Sinhala story Blog

නොවැම්බර් 15, 2011

අපි ජීවත්වන්නෝ -343 මා ජීවත් වෙන්නේ ඇයි කියා දන්නවා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:17 පෙ.ව.

ඇයගේ දෑත් විහිදී ඇත.

ඇයගේ පරණ ගවුම යටින් ඇයගේ පියයුරු ඉදිරියට දිස් වේ. ඇය හති දමන්නී ය. ඇයගේ සිරුරේ හැම මාංශ පේශියක් ම තමනට දැකිය හැකි යැයි ඔහු සිතුවේ ය.

කෝපාවිෂ්ටයෙන් අන්තිම වෙව්ලීමක් ඉදිරිපත් කරන කාන්තාව‍කගේ සිරුරකි. ඇය කෑ ගැසුවා ය:

“ඉතින් මා දිහා බලන්න! හොඳට බලන්න! මම උපන්නා. මම දැන සිටියා මම ජීවතුන් අතර ඉන්න බව. මම දැන සිටියා මට ඕන මොනවා ද කියා. මා තුල මොකක් ජීවත් වෙනවා කියල ද ඔයා හිතන්නෙ? මා ජීවත් වෙන්නෙ ඇයි කියලා දන්නවා ද? මට කන්න සහ ආහාර ජීර්ණය කරගන්න බඩගෙඩියක් තියන නිසා ද? නැත්නම් මට ඕන මොකක් ද කියා මා දන්න නිසා ද? ඉතින් ඒ යමක් උවමනා කරන්න හැකියාවක් තියූ දැයකට -ඒක ජීවය නේද? ඉතින් කාට ද පුළුවන් -මේ පව්කාර ලෝකයේ- මට කියලා දෙන්න, මට ඕන දේ වෙනුවෙන් නෙමෙයි මා ජීවත්විය යුත්තේ කියා? කාට ද පුළුවන් ඒකට මිනිස් සද්ද වලින් මිනිස් විචාරය වෙනුවෙන් කතා කරලා උත්තර දෙන්න? .. ඒත් ඔයාල උත්සාහ කළේ අපිට කියන්න අපිට ඕන මොනවා ද කියල. ඔයා සංවේගාත්මක හමුදාවක් වගේ ආවේ මිනිස්සුන්ට අළුත් ජීවය ලබා දෙන්න. ඔයා බඩවල් කපල දාලා, ඔයාලා කිසිත් දැන නොසිටිය ඒ ජීවය උදුරලා දැම්ම. ඒක කුමක් විය යුතු ද කියලා ඔයාල ඔවුන්ට කිව්ව. ඔයාල ගත්ත ඔවුන්ගෙ ආත්මයේ ඈතම කොනක තිබ්බ හැම පැයක් ම, හැම මිනිත්තුවක් ම, හැම ස්නායුවක් ම, හැම සිතුවිල්ලක් ම. ඊට පස්සෙ තියෙන්න ඕන මෙන්න මේකයි කියල ඔවුන්ට කිව්ව. ඔයාල ඇවිත් ජීවත්වෙන අයට ජීවිතය අහිමි කරලා. අපි සේරම ව යකඩ සිරගෙයකට දාලා ඔයාල දොරවල් වහල. වායුවක් ඇතුලට නොවැටෙන විදියට. අපේ ජීවයේ නහර පිපිරෙන තරම් තදින් හිරකරලා! ඊට පස්සෙ ඔයාල ඇස් අයාගෙන පුදුමයෙන් කල්පනා කරනවා ඒකෙන් අපිට වෙන්නෙ මොකක් ද කියල. ඉතින් එහෙනම් බලන්න! ඇස් ඉතිරි වෙලා තියන හැම දෙනාම -මෙන්න බලන්න!”

ඇය සිනහා වූවා ය. ඇයගේ දෙවුර හෙළවුණි. තවත් අඩියක් ඔහු වෙතට ගත් ඇය ඔහුගේ මුහුණට කෑ ගැසුවා ය:

“ඇයි ඔයා ඔතන හිටගෙන? ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ? ඔයා කල්පනා කරනවා ද මම කවුදැයි කවදාවත් නොදත්තේ ඇයි කියල? ඉතින් මෙන්න මම ඉන්නවා! මෙන්න ඔයා ඔහුව මගෙන් ගත්තට පස්සෙ ඉතිරි වෙලා තියන හරිය -ඔයා මගේ හදවතට පැනලා මගේ ජීවය උදුරා ගත්තට පස්සෙ ඉතිරිය. ඉතින් ඔයා දන්නවා ද ඒ මොකක් ද කියලා? ඔයා දන්නවා ද ඒකේ තේරුම, ඔයා මගේ ඉහළ ම ගෞරවයට අත දැම්මා ම … ”

ඇය වාක්යය අවසන් නොකර නතර වූවා ය. තැතිගත් හුස්මක් පිට කළාය. එය ආශ්වාසයක් හිරවෙන සද්දයකි. හරියට ඒ වදන ඇයට අතුල් පහරක් දුන්නා සේ ය. පිටි අත්ලෙන් ඇය මුව වසා ගත්තා ය. ඇය නිහඬව සිටගෙන සිටියා ය. පැහැදිලිව, සම්පූර්ණයෙන්, ප්ර්ථම වරට දැකි දෙයක් දිහා ඇය දෑස් අයාගෙන බලා සිටියා ය.

ඔහු සිනාවක් පෑය. ඉතා හෙමින්, ඉතා කරුණාවෙන්. ඔහු තම දෑත් අත්ල පාමින් දිගු කළේ ය. පැහැදිලි කිරීමක් ඇයට අවශ්යි නොවූ දුක්ඛිත උරහිස් හැකිළීමක් පෑය.

ඇය කෙඳිරි ගෑවා ය: “අහෝ, අන්ද්රෙ! … ”

ඇය ඔහු වෙතින් ඈත් වී පිටුපස්සට පා තැබුවා ය. ඇයගේ බියෙන් තැති ගත් දෑස් ඔහුගේ දෑස් අල්ලා ගෙන සිටියේ ය.

“කීරා, මම ඔයා හිටිය තැන හිටියා නම් මමත් කරන්නේ එයම තමා -මම ආදරය කරන පුද්ගලයා වෙනුවෙන්- ඔයා වෙනුවෙන්.” ඔහු කීවේ සෙමින් ය.

ඇය කෙඳිරි ගෑවා ය, ඇයගේ අත මුව අසල විය. “අහෝ අන්ද්රෙ, අන්ද්රෙ, මම කුමක් ද ඔයාට කළේ?”

ඇය ඔහු ඉදිරියේ සිටගෙන ය, ඇයගේ සිරුර කඩා හැලුණි. මුහුණට වඩා විසල් වූ දෑස් ඇති බියපත් දරුවෙක් මෙන් හදිසියේ ඇයගේ මුහුණ දිස්විය.

ඔහු ඇය අසලට අවුත් ඇයගේ මුව ළඟ වූ අත රැගෙන තම ශක්තිමත් අතින් එය අල්ලා ගත්තේ ය. ස්ථිර ව ගමන් කරන්නට ඉමහත් වෑයමක් ගන්නා මිනිහෙකුගේ පාද තබන විලාසයෙන් ඔහුගෙන් වදන් පිට විය: “ඔයා මෙහෙ ඇවිත් මට කියපු දේවල් කියපු එකෙන් මට ලොකු උදව්වක් ඔයා කළේ. මොකද, ඔයා බලන්න, ඔයා මට ආපහු දුන්න මට නැති වෙලයි කියල මම හිතපු දෙයක්. ඔයා තාමත් මම ඔයා ගැන හිතපු විදියම යි. මම ඔයා ගැන හිතුවාටත් වඩා. එකම දේ … ඒක ඔයා මට කරපු දෙයක් නෙමෙයි .. ඒක ඔයාට විඳින්න වෙච්ච දුක මම .. මමයි ඒ දුක ඔයාට දුන්නෙ, ඒ හැම මිනිත්තුවක් ම ඔයාට .. ඔයාට ..”

ඔහුගේ හඬ බිඳිණ. අනතුරුව ඔහු හිස සෙලවීය. එවිට ඔහුගේ කටහඬ දොස්තරවරයෙකුගේ මෙන් ස්ථිර විය: “මේ අහන්න, දරුවා, අපි වෙන කතා කරන්න ඕන නැහැ. මම කැමති ඔයා ටික කාලයක් නිහඬ ව ඉන්නවා නම්. ඉතාමත් නිහඬව. ඇතුලතින් ද නිහඬව, ඔයාට වැටහෙනවා ද? හිතන්න එපා. නොහිතා ඉන්න උත්සාහ කරන්න. ඔයා වෙව්ලනවා. ඔයා ගිහින් ටිකක් නිවාඩු ගන්න. මෙන්න. මම කැමති ඔයා මෙතන පොඩ්ඩක් වාඩි වෙලා නිහඬ ව ඉන්නවා නම් මිනිත්තු කිහිපයක්.”

ඔහු ඇයව කැඳවා ගෙන පුටුවක් අසලට ගියේ ය, ඇයගේ හිස ඔහුගේ උරහිසට පහත් විය. ඇය රහසින් කියුවේ “ඒත් .. අන්ද්රෙ .. ඔයා ..” කියා ය.

“ඒක අමතක කරලා දාන්න. ඔක්කොම අමතක කරන්න. ඔක්කොම හරි යයි. ‍නිහඬව ඉන්න. මුකුත් හිතන්න එපා.”

ඔහු ඇයව සෙමෙන් උස්සා ඉතා කරුණාවෙන් පුටුවක් මත හිඳ ගන්නට සැලැස්සුවේ ය. ඇය ඊට එරෙහි වූයේ නැත. ඇයගේ සිරුර අප්රාණික විය. ඇයගේ ගවුම දණහිස් වලින් ඉහළට එසැවී තිබිණ. ඇයගේ කකුල් ද වෙව්ලනවා ඔහු දුටුවේ ය. ඔහු තම හම් කබාය රැගෙන ඇයගේ කකුල් වටා එය පෙරවීය. “මේක ඔයාව උණුසුමින් තියයි. කාමරය හීතලයි. ගිනි උදුන පත්තු කළේ දැන් ටිකකට කළින්. ඉතින් ඔ‍හොම පොඩ්ඩක් ඉන්න.”

ඇය සෙලවුනේ නැත. ඇයගේ හිස පුටුවේ ඇන්දට හේත්තු විණ. ඇය ඇස් පියා ගත්තා ය. එක අතක් ඇයගේ පැත්තකින් එල්ලා වැටුණි. නිශ්චල අතේ ගිනි උදුනෙන් ආ රෝස පැහැති එළියක් දිස්වුණි.

ඔහු ගිනි උදුන අසල අන්ධකාර වූ තැනක හිටගෙන ඇය දිහා බලා සිටියේ ය. සමාජයේ කොතැනක කවුරු හරි විසින් ‘අන්තර්ජාතිකය’ වාදනය පටන් ගෙන ය.

ඔහු කොතරම් වේලාවක් එතැන සිටගෙන සිටියා දැයි ඔහු නොදනී. ඇය සෙල වී හිස එසැවූ කල ඔහු “දැන් පොඩ්ඩක් හරි ද?” යැයි ඇසුවේ ය.

ඇයගේ හිස සෙලවුනේ දුර්වල ලෙසින් ය, හිස වනන්නට ගන්නා උත්සාහයකිනි.

“දැන් අපි ඔයාගෙ කබාය දා ගනිමු. මම ඔයාව ගෙදර එක්ක ගෙන යන්නම්. මට කැමති ඔයා නිදාගන්නවා නම්. නිවාඩු ගන්න. කිසිවක් ගැන හිතන්න එපා.”

ඇය එරෙහි වූයේ නැත. ඇයගේ හිස පහළට යොමු වී තිබිණ. තම කබායේ බොත්තම් පියවන ඔහුගේ ඇඟිලි දිහා ඇය බලාගෙන සිටියා ය. ඇය හිස එසවූවා ය. ඇයගේ දෑස් ඔහුගේ දෑස් වෙත යොමුවිය. නිහඬ හඳුනා ගැනීමකින් ඔහුගේ දෑස් ඇය වෙත හිනාවක් පෑ ය. ඒ සිනාව ඔවුන් විද්යායතනයේ දී හමු වූ පළමු දිනයේ ඔහු පෑ හිනාව වැනි ය.

දිගු හිමෙන් මිදුණ තරප්පු පෙළ බැස යන්නට ඇයට ඔහු උදව් කළේ ය. උද්යාන ගේට්ටුව අසල දී ඔහු ඇය වෙනුවෙන් හිම යානයක් කැඳවීය. ඇයගේ ගෙදර ලිපිනය, ලියෝගේ ගෙදර ලිපිනය, රියැදුරා වෙත දුන්නේ ය. ලොම් කම්බිලිය ඇයගේ දණහිස් මතින් ඔහු දැම්මේ ය. හිම මතින් යානය ඇදී යද්දී ඔහුගේ අත ඇයගේ අත අල්ලා ගෙන සිටියේ ය. ඔවුන් ගමන ගියේ නිහඬ ව ය.

හිම යානය නැවතෙද්දී “මම කැමතියි ඔයා ටික දවසක් නිවාඩු ගන්නවා නම්. කොහේවත් යන්න එපා. ඔයාට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඔයා හිත් කරදර කරගන්න එපා .. ඔහු ගැන. ඒක මට බාරදෙන්න,” යැයි කීවේ ය.

පදිකවේදිකාව අසල පාරේ බැම්මේ හිම ඉතා බහුල ව ගොඩ ගැසී තිබුණි. ඇයව අත් දෙකෙන් උස්සා ගෙන ඔහු දොර අසලටත් තරප්පු පෙළ දිගේ උඩටත් ගෙන ගියේ ය. ඇය රහසින් කෙඳිරි ගෑව ද හඬක් පිටවුනේ නැත. ඇයගේ සෙලවෙන තොල් ඔහු දැක්කේ ය: “.. අන්ද්රෙ …”

“ඔක්කොම හරි යාවී,” ඔහු කීවේ ය.

ඔහු හිම යානය වෙත නැවත ගියේ තනිවම ය. ඔහු පක්ෂ සමාජයේ ලිපිනය රියැදුරාට දුන්නේ ය. එහි ඔහුගේ සහෝදරයන් කෘෂිකාර්මික තත්වය ගැන වාර්තාවක් බලාපොරොත්තුවෙන් පසුවෙති.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: