Sinhala story Blog

ඔක්තෝබර් 13, 2011

අපි ජීවත්වන්නෝ -309 එක ඇසක් වසාගත් දඟකාරයා

Filed under: Uncategorized — sinhalashortstories @ 10:48 පෙ.ව.

දඟකාරයාගේ සිනාව දැක සාෂා හිනාවක් පෑවේ ය.

හදිසියේ ම හිස පස්සට දමාගෙන, අත් ගුලි කරගෙන, ඔහු හඬන්නට විය. ජනේලය අසල සිටි සිසුවා ගැහෙමින් ඔහු දිහා බැලුවේ ය.

“ඇයි එයාල උත්කෘෂ්ට ගැන, උදාර බව ගැන, තමන්ගෙ රටට කරන යුතුකම් ගැන කතා කරන්නෙ? ඇයි ඔවුන් අපිට කියා දෙන්නෙ …”

“ඩාලිං, ඔච්චර හයියෙන් කියන්න එපා! වැඩකට නැති සිතුවිලි හිතන්න එපා. ලෝකයේ කොච්චර ඵලකට නැති සිතුවිලි තියෙනවා ද?”

දුම්රිය නැවතුම්පලේ තවත් දුම්රියක් සමාන්තර පිලී වල නවතා බලාගෙන සිටියි. බයිනේත්තු රැගත් ආරක්ෂක භටයන් සිරකරුවන් කිහිප දෙනෙක් කැඳවා ගෙන ගියහ. සාෂා අරීනාව බදාගත්තේ ය. ඔහු‍ගේ දැවැන්ත බාහු අතරේ ඇයගේ ඇටකටු කෙඳිරි ගෑය. ඔහු ඇයගේ තොල්, නිකට, කොණ්ඩය, බෙල්ල සිප ගත්තේ ය. ඔහු පිට කළ හඬ කෙඳිරිල්ලක් වැන්නකටත් මෘගයෙක් පිට කරන ගෙරවිල්ලක් වැන්නකටත් සමීපයෙන් වූවකි. ඇයගේ ගෙලවටා බැඳි සළුවට හිර කරගත් මුවින් ඔහු බැරෑඬි හඬින්, මුහුණ රතු කරගනිමින්, ඔහු කියන්නට එතරම් ළැදිකමක් නැති වදන් නොනවත්වා කියන්නට විය: “මම … මම …මම ඔයාට ආදරෙයි…”

ආරක්ෂක භටයෙක් ඇයගේ වැලමිටෙන් ඇද්දේ ය. ඇය සාෂා‍ වෙතින් අමාරුවෙන් ගැල වී ආරක්ෂක භටයා පසුපසින් ගමන් කළා ය. දොර අසල දී සාෂා ආරක්ෂක භටයාව පැත්තකට තල්ලු කර, ම්ලේච්ඡයෙක් සේ, සිහි විකල් වූවෙක් සේ, අරීනාව නැවතත් අල්ලා ගත්තේ ය. ඇයව බදාගෙන, සිප ගන්නේ නැතිව ඇය දිහා මෝඩයෙක් සේ බලාගෙන, තමන් කිසිදා අයත් කර නොගත් තම භාර්යාව තම දිගු අත් දෙකින් තම සිරුරුට ළං කරගෙන සිටියේ ය.

ආරක්ෂක භටයා ඔහු වෙතින් ඇය ගලවා ඇයව දොරෙන් එළියට තල්ලු කර දැමීය. ඇය මොහොතකට නතර වී ආපසු හැරී සාෂා වෙත දිගු බැල්මක් පෑවේ ය. ඇය සිනහා වූවා ය. තමන් ඇන්ඳ විකට පින්තූරයේ ඉන්නා විහිළු දඟකාරයාගේ පිස්සු හිනාව වැන්නකි. ඇය නැහැය එහාට මෙහාට හැකුළුවාය. එක ඇසක් දඟකාර ලෙසින් වැසුවා ය. දොර වැසිණ.

දුම්රිය දෙකම නැවත දිව්වේ එකම විටක ය. ජනේලයට මුහුණ තද කරගත් සාෂාට කහ පැහැති ජනේලයකින් අනික් පීලී මත තිබෙන මැදිරියක ඉන්නා අරීනාගේ හිසේ හැඩය දකින්නට හැකිවිය. දුම්රිය දෙකම සෙමෙන් ඇදුණි. යකඩ මිටි වේගයෙන් වේගයෙන් පොළව යටින් වැදේ. සාෂා බලාගෙන ඉන්නා මැදිරියේ අඳුරු පොළව යටින් දුම්රිය නැවතුම්පොලේ එළිය කෙමෙන් මැකී යයි. ඔවුන් අතර වු අළු හිම පැල්ලම කෙමෙන් පළල් විය. ජනේලය විවෘත නම් ඔහුට තවමත් අනිත් දුම්රිය අතක් එළියට දා අල්ලන්නට හැකිය. අනතුරුව ඔහුට ඒ අනිත් දුම්රිය වෙත පැනිය හැකි තරම් දුරකින් දිස් විය. ඊ ළඟට එළියට පැන්නත් ඒ හා කිට්ටු නොවිය හැකි තරම් දුරකට ඒ අනිත් දුම්රිය ඇදී ගියේය. ඔහු බලාගෙන සිටි ඒ ජනේලය තවත් දැකිය නොහැකි වූ තරමට ඔවුන් අතර පරතරය වැඩිවන විට ඔහු ඒ මැද්දෙන් වූ සුදු පැහැයෙන් වූ එළිය දිහා බලාගෙන සිටියේ ය. ඒ සුදු පැහැති එළිය අල්ලාගෙන තම සියළු ශක්තිය යොදා එය ඈතට ඇදී යාම නවතා තමන් වෙත ඇද ගන්නට වූ උවමනාවෙන් ඔහු බලා සිටියේ ය. දුම්රිය පීලි දෙක එකිනෙකින් ඈතට ඈතට ඇදී වෙන් වී ගියේ ය. ඔහුගේ ඇස් මට්ටමින් ඔහුට දකින්නට හැකි වූයේ නිල් පැහැ‍යට ළං වූ දිළිසෙන යකඩ රෝද හිම මත වූ පටු තීරු වලින් දුවන ආකාරයයි. ඉක්බිතිව ඔහු හිම දිහා තව දුරටත් බලා සිටියේ නැත. ඔහුගේ බැල්ම රැඳී තිබුනේ ඉතා ඈතක වූ කුඩා කහ හතරැස් කවුළුවක මනුෂ්ය හැඩයකින් වූ කළු තිතක් දිහා ය. ඉක්මණින් කුඩා වී යන කහ හතරැස් කවුළුවට නොපෙනී යා නොදෙන්නට ඔහු දැඩි උත්සාහයක් ගත්තේ ය. ඔහුට දැනුනේ තම බැල්ම කවුරු හරි අල්ලා ගෙන ඔහුට දැඩි වේදනා ගෙන දෙමින් ඔහු වෙතින් ඈතකට අදිනවා ලෙස ය. ඉමක් නොපෙනෙන පාළු හිම පොළවේ දිගු දැලඹුවන් දෙදෙනෙක් දෙපැත්තට ඇදී යනවා සේ දුම්රිය දෙක පෙනුණි. සිහින් රිදී පැහැති නූල් දෙකක් ඒ දුම්රිය දෙකට ඉදිරියෙන් පෙනුණි. ඒ නූල් විසින් දුම්රිය කැඳවාගෙන ගියේ අන්ධකාරයෙන් පිරි කළු හිස් බවක් වෙතකට ය. සාෂාට තව දුරටත් ජනේලය නොපෙනුණි. එහෙත් ඔහුට කහ පැහැති තිත් සේ ඇදෙනා හතරැස් එළියක් තවමත් දකින්නට හැකි ය. ඊට ඉහළින් අහසේ පාවී යන කළු පැහැති යමක්, මැදිරියන් හි වහලවල් සේ දකින්නට හැකි විය. අනතුරුව දැකිය හැකි වූයේ කහ පැහැති බෝල ඇති නූලකි. ඒවා කළු අන්ධකාරයෙන් වූ ළිඳකට වැටෙනා මෙන් පෙනුණි. ඒ සියල්ලට ම පසුව ඔහුට දිස් වූයේ පිටතින් දුහුවිලි පිරි ජනේලයේ වීදුරු පියන පමණි. තවමත් දීප්තිමත් නූලක් තමන් දකිනවා දැයි නැත්නම් ඒ තමන්ගේ ඇසිපිය නොගහන, විස්තෘත ඇස් දැයි නිශ්චිත නොවින.

අන්තිමේ දී ඉතිරි වූයේ ඔහුට අසලින් වූ බංකුවේ පිටුපස, ඔහු දිහා බලාගෙන, ලොකු හිනාවකින්, අඩසඳ මුවකින් වූ, එක ඇසක් වසාගත් දඟකාරයා පමණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: