Sinhala story Blog

ඔක්තෝබර් 11, 2011

අපි ජීවත්වන්නෝ -307 අනේ මොකට ද නිර්භීත වෙන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:04 පෙ.ව.

දේශපාලන වරදකරුවන් ගමන් කළේ වෙනම මැදිරියක ය.

බයිනේත්තු රැගත් පිරිමි දොරවල් අසල හිටගෙන සිටියහ. දැඩි ලී බංකු මත සාෂා හා අරීනා එකිනෙකා දිහා බලාගෙන හිඳගෙන සිටියහ. ඔවුන් ගමනේ කොටසක් එකට ආහ. ඉස්සරහක දී එන හංදියක දී අරීනාව වෙනත් දුම්රියකට මාරු‍ කෙරෙයි. මැදිරියේ වූ ජනේල කළු පැහැති ය. ජනේල වීදුරු වල පිටතින් දුහුවිල්ලෙන් බැඳි හම් තීරු අලවා ඇති ලෙසින් හැඩ වී ඇත. ජනේල වලට එහායින් මහ පොළවක් තියෙනවා යැයි දැන ගන්නට හැකි වූයේ තැනින් තැන ජනේලයට තෙත් හිම කැට තරු මෙන් ගැටෙන්නට එවූ කළු අහසත් හමා යන සුළඟත් නිසා පමණි. සිවිලිමේ උඩක ලාම්පුවක් වෙව්ලී ය. දුම්රියේ රෝද ගැටෙන හැම වතාවක දී ම වාගේ එහි කහ දැල්ල නිවන්නට ගන්නා වෑයමකින් විය. දැල්ල වෙව්ලා නිවී යන්නට මෙන් ගොස් නැවත කුඩා ඉටිපන්දම් කෑල්ල අල්ලා ‍ගෙන ඇවිලී යයි. පරණ කොළ තොප්පියක් පැළඳ හිටි කොල්ලෙක්, ජනේලයක් අසලට වී තනියම සිහින් හඬින් එකම තාලයට දත් අතරින් සිංදුවක් ගයයි. ඔහුගේ හඬ පැතිරුනේ ඔහු සිනාවෙනවා වැනි වුවත් ඔහුගේ කම්මුල් හෙලවුනේ නැත:

“ඒයි පුංචි ඇපල් ගෙඩිය
කොහාට ද ඔබ පෙරළෙන්නේ?”

සාෂා අරීනාගේ අත් අල්ලා ගෙන සිටියේ ය. ඇය සිනාවක් පායි. ඇයගේ නිකට පරණ වුලන් සාටකයෙන් වැසී ඇත. ඇයගේ අත් සීතල ය. ඇය රහසින් කොඳුරද්දී ඇයගේ මුව අසල සුදු හුමාලයක් නළියන්නට විය: “අපි ඒක අවුරුදු දහයක් කියල හිතන්න නරකයි. එතකොට හරි දිග කාලයක් කියල හිතෙනවා. නැද්ද? ඒත් එච්චර දිග කාලයක් නෙමෙයි. ඔයා දන්නවා, එක දාර්ශනිකයෙක් කියල තියනවා කාලය කියන්නෙ මායාවක් කියල. ඔන්න ඔය වගේ කතාවක්. කවුද එහෙම කිව්වෙ? ඉතින්, කමක් නැහැ කවුරු වුනත්. කාලය ඉක්මණින් ගෙවිලා යාවි, ඒ ගැන හිතන්නෙ නැතිව හිටියොත්. අපි තවමත් තරුණ වයසේ ඉඳීවි. අපි … අපි නිදහස් වෙනකොට. ඉතින් අපි පොරොන්දු වෙමු වෙන දෙයක් ගැන නොහිතා ඉන්න. පොරොන්දු වෙන්න?”

“ඔව්,” ඇයගේ අත් දිහා බලමින් ඔහු රහසින් කීවේ ය. “අරීනා, මම එදා ආවේ නැත්නම් …”

“අන්න ඒක ඔයා නැවත ආයේ සඳහන් කරන්නෙ නැහැයි කියල පොරොන්දු වෙච්ච දෙයක්. ඔයාටවත් මතක් කරගන්නෙ නැහැයි කියල පොරොන්දු වෙච්ච දෙයක්. ඩාලිං, ඔයාට පේන්නෙ නැද්ද, -මේ විදිය- මට ඇත්තෙන් ම වඩා පහසු බව. ඔයාව මෙහාට තනියම එවද්දී මම තනියම ගෙදරට වෙලා ඉන්නෙ නැතුව ඉන්න එක. මේ විදියට, මට දැනේවි අපි දෙන්නා යමක් බෙදාගන්න බව. අපි දෙන්නට පොදු දෙයක් තියන බව. එහෙම නැද්ද?”

ඔහු තම හිස ඇයගේ අත්වල රඳවා ගත්තා මිසක කිසිත් කීවේ නැත.

“ඉතින් අහන්න,” ඔහුගේ බ්ලොන්ඩ් හිසට නැඹුරු වී ඇය රහසින් කීවා ය, “මම දන්නවා හැම තිස්සෙ ම සතුටින් ඉන්න බැහැයි කියල. සමහර වෙලාවට කෙනෙකුට හිතෙනවා: අනේ මොකට ද නිර්භීත වෙන්නෙ තමන්ගෙ ආඩම්බරය වෙනුවෙන් ද කියල. ඉතින් අපි දෙන්න එකඟ වෙමු මේ ගැන: අපි දෙන්නා නිර්භීත වෙමු අනික් කෙනා වෙනුවෙන්. ඔයාට එපා වෙලා යැයි හිතුනම, සිනාවෙන්න. එහෙම කරද්දී ඔයා ඒක කරන්නෙ මා වෙනුවෙන් යැයි සිතන්න. මමත් ඒකම කරන්නම්. ඒකෙන් අපි දෙන්නාව එකට බැඳිලා ඉන්න පුළුවන්. අනික ඔයා දන්නවානෙ, හරි වැදගත් සතුටින් සිටීම. ඒකෙන් අපි වැඩි කාලයක් පවතිවී.”

“ඒ මොකට ද?” ඔහු ඇසීය. “අපි අවශ්ය තරම් කාලයක් පවතින එකක් නැහැ.”

“සාෂා, පිස්සු කියන්න එපා!” ඇය කොණ්ඩයකින් ඇද ඔහුගේ හිස එසැවීය. ඇස් දිහා ‍එක එල්ලේ බැලුවා ය. හරියට තම හැම වචනයක් ම විශ්වාස කරන ලෙසකින් මෙසේ කීවා ය: “ශක්තිමත් නිරෝගී අපි වගේ සත්තු දෙන්නෙක්! ඉතින් කොහොමටත්, මට විශ්වාසයි අර කතන්දර අත්යලංකාරය එකතුවෙන් හැදිච්ච ඒවා බව. ඔයා කියන්නෙ බඩගින්න හා ක්ෂය රෝගය ගැන නම්, කිසිම දෙයක් පින්තූර වලින් ඇඳලා තියන තරම් දරුණු නැහැ.”

රෝද පීලි මත තෙරපී සෙමෙන් වේගය අඩුවන්නට විය.

“අහෝ දෙවියනේ!” සාෂා කෙඳිරි ගෑවේ ය. “ඒක ද දුම්රිය නැවතුම්පොල?”

මැදිරිය ගැස්සී ඉස්සහරට ඇදී රෝද නැවතත් පොළවේ වදිමින්, මිටියක් වේගයෙන් වැදීම වැඩි කරනා සේ ඇසිණ.

“නැහැ,” අරීනා ඉහළට ගත් හුස්ම පිට නොකර රහසින් කීවා ය, “තාම නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: