Sinhala story Blog

ඔක්තෝබර් 23, 2011

අපි ජීවත්වන්නෝ -319 මගේ ප්‍රියාදර යාළුවෙක්!

Filed under: Uncategorized — sinhalashortstories @ 9:31 පෙ.ව.

කාටවත් නොපෙනෙන සේ ඔහුගේ මේසය අසලට ගිය සේවකයෙක් කැඩුණු වීදුරුවේ කැබලි කුණු එකතු කරන භාජනයකට දා ගත්තේ ය.

තවත් සේවකයෙක් දිළිසෙන සේ පිරිසිදු වූ වීදුරුවක් ගෙනැවිත් “ඔබට මුකුත් අවශ්ය ද, පුරවැසියෙනි?” යැයි අසමින් බෝතලය උඩින් ඔහුගේ ඇඟිලි හෙමිහිට ඉවත් කරන්නට උත්සාහ කළේ ය.

“පලයන් නරකාදියට!” කියූ ටිමොෂෙන්කෝ වීදුරුව අතේ පිටි අල්ලෙන් තල්ලු කළේ ය. එය මේස ඇන්දේ එහාට මෙහාට වැනී බිමට වැටුණි. “මම මට කැමැත්තක් කරන්නෙ!” ටිමොෂෙන්කෝ ගෝරනාඩු දුනි. ඔහු දිහා ඔළු කිහිපයක් හැරිණි. “මම කැමැති නම් බෝතලයෙන් බොනවා. මම කැමති නම් බෝතල් දෙකකින් බොනවා!”

“නමුත්, පුරවැසියෙනි …”

“ඔයාට කොහොම ද කරන්නෙ කියලා පෙන්වන්න ද?” ටිමොෂෙන්කෝ ඇසුවේ ය. ඔහුගේ දෑස් දිළිසුනේ භයංකාර ලෙසට ය.

“නැහැ, සත්තකින් ම අවශ්ය නැහැ, පුරවැසියෙනි,” සේවකයා ඉක්මණින් කීවේ ය.

“නරකාදියට පලයන්,” ටිමොෂෙන්කෝ කීවේ මුදු ලෙසිනි. “මම ඔයාගෙ අහංකාර විදියට කැමති නැහැ. මෙතැන ඉන්න අහංකාර කාටවත් කැමති නැහැ,” ඔහු වැනි වැනී නැඟිට්ටේ ය, “ මේ පැත්තෙ ඉන්න කිසිම අහංකාර අයෙකුට මා කැමැති නැහැ!” යැයි ගුගුලමින් කීවේ ය.

ඔහු හැප්පි හැප්පී මේස අස්සෙන් ගමන් කළේ ය. ඔහුගේ වැලමිට අසලින් අවන්හලේ මහ සේවකයා මුදු හඬින් “ඔබට වැඩි සනීපයක් නැත්නම්, පුරවැසියෙනි …” යයි රහසින් කොඳුරන්නට විය.

“මම යන පාරෙන් අයින් වෙයව්!” ඔහු මහත් හඬින් කෑ ගැසීය. ඔහු කාන්තාවකගේ සෙරෙප්පු කුට්ටමක කකුල් පැටලී ඇද වැටුනේ ය.

ඔහු දොර අසලට කිට්ටු වෙනවාත් සමඟ හදිසියේ ම ඔහු නැවතිණ. ඔහුගේ මුහුණ පැතලි, සුමුදු සිනාවකින් පිරී ගියේය. “ආහ්,” ඔහු කීවේය, “මගේ යාළුවෙක්. මගේ ප්රියාදර යාළුවෙක්!”

ඔහු වැනි වැනී මොරසොව් වෙත ගියේය. කාගේ දෝ ඔළුවක් උඩින් පුටුවක් වනමින් ඇද ගත්තේ ය. මොරසොව් තනිවම වාඩි වී සිටි මේසය අසලින් එය මහත් හඬින් බිම ගසා තබා හිඳගති.

“මට සමාවෙන්න, පුරවැසියෙනි?” මොරසොව් නැඟිටිමින් හුස්මක් ඉහළට ඇද්දේ ය.

“වාඩිවෙලා ඉන්න, මිතුරා,” ඔහු‍ගේ හිරු රැස් වලින් රන්වන් වූ දැවැන්ත අත්ලෙන් මොරසොව්ගේ උරහිසට කුළුගෙඩි පහරක් ලෙසින් අත තබා කීවේය. තඩස් ගා මොරසොව් පුටුවට නැවතත් පතිත විය. “යාළුවෙක් ගෙන් පැනලා යන්න බැහැ, මොරසොව් සහෝදරයා. අපි යාළුවෝ. ඔයා දන්නවා. අපි පරණ යාළුවෝ. ඉතින් ඔබ මාව දන්නෙ නැතිව ඇති. ස්ටීවන් ටිමොෂෙන්කෝ තමයි නම. ස්ටීවන් ටිමොෂෙන්කෝ … රතු බාල්ටික් හමුදාවේ,” ඔහු අන්තිම කොටස පසු සිතුවිල්ලක් ලෙසින් එකතු කළේය.

“ඔහ්,” මොරසොව් කීය, “ඔහ්.”

“ඔව්,” ටිමොෂෙන්කෝ කීය, “ඔයාගෙ පරණ යාළුවෙක් සහ ඔයාව අගය කරන්නෙක්. ඉතින් ඔබ දන්නවා ද‍ ඇයි කියා?”

“නැහැ,” මොරසොව් කීය.

“අපි මත්පැන් වීදුරුවක් බොන්න ඕන එකතු වෙලා. හරියට හොඳ මිතුරො වගේ. අපි දෙන්නාට බොන්න ඕන. සේවකයා!” ඔහු කොතරම් හයියෙන් ගුගුලා ද කියතොත් වයලීනය වයමින් සිටි වාදකයාට ‘ජෝන් ග්රෙ’ හි තනුවක් මඟ හැරී ගියේය.

“අපිට බෝතල් දෙකක් ගේන්න,” ඔහුගේ උරහිස මතින් නැවුන යටහත් පහත් ලෙසින් යුතු වූ සේවකයාට කීවේය. “නැහැ! අපිට බෝතල් තුනක් ගේන්න.”

“මොන ජාතියෙ බෝතල් තුනක් ද, පුරවැසියෙනි?” සේවකයා බයාදු විලසකින් ඇසීය.

“ඕන ජාතියකින්,” ටිමොෂෙන්කෝ කීවේය. “නැහැ! ‍ඔහොම ඉන්න! මොකක් ද වඩාත්ම මිල අධික? මොනවාද මේ දවස්වල හොඳ තර ධනවාදීන් හරි විදියට කටට හලාගන්නෙ?”

“ෂැම්පේන්, පුරවැසියෙනි?”

“ෂැම්පේන් හොඳයි. ඉතා ඉක්මණින්! බෝතල් තුනක් සහ වීදුරු දෙකක්!”

සේවකයා ෂැම්පේන් ගෙනා විට ටිමොෂෙන්කෝ එය වීදුරුවකට වත්කර මොරසොව් ඉස්සරහින් තැබීය. “ඔන්න!” ටිමොෂෙන්කෝ කීවේ සුහද සිනාවකිනි. “මා එක්ක බොන්න එනවා ද, මිතුරා?”

“ඔව් සහෝ … සහෝදරයා,” මොරසොව් කීවේ යටහත් පහත් ලෙසිනි. “ඔබට ස්තූතියි, සහෝදරයා.”

“ඔබේ නිරෝගී සුවයට, මොරසොව් සහෝදරයා!” ටි‍මොෂෙන්කෝ කීවේ ය ගම්භීර ලෙසින් වීදුරුව සව්දිය පුරන්නට ඔසවමිනි. “මොරසොව් සහෝදරයාට, එක්සත් සමාජවාදී සෝවියට් ජනරජයේ පුරවැසියාට!”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: