Sinhala story Blog

ඔක්තෝබර් 22, 2011

අපි ජීවත්වන්නෝ -317 මොරසොව්, ඔබ පව්කාර බියගුල්ලා!

Filed under: Uncategorized — sinhalashortstories @ 6:34 ප.ව.

X

කාර්යාලයට එන්නට පෙර පවෙල් සියරොව් මත්පැන් වීදුරුවක් පානය කළේ ය. දහවල් කාලයේ දී ඔහු තවත් මත්පැන් වීදුරුවක් කටට හලා ගත්තේ ය. ඔහු මොරසොව් අමතද්දී මොරසොව්ගේ වැනි කට හඬකින් ඔහුට අහන්නට ලැබුනේ මොරසොව් පුරවැසියා ගෙදර නැති බව ය. ඔහු කාර්යාලයේ එහාටත් මෙහාටත් ඇවිද ගොස් තීන්ත කූඩුවක් බිඳ දැමුවේ ය. ඔහු ටයිප් කරන්නට දුන් ලිපියේ වැරදිච්ච වචනයක් දැක කොළය පොඩිකර ලේකම්වරියගේ මුහුණට එයින් දමා ගැසුවේ ය. ඔහු නැවතත් මොරසොව් ඇමතුව ද පිළිතුරක් නොලැබිණ. කාන්තාවක් ඔහු ඇමතුවේ ය: ඇයගේ කටහඬ මුදු විය. ඇය වචන උච්චාරණය කළේ තොල් අතරින් වැරදියට හඬ නඟමිනි. “ඒත්, පවුලූෂා ඩාලිං, ඔයා මට අර වළල්ල අරන් දෙනවා කිව්වා!” කාල්පනිකයෙක් කිළිටි ලේන්සු කොනක එතූ වළල්ලක් ගෙනාවේ ය. ඒත් සම්පූර්ණ මුදල නොමැතිව එය තබා යන්නට කාල්පනිකයා අකමැති විය. සියරොව් මොරසොව් අල්ලා ගන්නට ආහාර පදනම වෙත ඇමතුමක් දුන්නේ ය. ලේකම්වරයෙක් කතා කරන්නේ කවුදැයි දැන ගන්නට ඕනා බව කීය. පිළිතුරු නොදුන් සියරොව් රිසීවරය දමා ගසමින් ඇමතුම විසංන්ධි කළේ ය. වැරහිලි ඇඳගත් රැකියා අයැදුම්කරුවෙක් වෙත සියරොව් කඩා පැන්නේ අයැදුම්කරුවාව රහස් පොලීසියට බාර දෙනවා කියමිනි. තමන් හමුවන්න පැමිණ සිටින සියල්ලන්ව ම පිටත් කරන්න යැයි ලේකම්වරියට අණ දුන්නේ ය. වෙනදාට වඩා පැයකට කළින් කාර්යාලයෙන් පිටත් වී ගිය ඔහු තමනට පිටුපසින් තදින් දොර ගසා වසා වැසුවේ ය.

ගෙදර යමින් ගමන ඔහු මොරසොව්ගේ නිවහන පසු කළේ ය. මඳක් පසුබෑව ද වීදියේ කොනක සිටි මිලීෂියා මිනිහා දැකි නිසා ඇතුලට ගියේ නැත.

රෑ කෑම සඳහා ඔහු වෙත එවන ලද්දේ කඩපේලි දෙකකට එහායින් වූ සාමූහික කුස්සියක පිළියෙල කරන ලද්දකි. එය සීතල වී තිබුණි. ගෝවා සුප් එකේ උඩින් මේද කුටි ගැසී තිබුණි. “ඇත්තටම, පවෙල්, මට ලොම් කබායක් ගන්න ම ඕන. මට හෙම්බිරිස්සාවක් හදා ගන්න බැහැ -දරුවා හින්ද,” යැයි සෝනියා සහෝදරිය කීවා ය, “අනික, හාව ලොම් එකක් බැහැ ඔන්න. මම දන්නවා ඔයාට වියදම දරන්න පුළුවන් බව. ඔහ්, මම කාගෙවත් පුංචි කටයුතු ගැන කිසිවක් කියන්නෙ නැහැ. ඒත් මම මගේ ඇස් ඇරගෙන ඉන්නෙ.”

ඔහු අත් පිස්නාව සුප් එක මතට විසිකර මුකුත් නොකා මේසයෙන් ඉවත් වූයේ ය.

ඔහු මොරසොව්ගේ දුරකතන අමතා මිනිත්තු පහක් පුරා එය නාද වෙන්නට ඉඩ හැරියේ ය. කිසිවෙක් ඊට පිළිතුරු නොදුනි. ඔහු ඇඳේ වාඩි වී වොඩ්කා බෝතලයක් හිස් කළේ ය.

ලියන්නට කියවන්නට නොදන්නා කාන්තා නිවාස ශ්රමිකයන් සඳහා වූ සන්ධ්යා පාසැලේ ගුරු කවුන්සිලයේ රැස්වීමක් සඳහා සෝනියා සහෝදරිය පිටත් වී ගියා ය. ඔහු තවත් වොඩ්කා බෝතලයක් ඉවර කළේ ය.

ඔහු තීරණාත්මකව නැඟිට ගත්තේ ය. වැනි වැනී තම බෙල්ට් පටිය ලොම් කබාය උඩින් ඇද තද කරගත්තේ ය. මොරසොව්ගෙ නිවස වෙත ගියේ ය.

ඔහු සීනුව තෙවරක් නාද කළේ ය. පිළිතුරක් නොවීය. කිසිත් ගණනක් නොගෙන බිත්තියට හේත්තු වී සීනුවට ඇඟිල්ල තබාගෙන සිටියේ ය. දොරට පිටුපසින් කිසිත් හඬක් නොඇසුණි. එහෙත් ඔහුට පඩිපෙළ දිගේ උඩට නැඟ එන අඩි හඬක් ඇසුණි. ඔහු වහාම අඳුරු කොනකට මුවා වූයේ ය. පහළ මාලයේ දොරක් ඇරී වැසී අඩි හඬ නැවතිණ. තමන් මෙතැන සිටින බව කිසිවෙක් දැකිය නොයුතු බව ඔහුට යාන්තමින් මතක් විණ. ඔහු සටහන් පොතක් ගෙන, එය බිත්තියට හිර කරගෙන, වීදි ලාම්පුවේ එළියෙන් මෙසේ ලීවේ ය:

මොරසොව්, ඔබ පව්කාර බියගුල්ලා!
මට ලැබිය යුත්ත හෙට උදෑසන වන්නට පෙර නුදුන්නොත්, ඔබ උදේ කෑම කන්නේ රහස් පොලීසියේ දී ය. ඔය දන්නවා එහි අර්ථය.
හිතාදර,
පවෙල් සියරොව්

ඔහු පණිවුඩය රැගත් කොළය නවා දොර යටින් ඇතුලට දැම්මේ ය.

මිනිත්තු පහළොවකට පසු මොරසොව් කිසිත් හඬක් නොනඟා නාන කාමරයෙන් එළියට ආවේ ය. ඔහු නොසන්සුන්ව ඇහුම් කන් දී ගෙන සිටියේ ය. තරප්පු පෙළ අසලින් කිසිත් සද්දයක් ඇසුනේ නැත. එවිට දොර අසල බිමේ යාන්තමට දිස්වෙන සුදු පැල්ලම ඔහු දුටුවේ ය.

ඔහු එය අහුලා ගෙන කෑම කාමරයේ ලාම්පුව ළඟින් නැවී එය කියැවීය. ඔහුගේ මුහුණ සුදුමැලි විය.

දුරකතනය නාද දුනි. ඔහුගේ ගත හිරිවැටී ගියේ ය. ඔහු හිටි තැනම ගල් ගැසී සිටියේ ය. ඒ වැදෙන නාදයෙන් එපිට තියන දෑස් වලට තමන් ඒ කොළය අත අතැතිව ඉන්නා බව දැකිය හැකි යැයි ඔහු සිති ලෙසකිනි. වෙව්ලමින් කොළය පොකැට්ටුවේ හැකි තරම් ඇතුලට බහා ඔහු දුරකතනයට පිළිතුරු දුන්නේ ය.

ඒ ඇමතුම ඔහුගේ වයසක නැන්දා කෙනෙකි. ඇය දුරකතනයෙන් ඉකිබිඳිමින් මුදල් ටිකක් අතමාරුවට ඉල්ලා සිටියා ය. ඔහු ඇයට මහළු බැල්ලියක් කියා බැණ වැදී රිසිවරය තැබුවේ ය.

නිදන කාමරයේ දොර විවෘත වී තිබුණි. තම කණ්ණාඩි මේසය අසල වාඩි වූ ඇය කොණ්ඩය පීරමින් සිටින්නී ය. කැත වචන පාවිච්චි කරනවා යැයි ඇය කන් කීරි ගාන සද්දයකින් කියා සිටියා ය. ඔහු ඇය වෙත කඩා පැන්නේ ය: “ඔයයි ඔයාගෙ පව්කාර ආදරවන්තයායි නොවෙන්නට …”

ඇන්ටෝනියා පැව්ලොව්නා කෑ ගැසුවා ය: “ඔහු මගේ ආදරවන්තයා නෙවෙයි -තවම! ඔහු එහෙම නම්, මම තවමත් ඔයා වගේ අබලන් මහල්ලෙක් එක්ක කල් ගෙවාවි කියල හිතනව ද?”

ඔවුන් දබර වූහ.

මොරසොව්ට තමන්ගේ පොකැට්ටුවේ ඇති කොළ කෑල්ල අමතක විය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: