Sinhala story Blog

නොවැම්බර් 8, 2011

අපි ජීවත්වන්නෝ -337 අපි මේ විදියට කවදා හෝ හමුවෙයි

Filed under: Uncategorized — sinhalashortstories @ 8:29 පෙ.ව.

ලැව්රොව්ගේ භාර්යාව දොර හැරියා ය.

ඇය හුස්ම හිරවෙන සද්දයක් නැඟුවා ය. එය ඉක්කාවක් මෙන් ඇයගේ යටි උගුරින් පටන් ගන්නවා ඇසිණ. අන්ද්රෙ හැඳ සිටි හම් කබායත්, ඔහුගේ ඉනේ වූ තුවක්කුවත්, ඔහු පිටුපසින් දැකි බයිනේත්තු හතරක යකඩ පිහි තුඩු දැකි ඇය තම කට අතින් වසා ගත්තා ය.

සොල්දාදුවන් හතර දෙනෙක් අන්ද්රෙ පිටුපසින් ඇතුල් වූහ. අන්තිමට ඇතුල් වූ සොල්දාදුවා ගම්භීර විලසකින් දොර තඩාස් ගා වසා දැමුවේ ය.

“අනුකම්පා කරන්න දෙවියනේ! අහෝ, අනුකම්පා කරන්න දෙවියනේ!” අත් දෙක ම ඔසවමින් සායම් දිය වී ගිය කඩවැස්මක් හැඳි කාන්තාව හඬා වැටුනා ය.

“හෙලවෙන්න එපා!” අන්ද්රෙ අණ දුන්නේ ය. “කොහෙද කොවැලෙන්ස්කි පුරවැසියාගේ කාමරය තියෙන්නෙ?”

කාන්තාව තම වේවලන ඇඟිල්ලක් දිගු කර පෙන්වූවා ය. අන්ද්රෙ පිටුපසින් ගිය සොල්දාදුවන් ද නික්ම වී ගිය පසුව ද ඇය ඇඟිල්ල මෝඩ විදියට තවත් කාලයක් දිගු කර‍ගෙන සිටියා ය. ඉස්තෝප්පුවේ වූ ඇඳුම් රඳවන රාමුව දිහා ඇය නෙත් යොමු කළාය. මිනිස් සිරුරු වලට හැඩගැසි අයුරින් නැවී තිබුණ පරණ උණුසුම් කබායන් දිහා බැලුවා ය. ඒවා එතැන එල්ලී තිබුනේ ඇය ඉදිරියෙන්, සිහින් යකඩ පිහි තුඩු තුනකුත්, පැතිර යන්නට නොදී රබානක වැදෙන හඬක් සේ හඬ නඟමින් බරින් බිමට වැදුණු බූට් සපත්තු හයකුත් ඇයව හෙමිහිට පසු කරගෙන ගිය පසුව ය. හතරවැනි බයිනේත්තුව රැගත් සොල්දාදුවා දොර අසල සිටගෙන සිටියේ ය.

ඔවුන් දුටු විට ලැව්රොව් උඩ පැන නැඟිට්ටේ ය. ඔහු දිහා නොබලා අන්ද්රෙ ඉක්මණින් කාමරය පසු කළේ ය. අන්ද්රෙ ගේ අතින් නිකුත් කරන ලද කෙටි, තියුණු, කස පහරක් වැනි වූ ගොරෝසු වූ රාජකීය වූ සංචලනයකින්, එක සොල්දාදුවෙක් ඒ දොර අසල නතර විය. අනිත් අය අන්ද්රෙ, පසුපසින් ලියෝගේ කාමරයට ඇතුල් වූහ.
ලියෝ එහි වූයේ තනිවම ය. ඔහු සුව පහසු ඇඳි පුටුවක, දැල්වෙන උදුනක් අසල, කමිසයක් හැඳගෙන පොතක් කියවමින් සිටියේ ය. දොර පියන් දෙකම එක පහරින් ඇරී විවෘත වෙද්දී ඔහුගේ පොත මුලින් ම හෙලවුණි. ඉතා ස්ථිර වූ අතකින් පොත වැසී පුටුවේ ඇන්ද මත තැබිණ. කලබලයක් නැතිව ලියෝ අසුනින් නැඟිට්ටේ ය. ඔහුගේ කෙළින් තිබූ උරහිස් අතරින් සුදු කමිසයේ ගිනි උදුනේ දැල් දිළිසුණි.

සාවඥ වූ මුව කොන් හිනාවකින් පහළට වැටෙද්දී “ඉතින්, ටැගනොව් සහෝදරයා, අපි මේ විදියට කවදා හෝ හමුවෙයි කියල ඔයා දැනගෙන හිටියෙ නැද්ද?”

අන්ද්රෙ ගේ මුහුණ කිසිත් හැඟීමක් දිස් නොකළේ ය. එය ගමන් බලපත්රයක පින්තූරයක් මෙන් නිශ්චලව පැවතිණ. හරියට එහි ඉරි හා මාංශ පේශීන් මිනිස් තේරුමක් නැති යමක් විදියට ගල් ගැසී ඇත්තා සේ ය. එය මිනිස් මුහුණක් වූයේ හැඩයෙන් පමණි. රජයේ ලාංඡනයක් රැගත් කඩදාසියක් ඔහු ලියෝ අත තැබුවේ ය. ඔහුගේ කටහඬ මිනිස් කටහඬක් වූයේ මිනිස් හෝඩියකින් හැදි වූ නිසා පමණි: “සෝදිසි වරෙන්තුවක්, කොවැලෙන්ස්කි පුරවැසියෙනි.”

“සොයා බලන්න,” ලියෝ කීවේ ය, ඔහු සීරුවෙන්, දයාන්විත ව නැවුනේ වැදගත් සම්භාෂණයක දී අමුත්තෙක් වෙත ආචාර කරනා විලසට ය, “ඔබව සාදරයෙන් පිළිගන්නම්.”

අන්ද්රෙ අතින් නිකුත් වූ ක්ෂණික ඉරියව් දෙකකින් එක සොල්දාදුවෙක් ඇඳුම් පෙට්ටියක් වෙතට ත් අනික් සොල්දාදුවාව නිදි යහන වෙතටත් යැවුණි. ඇඳුම් පෙට්ටියේ ලාච්චු හඬ නඟමින් විවෘත විය. එක මත එක ගොඩ ගැසුණු සුදු යට කලිසම් ගොඩක් බිමට වැටුණි. විසල්, දැඩි, හිරු රැස්වලින් පැහැ ගැන්වුනු අත් වලින් ප්රවීන ලෙසින් පෙට්ටි ඇතුලත සොයා බලා ඒවා ඉක්මණින් එකින් එක හඬ නඟමින් වැසුණි. දිය වී යන හිමෙන් දිළිසෙන කළු බූට් සපත්තු අතරින් සුදු ‍රෙදි ගොඩක් බිම ගොඩ ගැසුණි. ඇඳේ සැටින් කවරය ක්ෂණික අතකින් ඉවතට ඇදිණ. අනතුරුව කම්බිලිය ද, ඊට පසුව ඇඳ රෙදි ද ඉවත් කෙරිණ. බයිනේත්තුවෙන් මෙට්ටයට පහරක් ඇනුණි. එය දෙපැත්තට විවර විය. ඒ විවරය ඇතුලට අත් දෙකක් ඇතුල් වී නොපෙනී ගියේ ය.

අන්ද්රෙ මේසයේ ලාච්චු හැරියේ ය. ඉක්මණින්, යාන්ත්රික ලෙසින්, ඔහු එහි වූ පොත්වල පිටු අතර මහපටැඟිල්ල යවා පිටු පෙරළී ය. ඒ පිටු පෙරළෙන සද්දය හරියට කාඩ් කුට්ටමක් අනන සර සර ගෑමක් වැනි ය. ඔහු පොත පැත්තකට විසි කළේ ය. සියළු කඩදාසි හා ලියුම් එකතු කර තම ගමන් මල්ලට ඔබා ගත්තේ ය.

ලියෝ කාමරය මැද තනිවම හිටගෙන සිටියේ ය. මිනිසුන් ඔහු ගැන කිසිත් තැකීමක් නොකළහ. ඔවුන්ගේ ක්රියාවන් ඔහුට බලපාන්නේ නැති අන්දමට හැසිරුණ හ. ඔහු ගෘහ භාණ්ඩයක් පමණක් සේ සැලකූහ. අන්තිමට ඉරා බලන්නට යන ලෙසින් ඔහේ තියෙන්නට ඉඩ හැරිය හ. ඔහු මේසයේ බාගෙට හිඳගෙන, බාගෙට ඊට උර දී සිටියේ ය. ඔහුගේ දෑත් රැඳී තිබුනේ මේස ගැට්ටේ ය. ඔහුගේ උරහිස් හැකිළී තිබුණි. ඔහුගේ දිගු දෙපා ඉස්සහර දික් වී තිබිණ. නිහඬතාවය අතරින් ගිනි උදුනේ දර කොටන් ඇවිලී යන සද්දය ඇසුණි, බිමට පතිත වන දැයේ සද්දය ඇසිණ. අන්ද්රෙයගේ දෑත්වල වූ කඩදාසි සිරි සිරි ගාන සද්දය ඇසුණි.

“සමාවෙන්න, මට බැහැ ඔයාට උදව් කරන්න,” ලියෝ කීවේ ය, “ක්රෙම්ලිනය පුපුරුවා හරින සහ සෝවියට් බිඳ හලන රහස් සැලසුම් තියන තැන් සොයාගන්නට, ටැගනොව් සහෝදරයා.”

“කොවැලෙන්ස්කි පුරවැසියෙනි,” අන්ද්රෙ කීවේ ය, හරියට ඔවුන් මීට පෙර කිසි දිනෙක හමු වී නැති විලාසයකිනි, “ඔබ කතා කරන්නේ රහස් පොලීසියේ නියෝජිතයෙකුට.”

“ඔයා හිතුවා ද මට ඒක අමතක වෙලා ගිහින් කියල, එහෙම හිතුන ද?” ලියෝ ඇසුවේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: