Sinhala story Blog

ඔක්තෝබර් 26, 2011

අපි ජීවත්වන්නෝ -325 ඔයා මා පිටිපස්සෙන් එන එකක් නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:26 පෙ.ව.

මොරසොව් පවෙල් සියරොව්ට මුදල් යැව්වේ නැත.

ඔහු ආහාර පදනමේ වූ තම කාර්යාලයට ගියේ නැත. පසුදා මුළු උදෑසන ම සහ දහවල් කාලය ම ඔහු නිවසේ තම කාමරයට වී සිටියේ ය. ඔහු වොඩ්කා බිව්වේ ය. දුරකතනය නාද වෙද්දී හෝ දොරේ සීනුව නාද වෙද්දී ඔහු කුදු වී, ඔළුව උරහිස් වෙතට නවාගෙන, ඇඟිලි පුරුක් සපමින් සිටියේ ය. කිසිවක් සිදු වූයේ නැත.

රාත්රී කෑම වේලේ දී, ඇන්ටෝනියා පැව්ලොව්නා සන්ධ්යා පුවත්පත ගෙනැවිත් ඔහු වෙත එය දමා ගසමින් කඩා පැන්නා ය: “ඔයාට අද මේ මොකක් වෙලා ද?”

ඔහු පත්තරය අල්ලෙන් පල්ලෙන් කියැවීය. මුල් පිටුවේ ප්රවෘත්ති වාර්තාවන් විය:
කමා ප්රදේශයේ, වසිල්කිනෝ ගම්මාන‍යේ වැසියන් අරගල විරෝධීන්ගේ බලපෑම් මත එහි කාල් මාක්ස් සමාජය ගිනි තබන ලදි. අඟුරු වී ගිය සුන්බුන් අතර මොස්කව් වලින් ගිය පක්ෂ සහෝදරයන්ගේ, සමාජ සභාපතිගේ සහ ලේකම්ගේ සිරුරු සොයා ගන්නට හැකිවිණ. රහස් පොලීසි බලකායක් වසිල්කිනෝ වෙත පිටත් කර යවන ලදි.

ස්වෙර්ස්කෝ ගමේ පිටිසරවැසියන් විසිපහක් පහුගිය රාත්රියේ වෙඩි තබා මරන ලදි. ඒ ගමේ මාධ්යවේදියා වූ සමරාවේ කොමියුනිස්ට් තරුණ එකතුවේ තරුණ සහෝදරයාව මරා දමන ලද අපරාධයට දඬුවම් වශයෙනි. පිටිසරවැසියන් ඔහු මරුමුවට පත් කළ අයගේ නම කීම ප්රතික්ෂේප කළහ.

අන්තිම පිටුවේ කෙටි වාර්තාවක් විය:
බාල්ටික් හමුදාවේ හිටපු කප්පිත්තෙක් වූ ස්ටීවන් ටිමොෂෙන්කෝගේ සිරුර අද හිමිදිරියේ ඔබුකොවස්කි ඇල මාර්ගයේ පාලමක් යට වූ අයිස් මත තිබිය දී සොයා ගන්නා ලදි. ඔහු තම මුවට ඇතුල් කරගන්නා ලද තුවක්කුවකින් තමනට වෙඩි තබාගෙන තිබුණි. ඔහුගේ සියදිවිනසා ගැනීමට හේතු දක්වනු සඳහා, පක්ෂ සාමාජික කාඩ්පත හැරෙන්නට වෙන කිසිත් කඩදාසි ඔහුගේ සිරුරේ නොවීය.

මොරසොව් තම නළල පිස දා ගත්තේ ය. තමන්ගේ බෙල්ල වටා වැටී තිබි තෝණ්ඩුවක් ඉවත් කරන ලද්දෙක් ලෙසින් ඔහු තව වොඩ්කා වීදුරු දෙකක් බිව්වේ ය.

දුරකතනය නාද වෙද්දී, එය ගන්නට ඔහු වැනි වැනී ගියේ ය. ඔහු කෙකර ගාන්නේ මන්දැයි ඇන්ටෝනියා පැව්ලොව්නා කල්පනා කළා ය.

“මොරසොව්?” දුරකතනයෙන් ගලා ආවේ කටහඬ කුමක් දැයි සොයා ගන්නට බැරි ලෙසින් යටපත් කර ගනිමින් වූ රහස් උච්චාරණයකි.

“ඒ ඔයා ද, පවුලූෂා?” මොරසොව් ඇසුවේ ය, “මේ අහන්න, යාළුවා, මට ගොඩක් සමාව දෙන්න, ඒත් මා ළඟ මුදල් තියනවා ඉතින් …”

“මුදල් අමතක කරලා දාන්න,” සියරොව් නයෙක් මෙන් පිඹමින් කීවේ ය, “ඒකට කමක් නැහැ. මේ අහන්න .. මම ඔයාට ඊයේ ලියුමක් දාලා ගියා ද?”

“ඇයි, ඔව්, මම හිතන්නෙ මම ඒක ලබන්න විදියට වැඩ කරපු නිසා ඉතින් ..”

“ඔබ ඒක විනාශ කරලා දැම්මා ද?”

“ඇයි?”

“කිසිත් නැහැ. ඒත් ඔබට වැටහෙනවා නේද ඒකට කරන්න පුළුවන් … ඔයා ඒක විනාශ කරලා දැම්මා ද?”

මොරසොව් සන්ධ්යා පුවත්පත දිහා බලා සිනාවක් පා කීවේ “ඔව්, මම විනාශ කළා. ඒ ගැන අමතක කරන්න, මිතුරා,” කියා ය.

ඔහු පත්තරය අතැතිව මුළු සන්ධ්යා ව ගෙවා දැම්මේ ය.

“මෝඩයා!” ඔහු හිමිහිට කීවේ ය. ඇන්ටෝනියා පැව්ලොව්නා එය ඇසී නිකට දික් කරමින් ඔහු දෙස කුතුහලයෙන් බැලුවා ය. “පිස්සු යකා! පිස්සු හැදිලා. මුළු රෑ පුරා හැම තැනම යන්න ඇති. දෙයියො තමයි දන්නෙ කොහෙද ඇවිද්දෙ කියල. පිස්සු හැදිලා!”

ස්ටීවන් ටිමොෂෙන්කෝ යුරෝපීය උද්යාන වහලේ අවන්හලෙන් බැස ගෙදර අවුත් ඔහුගේ උණුසුමක් නැති මුඩුක්කුවේ, ‍කොළ පාට බෝතලයක වූ කුප්පි ලාම්පුවක එළියෙන්, කබල් මේසයක් මත තබාගත් දුඹුරු පැහැති පාර්සල් ඔතන කඩදහි කොළයක ඉතා අසීරුවෙන් ලියුමක් ලියූ බව මොරසොව් නොදනී. ඔහු ලියුම සීරුවෙන් නවා, පරණ ලියුම් කවරයකට බහා, ඊට තැලී පොඩි වී ගිය තවත් කුඩා කඩදහියක් ඇතුල් කර, අන්ද්රෙ ටැගනොව්ගේ නම ලියූ බව නොදනී. ඔහු ලියුම් කවරය අලවා, ස්ථිර ව, කලබලයක් නැතිව, කීරි ගාන තරප්පු පෙළ පැස වීදියට ගිය බව නොදනී.

දුඹුරු පාර්සල් ඔතන කඩදහියේ මෙසේ සටහන් විය:
ප්රියාදර අන්ද්‍රෙ මිතුරා වෙත,
මම සමුගන්නම් යැයි පොරොන්දු වූවා, මෙන්න එය. ඒක මම පොරොන්දු වූ තරම් ම නොවේ. ඒත් මම හිතන්නෙ ඔයා මට සමාව දෙයි කියල. මම දකින දේ දැකලා මට ඇතිවෙලා. මට ඒක දැක දැක තවත් ඉන්න බැහැ. ඔයාට -මට දෙන්න තියන උරුමය හැටියට- මේකෙ ඇතුලෙ තියන ලියුම ඉතිරි කරලා යනවා. ඒක දුෂ්කර වූ උරුමයක්. මගේ එකම බලාපොරොත්තුව ඔයා මා පිටිපස්සෙන් එන එකක් නැහැ කියල -වැඩි ඉක්මණකින්.
ඔබේ හිතවතා,
ස්ටීවන් ටිමොෂෙන්කෝ

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: