Sinhala story Blog

ඔක්තෝබර් 24, 2011

අපි ජීවත්වන්නෝ -322 රතු බැනරයක් අරගෙන ඒකෙන් පස්ස පැත්ත පිසදා ගත් අය වෙනුවෙන් බීපන්

Filed under: Uncategorized — sinhalashortstories @ 8:02 පෙ.ව.

“සහෝදරයා!” මොරසොව් ගුගුලන්නට විය.

ඔහු වෙත නැවතත් හිස් හැරිණ. මෙවර ඔහු ඒවා ගැන තැකීමක් නොකළේ ය. “ඔබ .. ඔබ … ඔබට එහෙම කියන්න කිසිම අයිතියක් නැහැ! මට සියරොව් සහෝදරයා සමඟ කිසි ගණුදෙනුවක් නැහැ! මම ..”

“කියන්න,” ටිමොෂෙන්කෝ හෙමිහිට කීය, “මම කිව්වෙ නැහැ ඔයාට එහෙම තියනවා කියල, මොකද මේ කලබල වෙලා?”

“ඉතින්, මම හිතුවා … මම .. ඔබ …”

“මම කිව්වෙ නැහැ ඔබට ගණුදෙනුවක් තියනවා කියල,” ටිමොෂෙන්කෝ නැවත කියුවේ ය, “මම කිව්ව එක ම දේ ඔයා ගණුදෙනු කරන්න ඕන කියල. ඔබ, ඔහු සහ වික්ටර් ඩුනේව්. තවත් මිලියනයක් පමණ අනිත් අය එක්ක -පක්ෂ කාඩ්පත් සහ ලාංඡන අලවා ගෙන ඉන්න අය. ජය දිනාගත් අය. බඩ ගා ගෙන යන අය. ඒකයි, මිතුරා, අනාගත මිනිසුන්ගේ විශිෂ්ඨතම සටන් පාඨය: බඩ ගාන අය. අහන්න, භූමි වලට එහායින්, මුහුදු වලට ඈතින් අපි දිහා බලාගෙන ඉන්න දෑස් මිලියන කොච්චරක් තියෙනවා කියල ඔබ දන්නවා ද? ඒවා වැහිලා නැහැ. ඔවුන්ට හොඳට දකින්න පුළුවන්. එයාලට පේනවා ලොකු සෙවනැල්ලක් විහිදෙන බව. එයාල හිතන්නෙ ඒක දැවැන්ත මෘගයෙක් කියල. එයාලට හරියට පේන තරම් ළඟක නැති නිසා එයාල දන්නෙ නැහැ ඒක මුදුයි, දුඹුරු පාටයි, අපැහැදිලියි කියල. ඔයා දන්නවා ද, අපහැදිලියි, දිළිසෙන විදියකට අපැහැදිලියි. එයාල දන්නෙ නැහැ ඒක හැදිලා තියෙන්නෙ කැරපොත්තන් ගෙන් කියල. පුංචි, දිළිසෙන, දුඹුරු කැරපොත්තන්, නිහඬව සිටිමින්, උන්ගෙ රැවුල් කෙඳි වලින් ඉව කරමින් දඟලන. ලෝකයට දුරින් ඉන්නෙ. ඒ නිසා ඒ රැවුල් කෙඳි පෙන්නෙ නැහැ. ඒකයි ලෝකයේ වැරැද්ද, මොරසොව් සහෝදරයා: ඔවුන්ට රැවුල් කෙඳි පෙන්නෙ නැහැ!”

“සහෝදරයා! සහෝදරයා, මොකක් ගැන ද ඔබ මේ කියන්නෙ?”

“ඔවුන් දකින්නෙ කළු වළාකුලක්. ඔවුන්ට ඇහෙන්නෙ හෙණ හඬක්. ඔවුන්ට කියා තියෙනවා ඒ වළාකුලට පිටුපසින් නිදහස පිණිස ලේ හැලෙනවා කියල. මිනිස්සු සටන් වදිනවා කියල. මිනිස්සු මරා ගන්නවා කියල. මිනිස්සු මැරෙනවා කියල. ඉතින් ඒ ගැන මොකක් ද? ඔවුන්, බලාගෙන ඉන්න අය, ලේ ගැන බය නැහැ. ලේ වල නම්බුවක් තියෙනවා. ඒත් එයාල දන්නවා ද ඒ ඔවුන් නාගෙන ඉන්නෙ ලේ නෙමෙයි කියල, ඒ සැරව බව? මේ අහන්න, මම ඔයාට උපදේශයක් දෙන්නම්. මේ භූමිය ඔයාගෙ අඬු වලින් අල්ලා ගෙන ඉන්න ඕන නම්, ලෝකයට කියන්න ඔයා උදේ කෑමට මිනිස්සුන්ගෙ ඔළු ගහලා දානවා කියල. රෙජිමේන්තු පිටින් වෙඩි තියනවා කියල. බිය විය යුතු හා ගෞරව කළ යුතු සහ නම්බුකාර ලෙස සටන් වැදිය යුතු වූ ඔයා විශාල රාක්ෂයෙක් කියල ලෝකයට හිතන්න ඉඩ දෙන්න. ඒත් ඔයාගෙ හමුදාව වීරයන් ගෙන් හැදිච්ච හමුදාවක් නොවන බව, රකුසන් ගෙන් ද නොවන, අහංකාර වෙච්ච කැඩිච්ච හා හැකිලිච්ච පොත් තබන්නන් ගෙන් බව දැනගන්න ඉඩ තියන්න එපා. ඔයාට වෙඩි තියන්න නෙමෙයි ඕන ඔයාට වසංගත පතුරුවන විෂබීජ නාශක දාන්න ඕන බව දැනගන්න ඉඩ තියන්න එපා. ඔයා එක්ක සටන් වදින්න ඕන කාල තුවක්කු වලින් නෙමෙයි කාබොලික් ඇසිඩ් වලින් කියලා දැනගන්න ඉඩ තියන්න එපා!”

දහදියෙන් තෙත්වුනු අත් පිස්නය මොරසොව්ගේ මිට මොළවාගත් අතේ ගුලි වී ඇත. ඔහු නැවතත් නළල පිස දා ගති. හඬ මුදු කරන්නට හා සහනදායක කරන්නට උත්සාහයක් ගනිමින්, නොදැනෙන‍ සේ මේසයෙන් නැඟිටින්නට උත්සාහ කරමින්, “ඔබ හරි, සහෝදරයා. ඕවා හරි වැදගත් සිතුවිලි. මම ඔබ එක්ක සම්පූර්ණයෙන් ම එකඟ වෙනවා. දැන් ඉතින් ඔබ මට අවසර දෙනවා නම් …”

“වාඩිවෙයන්!” ටිමොෂෙන්කෝ ගුගුලේ ය. “වාඩිවෙලා සව්දිය පුරන වීදුරුවක් බීපන්. බිව්වෙ නැත්නම් මම ඔබට පර බල්ලෙක්ට වගේ වෙඩි තියනවා. මම තවමත් තුවක්කුවක් අතැතිව ඉන්න බව ඔබ දන්නවා. මෙන්න …” ඔහු වත් කළේ ය. ලා පැහැති රත්තරන් පාටින් වූ දියර පහර මේස රෙද්ද මතින් ගලා ගොස් බිමට වැටිණ. “රතු බැනරයක් අරගෙන ඒකෙන් පස්ස පැත්ත පිසදා ගත් අය වෙනුවෙන් බීපන්!”

මොරසොව් බිව්වේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: