“ඔයා මොකක් ද කියන්න හදන්නෙ?”
“ලියෝ කොවැලෙන්ස්කි ගෙන් ඈත් වෙලා ඉන්න.”
ඇයගේ මුව විවර විය. ඇයගේ අත ඉස්සී ගියේ ය. ඇය දිගු මොහොතකට සෙලවුනේ නැත. ඉක්බිතිව ඇය මෙතෙක් කිසිදාක කියාගත නොහැකි තරම් දුෂ්කර වූ වදන් දෙඩුවා ය:
“අන්ද්රෙ – ඔයා -මොකක් ද- කියන්නෙ?”
“ඔයාට ඕන නැහැ වැරදි මිනිස්සු එක්ක යාළුයි කියල සැලකෙන කෙනෙකුගේ යාළුවෙක් විදියට සැලකිල්ලට ලක් වෙන්න.”
“මොන මිනිස්සු ද?”
“විවිධ. අපේ ම සියරොව් සහෝදරයා, එක් කෙනෙක්.”
“ඒත් මොකක් ද ලියෝ …”
“එයාට එක පුද්ගලික ආහාර කඩයක් අයිතියිනෙ, එහෙම නේද?”
“අන්ද්රෙ, ඔයා මගෙන් රහස් පොලිස් ඒජන්ත කෙනෙක් විදියට ද අහන්නෙ නැත්නම් …”
“නැහැ, මම ඔයාව ප්‍රශ්න කරනවා නෙමෙයි. මට ඔයාගෙන් දැනගන්න අවශ්‍ය කිසිම දෙයක් නැහැ. මම නිකම් කල්පනා කළේ ඔයා කොච්චරක් එයාගෙ කටයුතු ගැන දන්නවා ද -ඔයාගෙ ආරක්ෂාවටයි.”
“මොකක් … මොන කටයුතු ද?”
“එච්චරයි මට ඔයාට කියන්න පුළුවන්. ඒ ටික වත් මම ඔයාට කියන එක හරි නැහැ. ඒත් මට ඕනා ඔයා ඔයාගෙ නම එයාගෙ නමත් එක්ක කුමන විදියකින් හෝ ගෑවෙනවාට, නිකම් බැරි වෙලාවත් ගෑවෙන්නෙ නැතිව තියාගන්නයි.”
“ගෑවෙන්නෙ -කුමකට ද?”
“කීරා, මම රහස් පොලිස් ඒජන්ත කෙනෙක් නෙමෙයි -ඔයත් එක්ක හෝ ඔයාට හෝ.”
ලයිට් නිවී ගියේ ය. සංගීත කණ්ඩායම ‘අන්තර්ජාතිකය’ වාදනයට පටන් ගත්හ.
තිරය මත දුහුවිලි වැදි බූට් සපත්තු වියළි කුට්ටි ගැසි පොළවක් මත පා ගමන් කළහ. දිළිසෙන, වෙව්ලන බූට් සපත්තු වලින් යුතු ඍජුකෝනාශ්‍ර වලින් තිරය පිරී ගියේ ය. බූට් සපත්තු පැළඳි සිරුරු නොපෙනුණි. ඝන අඩි සහිත, පරණ හම් වේලී ගිය, ඇතුලත මාංශ පිඬු හා දහදිය නිසා එය ඇදී වෙනස් වී ගිය, බූට් පා ගමන් ගියේ හිමින් නොවේ. වේගයෙන් ද නොවේ. ඒවා සත්ව අඩි නොවීය. ඒත් මිනිස් අඩු මෙන් ද නොපෙනිණ. ඒවා රෝල් වී ඉදිරියට පෙරලුනි. අඩි වලින් පා ඇඟිලි වලට. අඩි වලින් පා ඇඟිලි වලට. හරියට අළු ටැංකි වැනි වැනී, පාගා ගෙන, පස්කැට දුහුවිලි බවට හරවමින්, අළු බූට් සපත්තු මැරී ඇති ලෙසින්, මැන බලා ඇති ලෙසින්, නොනැවතෙන ලෙසින්, අප්‍රාණික ලෙසින්, අනුකම්පා රහිත ලෙසින් ඔවුන් ඉදිරියෙන් ඇදී යනවා ලෙසිනි.
‘අන්තර්ජාතිකයේ’ ගිගුරුම අස්සෙන් කීරා රහසින් ඇසුවේ “අන්ද්රෙ, ඔයා රහස් පොලීසියේ අළුත් ගවේෂණයක යෙදෙනවා ද?” යැයි කියා ය.
“නැහැ. මේක මගේ ගවේෂණයක්.” ඔහු පිළිතුරු දුන්නේ ය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න