Sinhala story Blog

ඔක්තෝබර් 21, 2011

අපි ජීවත්වන්නෝ -316 පිස්සු සිහි විකල් කරගත්තු කෙල්ල!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:33 පෙ.ව.

ඔවුන් තම කාමරයට අවුත් තනි වූ විට,

“ඔයාගෙන් හරි වෙන කාගෙන් වත් හරි කිසිම විවේචනයක් මම බාර ගන්නෙ නැහැ. ඉතින්, විශේෂයෙන් ම ඔයාට කරන්න කිසිම පැමිණිල්ලක් නැහැ. මම වෙන කිසිම ගැහැණියක් එක්ක නිදාගත්තෙ නැහැ, ඔයා හිත කරදර කරගන්නෙ ඒ ගැන නම්, එච්චරයි ඔයා දැන ගත යුත්තෙ,” යැයි ලියෝ ඉක්මණින් කියුවේය.

“මම හිත කරදර කරගත්තෙ නැහැ, ලියෝ. මට කරන්න පැමිණිල්ලක් හෝ විවේචනයක් ඇත්තෙත් නැහැ. ඒත් මට ඔයාට කතා කරන්න ඕනා. ඔයා අහන් ඉන්නවා ද?”

එය කිසිත් ගණනකට නොගෙන “හා හොඳයි,” කියූ ලියෝ වාඩි වූයේය.

ඇය ඔහු ඉදිරියෙන් දණගසා ගත්තා ය. ඇයගේ අත් ඔහු වටා දමා ගත්තා ය. ඇයගේ හිසකෙස් පිටුපස්සට විසි කළාය. ඇයගේ දෑස් විසල් ය. අන්තිම උත්සාහයක් ගන්නා සංසුන් බවකින් යුතු ඇයගේ කටහඬ තීව්ර ය: “ලියෝ, මට ඔයාට අවලාද කරන්න බැහැ. ඔයාට දෝෂාරෝපණය කරන්න බැහැ. ඔයා මොකක් ද කරන්නෙ කියල මම දන්නව. ඔයා ඇයි එහෙම කරන්නෙ කියලත් මම දන්නව. ඒත් මේ අහන්න. ඒක පරක්කු වැඩි නැහැ. එයාල තවම ඔයාව අල්ලා ගෙන නැහැ. ඔයාට තාම කල් තියනවා. අපි උත්සාහයක් ගනිමු. අන්තිම උත්සාහයක්. අපි පුළුවන් තරම් ඉතිරි කරලා විදේශ ගමන් බලපත්රයකට ඉල්ලමු. මේ පව්කාර රටෙන් පිටවෙලා පුළුවන් තරම් මහපොළවේ ඈතකට යමු.”

ඇ‍යගේ දැවෙන දෑස් දිහා ඔහු ඒ ගින්න තව දුරටත් පිළිබිඹු කරන්නට නොහැකි කණ්ණාඩියක් වැනි වූ තම දෙනෙත් යොමු කළේ ය. “ඇයි කරදර වෙන්නෙ?” ඔහු ඇසුවේ ය.

“ලියෝ, මම දන්නවා ඔයා කියන්න යන්නෙ කුමක් ද කියල. ඔයාට ජීවත්වෙන්න කිසිම ආසාවක් නැහැ. ඔයාට තව දුරටත් කිසිම තැකීමක් නැහැ. ඒත් මේ අහන්න. ආශාවකින් තොරව ඒක කරන්න. ආයේ කිසිදාක තැකීමක් ඇති වෙන්නෙ නැහැයි කියල ඔයා විශ්වාස කරතත්. ඔයා ගැන අන්තිම විනිශ්චය දීම ‍පොඩ්ඩක් කල් දාන්න. ඔයා එහි යන තෙක් කල් දාන්න. ඔයා ආයෙත් මනුෂ්යයන් වාසය කරන රටක දී නිදහස් වුනාම -එතකොට බලන්න ඔයාට ආයෙත් ජීවත්වෙන්න ඕන ද කියල.”

“පුංචි මෝඩිය! ඔයා හිතනවා ද ඔවුන් මගේ වගේ පසුබිමක් තියන කෙනෙකුට විදේශ ගමන් බලපත්ර දෙයි කියල?”

“ලියෝ, අපි උත්සාහ කරන්න ඕන. අපි අත්හැරලා දාන්න නරකයි. ඒ බලාපොරොත්තුව නැතිව අපිට ඉදිරියට යන්න බැහැ එක මිනිත්තුවක් වත්. ලියෝ, ඒකට ඔයාව අල්ල ගන්න බැහැ! මම ඉඩ දෙන්නෙ නැහැ ඒකට ඔයාව අල්ල ගන්න!”

“කවුද? රහස් පොලීසිය ද? කොහොම ද ඔයා ඒක නතර කරන්නෙ?”

“නැහැ! රහස් පොලීසිය නෙමෙයි. රහස් පොලීසිය අමතක කරන්න. ඒකට වඩා භයානක දෙයක් තියනවා. ඊට වඩා වැඩියෙන් භයානක. වික්ටර් ගොදුරු වුනේ ඒකට. අන්ද්රෙ ගොදුරු වුනේ ඒකට. ඒක අම්මාවත් බිල්ලට ගත්ත. මම ඉඩ දෙන්නෙ නැහැ ඒකට ඔයාව බිලිගන්න!”

“ඔයා මොකක් ද අදහස් කරන්නෙ, වික්ටර් ගොදුරු වුනා කියල? ඒ බූට් සපත්තු ලෙවකන ඌරු මීයාට මාව සම කරන්න හදනවා ද, ඒ …”

“ලියෝ, බූට් සපත්තු ලෙවකන සහ ඒ ඔක්කොම දේවල් -ඒවා කිසිත් ඵලයක් නැහැ. ඊට වඩා භයානක දෙයක් ඉන් වික්ටර් ට සිද්ධ වුනා. ඇතුලතින්, ගොඩාක් ගැඹුරින්, වඩාත් තීරණාත්මක ලෙසින්. බූට් සපත්තු ලෙවකන එක, ඒක ඵල විපාකයක් විතරයි. ඒක එහෙම කරනවා. ඒක යමක් මරා දමනවා. ඔයා කවදා හරි දැකල තියනවා ද හිරු එළිය නැතිව, වායුව නැතිව පැළෑටි වැවෙනවා? මම ඒකට ඉඩ දෙන්නෙ නැහැ ඔයාට එහෙම කරන්න. ඒක අර ගත්තාවේ මිලියන එකසිය පනහක් ජීවත්වෙන ප්රාණීන් ව. ඒත් ඔයාව‍ නෙමෙයි, ලියෝ! ඔයාව නෙමෙයි, මගේ ඉහළ ම ගෞරවය …”

“මොන තරම් අත්යලංකාරයෙන් වූ වදනක් ද ඒක! කොහෙන් ද ඔයා ඒක අහුල ගත්තෙ?”

අන්තිම වචන නැවත කියමින්, ඇය ඔහු දිහා ඇස් අයාගෙන හිටියා ය: “කොහෙන් ද මම ..”

“ඇත්තෙන් ම, කීරා, සමහර විට මම කල්පනා කරනවා ඇයි ඔයා හැම දෙයක් ගැන ම ඔච්චර වැදගැම්මකින් කටයුතු කරන ගතිය කවදා නැති කර ගනීවි ද කියල. මාව බිලිගන්න දෙයක් නැහැ. කිසිවක් මට මුකුත් කරන්නෙත් නැහැ. මම කරන්නෙ මට කැමති දේ. අද කාලේ එහෙම කියන්න පුළුවන් අය වෙන කවුරු හරි ඔයාට නැහැනෙ.”

“ලියෝ, මේ අහන්න! මට කරන්න ඕන දෙයක් තියනවා. උත්සාහ කරන්න ඕන දෙයක්. අපිට අවුල් ලිහා ගන්න ගොඩක් දේවල් තියනවා, ඔයාටයි මටයි දෙන්නටම. ඒත් ඒක පහසු නැහැ. ඉතින් අපි ඒ අවුල් ඔක්කොම එක පාරින් කපා දාමු.”

“මොකක් කරලා ද?”

“ලියෝ, අපි දෙන්න විවාහ වෙමු.”

“හහ්?” ඔහු පුදුමයෙන් ඇය දිහා බලාගෙන සිටියේ ය.

“අපි විවාහ වෙමු,” ඇය නැවතත් කියුවා ය.

ඔහු හිස පිටුපස්සට දමා හිනා වූයේ ය. පැහැදිලි, සරල, දැඩි, හඬ නඟමින් පැතිර යන, අන්ද්රෙ ටැගනොව් වෙත හිනා වූ, මොරසොව් වෙත පෑ හිනාව පිට කළේ ය. “මේ මොකද, කීරා? ඔයාව සුද්දවන්ත ගැහැණියෙක් කරන්න කියන කන්දොස්කිරියාවක් ද?”

“නැහැ, එහෙම එකක් නොවෙයි.”

“අපිට පරක්කු වැඩියි නේද ඒ වගේ දෙයක් කරන්න?”

“ඇයි පරක්කු, ලියෝ?”

“මොකට ද? අපිට එහෙම දෙයක් අවශ්ය ද?”

“නැහැ.”

“එහෙනම් ඇයි එවැන්නක් කළ යුත්තෙ?”

“මම දන්නෙ නැහැ. ඒත් මම ඒක ඉල්ලනවා.”

“කමකට නැති වැඩක් කරන්න ඒක පමණක් හේතුවකට මදි. වැදගත් සැමියෙක් විදියට ඉන්න පටන් ගන්න මගේ සිතේ ඕනෑකමක් නැහැ. මාව ඔයාට නැතිවෙයි කියල හිතෙනවා නම්, රතු ලේකම් කෙනෙක් කුරුටු ගාපු කොල කෑල්ලකින් මාව බැඳලා තියන්න බැහැ.”

“මට ඔයාව නැතිවෙයි කියල බයක් මට නැහැ. මට බය ඔයාට ඔයාව නැතිවේවි කියල.”

“ඒත් සැග්ස් එකට රූබල් කිහිපයක් දීලා උප්රව්ඩම්ගෙ ආශිංසන ලැබුවා ම මගේ ආත්මය බේරෙන්නෙ කොහොම ද?”

“ලියෝ, මට ඉදිරිපත් කරන්න හේතු නැහැ, ඒත් මම ඉල්ලා සිටිනවා.”

“ඔයා මේ මට කරන අන්තිම තර්ජනයක් ද?”

යටත් වූ බව සහ උත්සාහය අත්හැරිය බව කියන සිනාවකින් ඇය “නැහැ,” යැයි මෘදු බසින් කීවා ය.

“එහෙනම් අපි ඒක අමතක කරලා දාමු.”

“ඔව්, ලියෝ.”

ඇයගේ කිහිලි අතරින් අත් යවා ඇය උස්සා ගත් ඔහු විඩාබර හඬකින් මෙසේ කීවේ ය: “පිස්සු සිහි විකල් කරගත්තු කෙල්ල! අමුතු හිතුවිලි වලින් ඔයා විහින් බය වෙන්න හදනවා. දැන් ඒ සේරම අමතක කරලා දාන්න. අද පටන් අපි හැම රූබලයක් ම ඉතුරු කර ගනිමු. ඔයාට ඕනා ඒක නම්. ඔයාට මොන්ටෙ කාලෝ හරි සැන් ෆ්රැන්සිස්කෝ හරි නැත්නම් ජුපිටර් ග්රහලෝකයට යන්න හරි ඒ සල්ලි ඉතුරු කරගන්න. අපි ඒ ගැන ආයේ කතා කරන්නෙ නැහැ. ඔක්කොම හරිනේ?”

ඔහු සිනාසුනි. ආඩම්බර සිනාව පැතිර ගිය මුහුණ අතිශයින් කඩවසම් ය. පැහැදිලි කරදිය නොහැකි, කොන්දේසි විරහිත, සංගීතයක් අරක් ගන්නා වැනි වූ ඒ සිනාව පිරි මුහුණ ඇයට මත්ද්රැව්යයකින් ලැබෙන ඇබ්බැහියක් වැනි විය. කරකියා ගත නොහැකි ලෙසින්, බලාපොරොත්තු සුන් වු ගිය ලෙසින් ඇය තම හිස ඔහුගේ උරහිස මත තබාගෙන “ලියෝ … ලියෝ … ලියෝ ..” යැයි නැවත නැවතත් කියාගෙන ගියා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: