෙරළමින්, ඉඳහිටක පැන්සල රැගෙන ඉක්මණින් කඩදාසි කැබැල්ලක සටහන් ගසා ගනිමින් සිටින්නී ය. ඇය විටින් විට පැන්සලේ අග විකුවා ය. පහල තොලේ දම්පාට පැල්ලමක් පැතිර ඇත. පැන්සලේ පාට නොමැකිය හැකි තීන්ත වලින් නිම වූවකි.

පවෙල් සියරොව් දිවානයේ දිග හැරී සිටියේ ය. ඔහුගේ කකුල් ආවරණ දැමූ පා දිවානයේ ඇන්ද මත රැඳී තිබිණ. ඔහු පුවත්පතක් කියවමින්, සූර්යකාන්ත මල් ඇට පොතු විකමින් සිටියේ ය. දිවානය අසලින් බිම දිගහැරී තිබි පුවත්පත් කඩදාසියකට ඔහු තම කටේ වූ පොතු විසි කළේය. තොල් වලින් පිට වී යන පොතු තාච්චියක යමක් බදිනා විට හඬ නඟන සිරි සිරි සද්දය වැනි සද්දයක් පිට කළේ ය. පවෙල් සියරොව් හිටියේ කම්මැලිකමෙනි.

“අපේ දරුවා,” සෝනියා සහෝදරිය කීවා ය, “අපේ නව රාජ්යයයේ නව පුරවැසියෙක් වෙයි. එයා හැදෙන්නෙ වැඩෙන්නෙ නිදහස්, නිරෝගී කම්කරු අයිඩියලොජියක් පවතින වාතාවරණයක. ස්වභාවික වර්ධනයක් ලබන්නට පුළුවන් බුර්ජුවාසි ඇදහිලි වලින් තොර වූ පරිසරයක.”

“එහෙම තමා,” පවෙල් සියරොව් කීවේ ඔහු කියවමින් සිටි පුවත්පතින් මුහුණ ඉවතට නොගෙන ය.

“මට එයාව පුරෝගාමීන් එක්ක ලියාපදිංචි කරන්න ඕන. උපන්න දිනයේ ම. රතු ලේන්සුවක් බෙල්ලෙ බැඳ‍ගෙන, නිල් හමුදා ටැංකි උඩ නැඟලා, අපේ අනිත් පුරවැසියන් එක්ක පා ගමන් යද්දී, සෝවියට් අනාගතයට ජීවත්වන තෑග්ගක් දීම ගැන ඔයා ආඩම්බර වෙන්න පුළුවන් නේද?”

“සහතිකයෙන් ම,” පහත වූ පත්තර කඩදහියට පොත්තක් කටින් විසි කරමින් පවෙල් සියරොව් කීවේ ය.

“අපි අව්යාජ රතු බෞතීස්මයක් දෙමු. ඔයා දන්නවානෙ, පාදිලිවරු නැතිව, අපේ පක්ෂ සහෝදරයෝ විතරක් එක්ක. සිවිල් උත්සවයක්, සුදුසු කතා පවත්වලා. මම නමක් ගැන තීරණයක් ගන්න උත්සාහ කරනවා … ඉතින් ඔයා මට සවන් දෙනවා ද, පවෙල්?”

“සහතිකයෙන් ම,” සියරොව් කීවේ ය, දත් අතරින් ඇටයක් ඇතුල් කළේ ය.

“නව, අරගලවාදී නම් වලට හොඳ යෝජනා ගොඩක් මේ කැලැන්ඩරයේ තියනවා. අපේ මෝඩ පරණ සාන්තුවරයන්ගේ නම් වෙනුවට. මම හොඳ ඒවා සමහරක් ලියා ගත්ත. දැන් ඔයා මොකක් ද හිතන්නේ? එයා කොල්ලෙක් නම්, මම හිතන්නෙ නිනෙල් කියන එක ලස්සන වෙයි.”

“ඒ මොන යකෙක්ගෙ නමක් ද?”

“පවෙල්, මම ඉවසන්නෙ නැහැ ඔය වගේ භාෂාව හෝ ඔය තරම් අනුවණ කතා! ඔයාගෙ දරුවගේ නම ගැන හිතන්න එක සිතුවිල්ලක් ඔයා වෙන් කළා ද, නෑ නේද?”

“ඉතින්, කියන්න, මට තාම කාලේ තියනවානේ, නැද්ද?”

“ඔයාට ඕනකමක් නැහැ. එච්චරයි. ඔයා මාව රවට්ටන්න හදන්න එපා, පවෙල් සියරොව්. මට ඒක අමතක වෙයි කියලා ඔයාව රවට්ටා ගන්නත් එපා!”

“අයියෝ, ඔන්න බලන්න, දැන්, සෝනියා, ඇත්තෙන් ම, ඔයා දන්නවා, මම නම දාන එක ඔයාට ඉතිරි කරනවා. ඔයා තමයි ඊට වඩාම සුදුස්සා.”

“ඔව්, පුරුදු විදියට. ඉතින්, නිනෙල් කියන්නෙ අපේ ශ්රේෂ්ඨ නායකයා ලෙනින්ගෙ නම -අනිත් පැත්තට හරවලා දැම්මම. ඉතාමත් සුදුසුයි. නැත්නම් අපිට එයාට කතා කරන්න පුළුවන් විල් – ඒක තමයි අ‍පේ ශ්රේෂ්ඨ නායකයාගේ නමේ අකුරු වලින් හැදෙන්නෙ -ව්ලැඩිමියර් ඉලියිවිච් ලෙනින්. දැක්කා ද?”

“එහෙම තමයි. ඉතින් දෙකෙන් කොයි එකත් මට හොඳයි.”

“දැන්, එයා කෙල්ලෙක් වුනොත් -මම බලාපොරොත්තු වෙන්නෙ කෙල්ලෙක්, මොකද නව කාන්තාව සම්පූර්ණයෙන් තම අයිතීන් ලබා ගන්න කාලයක්, පිරිමි ඔයාලා පිළිගන්නෙ නැති වුනාට, කම්කරු නිදහස් කාන්තාවට තමයි අනාගතය බාර වෙන්නෙ- ඉතින්, එයා කෙල්ලෙක් නම්, මට හොඳ නම් ටිකක් තියනවා මෙතැන. ඒත් මම වැඩියෙන් ම කැමති ඔක්ටියාබ්රිනා කියන නමට. මොකද ඒක අපේ ඔක්තෝබර් අරගලය සිහිවෙන්න කියාපු නමක්.”

“ටිකක් … දිගයි, නේද?”

“ඒකට මොකද? ඒක ඉතා හොඳ නමක්. ඉතා ජනප්රිය නමක්. ඔයා දන්නවා, ෆම්කා පොපෝවා, පහුගිය සතියට ඉස්සර සතියේ එයා රතු බෞතීස්මයක් පැවැත්වූවා. ඒ නම තමයි ඇය ඇයගෙ නරුම පැටියට තිබ්බෙ -ඔක්ටියාබ්රිනා. පත්තරේ පොඩි සඳහනකුත් ලැබුණ ඒ නිසා. ඇයගේ සැමියාට ඉතා ආඩම්බරයි -අන්ධ මෝඩයා!”

“දැන්, සෝනියා, ඔයා අඟවන්න නරකයි …”

“මෙන්න අහන්න, ගෞරව කළ යුතු ආචාර ධර්ම වාදියෙක් කතා කරන්න හදනවා! ඒ ෆිම්කා බැල්ලි හැඳින්වෙන්නෙ … ඔහ්, ඇය යකාට ගියාවේ! ඒත් ඇය හිතනවා නම් ඇයගේ පැටව් ගැන පමණයි සඳහනක් පත්තරේ වැටෙන්නෙ කියලා … මම … මම තව නම් වගයකුත් කොපි කරගත්ත. හොඳ නූතන නම්. ඔන්න තියනවා මාර්ක්සිනා, ඒක කාල් මාක්ස් නිසා. නැත්නම් කොමියුනාරා .. නැත්නම් ..”

මේසය යටින් යමක් පෙරලී යන සද්දයක් ඇසිණ.

“යකාට ගියාවේ!” සෝනියා සහෝදරිය කීවා ය. “මගේ යකාට ගිය සෙරෙප්පු!” ඇය පුටුව මත අපහසුවෙන් හරි බරි ගැසුනා ය. එක කකුලක් දිග හැරියා ය. කකුලෙන් සෙරෙප්පුව අල්ලා ගන්නට තැත් දැරුවා ය. සෙරෙප්පුව සොයාගත් ඇය බිමට අමාරුවෙන් නැවී ගෙවී ගිය අඩියෙන් වූ සෙරෙප්පුව අතින් ඇද්දා ය. “බලන්නකො මේ මට දාන්න වෙලා තියන පරණ කබල්! මට කොච්චර දේවල් අවශ්ය ද? දරුවත් මඟ එන නිසා … ඔයත් හරි වෙලාවක් තමයි තෝරගත්තෙ නියම සාහිත්ය රචනයක් ලියලා ඔක්කොම නැති කරගන්න, බේබදු මෝඩයා!”

“දැන් අපි ඒක ආයෙත් ඇදලා ගන්නෙ නැහැ, සෝනියා. මට ඒකෙන් ගැලවෙන්න ලැබිච්ච එක ලොකු වාසනාවක් බව ඔයා දන්නවා.”

“ඔව්! ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ කොවැලෙන්ස්කි වෙඩි තියන හමුදාව ඉදිරියට යන්න හොඳ ලස්සන හැමෝටම ඇහෙන නඩුවක් ලබා ගනිවී කියල. සෙන්ටො‍ඩෙල් කාන්තාවෝ එකතු කරලා කාල්පනියන්ටයි රදළයන්ටයි එරෙහිව විරෝධතා රැළියක් පවත්වන්න මම බලාගන්නම්!” ඇය කැලැන්ඩරයේ පිටු අතරින් ඇඟිලි යවමින් කෑ ගැසුවා ය: “මෙන්න කෙල්ලෙක්ට හොඳ තවත් නමක්: ට්රිබියුනා. නැත්නම් බැරිකෑඩා. එහෙම නැත්නම්, නූතන විද්යාවේ ජවය පෙන්වන නමක් විදියට අපිට යුනිවසිටේටා කියල දාන්නත් පුළුවන්.”

“ඒක දිග වැඩියි,” සියරොව් කීවේ ය.

“මම කැමතියි ඔක්ටියාබ්රිනා. සංකේතමය බවින් වැඩියි. මම හිතනවා කෙල්ලෙක් වෙන්න කියලත්. ඔක්ටියාබ්රිනා සියරොව් -අනාගතයේ නායිකාව. ඔයාට ඕන කෙල්ලෙක් ද කොල්ලෙක් ද, පවෙල්?”

“මට ගානක් නැහැ,” සියරොව් කීවේ ය, “නිවුන්නු නෙමෙයි නම් ඕන එකක්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: