Sinhala story Blog

ඔක්තෝබර් 9, 2011

අපි ජීවත්වන්නෝ -305 අපි මේ ජීවත්වෙන්නෙ අබුද්දස්ස කාලයක

Filed under: Uncategorized — sinhalashortstories @ 9:15 පෙ.ව.

වික්ටර් දෙස නොබලන්නට තැත් දරමින් මරීෂා පසුබාමින් කීවේ

“මේ අහන්න, මම කාව හරි හමුවෙලා ඇහුවොත් … මොකද හිතන්නේ .. ඔයා දන්නවා … දෙන්නවාම එකම හිරගෙදරට යවන්න කියලා … ඒක කාටවත් වෙනසක් වෙන්නෙ නැහැනෙ .. ඉතින් ..”

වික්ටර් ඇයගේ මැණික් කටුව අල්ලා ගෙන ඇයට රිද්දවමින් ඇයව තදින් තමන් වෙත හැරුවේ ඇයගෙන් වේදනා හඬක් පිට වෙද්දී ය. “අහන්න,” ඔහු දත් කූරු ගාමින් වචන පිට කළේ ය, “ඔයාගෙ මෝඩ කකුල් අරන් දුවන්න හැකි තරම් ඈතකින් ඔයා ඉන්න ඕන. ඒක මට හරි ලස්සන වැඩක් වෙයි, නැද්ද? මගේ භාර්යාව අරගල-විරෝධීන් වෙනුවෙන් යාප්පු වෙද්දී!”

“ඒත් ඒක එකම ..”

“අහන්න! ඔයා පිට කළොත් එකම එක වචනයක් -තේරුනා ද?- එක වචනයක් ඔයාගේ කොයි යම් හෝ හිතවතෙකුට- ඊ ළඟ දවසෙ උදේට මගෙන් දික්කසාද දැන්වීමක් ලැබේවි!”

එදා රාත්රියේ වසිලි ඉවානොවිච් ගෙදර ආවේ වෙනදාට වඩා සංසුන් ලෙසිනි. ඔහු කබාය ගලවා තම අත්වැසුම් එකිනෙක මත තබා සීරුවට නමා ඉස්තෝප්පුවේ කණ්ණාඩි රාක්කය මතින් තැබුවේ ය. කෑම කාමරයේ මරීෂා ඔහු වෙනුවෙන් පිළියෙල කර තබනා ලද රෑ කෑම දිහා ඔහු බැලුවේ නැත.

“වික්ටර්, මට ඔයා එක්ක කතා කරන්න ඕන,” ඔහු කීවේ ය.

වික්ටර් ඔහු පසුපසින් ඔහුගේ කාර්යාල කාමරයට ගියේ අකමැත්තෙනි.

වසිලි ඉවානොවිච් හිඳ ගත්තේ නැත. තම අත්දෙක දෙපැත්තෙන් අප්රාණිකව එල්ලා වැටෙද්දී ඔහු තම පුතුනුවන් දිහා බලාගෙන හිටගෙන සිටියේ ය.

“වික්ටර්,” වසිලි ඉවානොවිච් කීවේ ය, “ඔයා දන්නවා මම කියන්න යන්නෙ මොකක් ද කියල. ඒත් මම ඒක කියන්නෙ නැහැ. මම කිසිම ප්රශ්නයක් අහන්නෙ නැහැ. අපි මේ ජීවත්වන කාලේ අබුද්දස්ස කාලයක. මීට අවුරුදු කිහිපයකට පෙර මම නිශ්චිතව ම දැනගෙන හිටියා මම හිතන්නෙ කොහොම ද කියල. මම දැනගෙන හිටියා මම නිවැරදි වෙලාවල් මොනවා ද කියල. මම දැනහිටියා හෙළා දැකිය යුතු වෙලාවල් මොනව ද කියල. මට දැන් ඒක කරන්න බැහැ. මම දන්නෙ නැහැ දැන් මට කිසිම කෙනෙක්ව කිසිම දෙයක් කළාට හෙළා දකින්න පුළුවන් ද කියල. අපි වටේ කොයි තරම් භයංකාර වූ දුක පැතිරිලා ද කිව්වොත් මට අවශ්ය නැහැ කාවවත් වරදක් කළා යැයි හංවඩු ගහන්න. අපි දුප්පත්, වික්ෂිප්තව ඉන්න සත්තු -අපි හැමෝම- කොච්චර දුක් විඳිනවා ද, කොච්චර ඩිංගක් ද දන්නෙ! ඔයා කරපු කිසිම දේකට මට දෝෂාරෝපණය කරන්න බැහැ. මම ඔයාගේ හේතු දන්නෙ නැහැ. මම අහන්නෙ නැහැ. මම දන්නවා මට ඒවා වටහා ගන්න බැරි බව. මේ දවස්වල කාටවත් කවුරු වත් වටහා ගන්න බැරි කාලයක්. ඔයා මගේ පුතා, වික්ටර්. මම ඔබට ආදරෙයි. ඒක වෙනස් කරන්න මට බැහැ. හරියට ඔයා කවුදැයි කියන එක ඔයාට වෙනස් කරන්න බැරි වගේම යි. ඔයා බලන්න, අද ඔයා ඉන්නවාටත් වඩා බාල කාලයක දී මට පුතෙක් ඕනෑ වුනා. මම කවදා වත් පිරිමි විශ්වාස කළේ නැහැ. ඉතින් මට ඕන වුනා මගේ ම කියල පිරිමියෙක්, ආඩම්බරයෙන්, කෙළින් ම බලන්න පුළුවන්, මම දැන් ඔයා දිහා බලන විදියට, පුළුවන් කෙනෙක්. ඔයා පොඩි කොල්ලෙක් කාලෙ දී, වික්ටර්, දවසක් ඔයා ඇඟිල්ලක් දරුණු විදියකට, ඇටයත් පේන තරම් ළඟින් කපාගත්ත. ඔයා වත්තෙ ඉඳලා ඇතුලට ආවේ ඒක පටියකින් වෙළාගන්න. ඔයාගෙ තොල් නිල් පාට වෙලා තිබුණ. ඒත් ඔයා ඇඬුවේ නැහැ. ඔයා සද්දයක් පිට කළේ නැහැ. මම සතුටින් හිනා වෙච්ච නිසා ඔයාගෙ අම්මා මාත් එක්ක හොඳටම උරණ වුනා. ඒත්, ඔයා බලන්න, මම ඔයා ගැන ආඩම්බර වුනා. මම දැනගෙන හිටියා මම ඔයා ගැන හැමදාම ආඩම්බර වෙනවා කියල .. ඔයා දන්නවානේ, ඔයා හරි විකටයෙක්, ඔයාගෙ අම්මා ඔයාව ලොකු සුදු ලේස් කොලරයක් තියන වෙල්වට් සූට් කට්ටලයකින් සැරසෙව්වාම ඔයා තදින් කෝප වෙච්ච හැටි -කොච්චර කඩවසම් ද! ඔයාට තිබුනෙ කැරලි ගැහිච්ච කොණ්ඩෙ. … ඉතින්, දැන් ඒවා සේරම වලින් වැඩක් නැහැ. එකම දේ මට ඔයාට විරුද්ධව කියන්න කිසිම දෙයක් මතක් වෙන්නෙ නැහැ. ඉතින් මම ඔයාව ප්රශ්න කරන්නෙ නැහැ. මම ඔයාගෙන් එක උදව්වක් විතරක් ඉල්ලන්නම්: ඔයාට ඔයාගෙ සහෝදරිය බේරගන්න බැහැ, ඒක මම දන්නවා. ඒත් ඔයාගෙ යාළුවොන් ගෙන් අහන්න -මම දන්නවා ඔයාට ඒක කරන්න පුළුවන් යාළුවෝ ඉන්න බව- නිකම් අහන්න එයාල ගෙන් ඇයව සාෂා ඉන්න හිරගෙදරට ම යවන්න කියලා. ඒක විතරක්. ඒක දඬුවම එක්ක ගැටෙන්නෙ නැති, ඔයාව පාවා දෙන්නෙ නැති එකක්. ඒක එයාට කරන අන්තිම උදව්වක් -මරණ ඇඳේ ඉල්ලීමක්, වික්ටර්, ඔයා දන්නවා ඔයා කවදා වත් ඇයව ආයේ දකින්නෙ නැහැ කියල. ඒක විතරක් කරන්න -එතකොට පොත වහන්නම්. මම ආයේ හැරිලා බලන්නෙ නැහැ. මම කිසිම දවසක මට දකින්න ඕන නැති පිටු ඇරලා කියවන්න හදන්නෙ නැහැ. ඒක අපේ ගණුදෙනු ඔක්කොම පියවලා දායි. මට තවත් කාලයක් යනකම් පුතෙක් හිටියි. ඒක කොච්චර අමාරු වුනත්, සමහර විට, නොහිතා සිටීම, මේ දවස්වල කෙනෙකුට ඒක කරන්න පුළුවන්, කරන්න වෙනවා, ඔයා මට උදව් කරාවි. ඒ උදව්ව විතරක්, සේරට ම -මෙච්චර කාලයක් කරපු සේරම වෙනුවෙන්.”

“තාත්තේ,” වික්ටර් කීවේ ය, “ඔයා මාව විශ්වාස කරන්න ඕන, මට කරන්න පුළුවන් ඕන දෙයක් කරන්නම්, මට පුළුවන් නම් … මම උත්සාහ කළා, ඒත් ..”

“වික්ටර්, අපි වාද කරන්නෙ නැහැ. මම ඔයාගෙන් ඒක කරන්න පුළුවන් ද කියලා අහනවා නෙමෙයි මේ. මම දන්නවා ඔයාට පුළුවන් කියල. පැහැදිලි කරන්න එපා. මට කියන්න ඔව් ද බැහැ ද කියලා විතරක්. ඒක විතරක්. වික්ටර්, උත්තරය බැහැ නම්, ඒ කියන්නෙ අපි දෙන්නගෙ සම්බන්ධය මෙතැනින් ඉවරයි. එතකොට මට තව දුරටත් පුතෙක් නැහැ. සීමාවක් තියනවා, වික්ටර්, මට සමාව දෙන්න පුළුවන් කොච්චරක් ද කියන එකට සීමාවක් තියනවා.”

“ඒත්, තාත්තේ, ඒක කරන්න කොහෙත්ම විදියකින් බැහැ, අනික ..”

“වික්ටර්, මම කිව්වා උත්තරය බැහැ නම් මට තව දුරටත් පුතෙක් නැහැයි කියල. මට පහුගිය අවුරුදු වල කොච්චර නැතිවුනාද කියල කල්පනා කරන්න. ඉතින් දැන් මොකක් ද උත්තරය?”

“මට මුකුත් කරන්න බැහැ.”

වසිලි ඉවානොවිච් සෙමෙන් දෙවුර කෙලින් කරගත්තේ ය. නාස්පුඬු වලින් මුව කොන් වලට ඇදි ඉරි දෙක තදින් තෙරපී, හැඟීමකින් තොරව පිහිටා තිබුණි. ඔහු හැරී දොර වෙත ගියේ ය.

“ඔබ යන්නෙ කොහෙ ද?” වික්ටර් ඇසුවේ ය.

“ඒක,” වසිලි ඉවානොවිච් කීවේ ය, “ගැන කිසිම තැකීමක් කරන්න ඔයාට තව දුරටත් දැනගන්න අවශ්ය නැහැ.”

කෑම කාමරයේ කෑම මේසය අසල මරීෂා සහ ආසියා සීතල වී යන රෑ කෑම පිඟන් අල්ලන්නේ නැතිව බලා සිටියහ.

“ආසියා,” වසිලි ඉවානොවිච් කීවේ ය, “ගන්න ඔයාගෙ තොප්පියයි කබායයි.”

“තාත්තා!” ඇය හිට ගනිද්දී මරීෂාගේ පුටුව හඬ නඟමින් බිමට පෙරළිණ. මරීෂා එම වචනයෙන් වසිලි ඉවානොවිච් ඇමතූ ප්රථම වතාව එය විය.

“මරීෂා,” වසිලි ඉවානොවිච් කරුණාවෙන් කීවේ ය, “මම ඔයාට දවස් දෙක තුනකින් දුරකතන ඇමතුමක් දෙන්නම් .. මට නවතින්න තැනක් ලැබුණම. එතකොට මෙතන මගේ ඉතිරි වෙලා තියන දැයක් … ඒවා ටික මට එවන්න පුළුවන් ද?”

“ඔයාට යන්න බෑ!” මරීෂා කීවේ ඇයගේ කටහඬ දෙදරා යද්දී ය. “රස්සාවකුත් නැතිව, සල්ලි නැතිව .. අනික … මේ ගෙදර ඔයාගෙ.”

“මේක ඔයාගෙ සැමියාගේ ගෙදර,” වසිලි ඉවානොවිච් කීවේ ය, “එන්න ආසියා.”

“මට මගේ මුද්දර එකතුව අරගෙන යන්න පුළුවන් ද?” ආසියා මැතිරුවා ය.

“අරගෙන එන්න ඔයාගෙ මුද්දර එකතුව.”

ජනෙල් පඩිය අසලින් මරීෂා දණගසා ගත්තා ය. ඇයගේ නැහැය වීදුරුව මතට හිර වී පැතලි වී ඇත. ඇයගේ වත නිහඬ ඉකි වලින් සැලෙයි. ඇය ඔවුන් යන දිහා බලා සිටියා ය. වසිලි ඉවානොවිච්ගේ දෙවුර කඩා හැලුණි. වීදි ලාම්පුවෙන් ඔහුගේ පරණ කබා කොලරයත් නවාගත් ඔළුවේ වූ කළු ලොම් තොප්පියත් අතර මැදින් සුදු හම යාන්තමින් පෙනෙයි. ඔහු ආසියාගේ අතින් අල්ලා ගෙන ය. ඇයගේ අත ඔහුගේ අත අල්ලා ගන්නට ඉහළට කෙළින් ඇදී ඇත. ඔහුගේ දැවැන්ත සිරුර අසලින් ගිය ඇය ඉතා කුඩාවට පෙනිණ. ඇය කකුල් අද්දමින් කීකරු ලෙසින් ගියා ය. දුඹුරු ගැසුණ හිම ගොහොරුව මතින් ඇවිද්දා ය. ඇය මුද්දර සිතියම් පොත අනික් අතින් පපුවට තදකරගෙන අල්ලා ගෙන ගියා ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: