Sinhala story Blog

නොවැම්බර් 4, 2011

අපි ජීවත්වන්නෝ -334 ඒක අවවාදයක් නම් මට ඒක අවශ්‍ය නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:10 පෙ.ව.

XII

රහස් පොලීසියේ ආර්ථික අංශයේ නිලධාරියා අන්ද්රෙ ටැගනොව් ව තම කාර්යාලයට කැඳවීය.

රහස් පොලිස් මූලස්ථාන ගොඩනැඟිල්ලක වූ ඒ කාර්යාලය කිසිම අමුත්තෙක් කිසි විටෙක නොගිය, සේවකයන් ඉතා සුළු සංඛ්යාවක් පමණකට ඇතුල් වන්නට අවසර ලැබි තැනකි. ඇතුල් වන්නට අවසර ලද්දෝ කතාබහ කළේ පහත් වූ, ගෞරවය මුසු වූ වදන් වලිනි. කිසිවෙක් එහි දී කිසිම සුව පහසුවකින් නොසිටිය හ.

නිලධාරියා තම මේසය අසල අසුන් ගෙන සිටියේ ය. ඔහු මිලිටරි ඇඳුමක් ඇඳ සිටියේ ය. දිගු කබායකුත්, තදින් හිරවුනු කලිසමත්, උස බූට් සපත්තු සහ ඉනේ පැළඳි තුවක්කුවක් ද විය. ඉතා කෙටි කර කපන ලද හිසකේ වලින් ද, උඩු හෝ යටි රැවුල් නොමැති මුහුණකින් ද වූ ඔහුගේ වයස හරි හැටියට කියත නොහැකි විය. ඔහු සිනාවෙද්දී ඔහුගේ කුඩා දත් දැකිය හැකි විය. ඔහුගේ පළල් දුඹුරු වීදුරු මස් දැකිය හැකි විය. ඔහුගේ සිනාව සරදමක් කියා පෑවේ නැත. තේරුමක් ගැබ් වී නොතිබිණ. අයෙක් එය සිනාවක් බව දැනගත්තේ කම්මුල් මාංශ පේශී ඇදී නැවී තිබි නිසා සහ ඔහුගේ වීදුරු මස් පෙනිච්ච නිසා පමණි.

“ටැගනොව් සහෝදරයා, ඔබ ආර්ථික අංශයේ බාරයට එන නඩුවක් ගැන ගවේෂණයේ යෙදන බව මට දැනගන්නට ලැබුණ.”

“මම එහෙම කළා,” අන්ද්රෙ කීවේ ය.

“කවුද ඔයාට ඒ බලතලය දුන්නේ?”

“මගේ පක්ෂ සාමාජික කාඩ්පත,” අන්ද්රෙ කීවේ ය.

නිලධාරියා ඔහුගේ වීදුරු මස් පෙන්වමින් සිනාවක් පෑය, “ඔයාට ඒ ගවේෂණය පටන් ගන්න හිතුනේ ඇයි?” යැයි ඇසුවේ ය.

“වරදක සාක්ෂියක් ලැබිච්ච නිසා.”

“පක්ෂ සාමාජිකයෙක් ගැන?”

“ඔව්.”

“ඇයි ඔබ ඒක අපිට බාර දුන්නෙ නැත්තෙ?”

“මට උවමනා වුනා සම්පූර්ණ කතාව හොයන්න වාර්තාවක් ලියන්න කළින්.”

“ඔබ එය කළා ද?”

“ඔව්.”

“ඔබ එය ඔබේ අංශයේ ප්රධානියාට වාර්තා කරන්න අදහස් කරනවා ද?”

“ඔව්.”

නිලධාරියා සිනාවක් පෑවේ ය, “මම යෝජනා කරනවා ඔබ ඒ සම්පූර්ණ සිද්ධිය අත්හැරලා දැමිය යුතුයි කියල,” ඔහු කීවේ ය.

“මේක අණක් නම් මම කියන්න කැමැතියි ඔයා මගේ ප්රධානියා නොවන බව. ඒක අවවාදයක් නම් මට ඒක අවශ්ය නැහැ.”

නිලධාරියා ඔහු දෙස නිහඬව බලා සිටියේ ය. “දැඩි ශික්ෂණය සහ කෙළින් තියන පක්ෂපාතීත්වය අගය කළ යුතු හැදියාවන්, ‍ටැගනොව් සහෝදරයා. කෙසේ වුවත්, ලෙනින් සහෝදරයා කියා ඇති විදියට, කොමියුනිස්ට්වාදියෙක් හැම විට ම සත්‍යය ලෝකයට අනුව හැඩ ගැසෙන්න ඕන. ඔබ හෙළි කරන්න යන ගවේෂණයේ ඵලවිපාක ගැන ඔබ කල්පනා කරලා බැලුවා ද?”

“මම කල්පනා කරල තියෙන්නෙ.”

“මේ වේලාවේ -පක්ෂ සාමාජිකයෙක් ගැන මහජන ආන්දෝලනයක් ඇති කිරීම සුදුසු යැයි ඔබ හිතනවා ද?”

“ඒක තමයි ඒ පක්ෂ සාමාජිකයා විසින් හිතා බලා තිබිය යුතු වූයේ.”

“ඔබ දන්නවා ද මගේ … උනන්දුව ඒ පුද්ගලයා ගැන?”

“ඔව් දන්නවා.”

“ඒ දැනුම ඔබේ සැලැස්මට මොන යම් විදියකින් හරි වෙනසක් ඇති කරනවා ද?”

“කිසිත් වෙනසක් නැහැ.”

“ඔබ කවදා හරි හිතලා තියනවා ද මගෙන් ඔබට යම් සේවයක් කරගත හැකි යැයි කියලා?”

“නැහැ, මම එහෙම හිතලා නැහැ.”

“ඔබ හිතන්නෙ නැද්ද, ඒක හොයලා බලන්න වැදගත් කාරණයක් බව?”

“නැහැ මම එහෙම හිතන්නෙ නැහැ.”

“ටැගනොව් සහෝදරයා, ඔබ දැනට ඉන්නා තනතුරේ කොපමණ කලක් සිටියා ද?”

“වසර දෙකක් හා මාස තුනක්.”

“එකම පඩිය?”

“ඔව්.”

“ඔබ හිතන්නේ නැද්ද උසස්වීමක් හොඳයි කියලා?”

“නැහැ.”

“පක්ෂ සහෝදරයෝ එක්ක එකට වැඩ කරන එකෙන් එකිනෙකාට උදව් කරගන්න හා බෙදා ගන්න සාමූහික සහයෝගය නිසා ලැබෙන ජවය ගැන ඔබ විශ්වාස කරන්නෙ නැද්ද?”

“ඒක පක්ෂයේ ජවයට වඩා ඉහලින් නැහැ.”

“ඔයා පක්ෂයට හිතෛෂී වූවෙක් නේද?”

“ඔව්.”

“ඔක්කොටම ඉහලින්.”

“ඔව්.”

“පක්ෂ සුද්ද කිරීම් කමිටු කීයකට ඔබ මුහුණ දීලා තියෙනවා ද?”

“තුනකට.”

“ඔබ දන්නවා ද තවත් එකක් මඟ එන බව?”

“ඔව්.”

“ඉතින්, ඔබ ගවේෂණය කරපු නඩුව ගැන වාර්තාවක් ඔබේ ප්රධානියාට දෙන්න යනවා ද?”

“ඔව්.”

“කවදා ද?”

“අද සවස හතරට.”

විධායක නිලධාරියා තම අත් ඔරලෝසුව දිහා නෙත් යොමු කළේය: “හොඳයි එහෙම නම්, තව පැය එකහමාරක් තුල දී.”

“එපමණයි ද?”

“එපමණයි, ටැගනොව් සහෝදරයා.”

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: