Sinhala story Blog

ඔක්තෝබර් 5, 2011

අපි ජීවත්වන්නෝ -301 මම ඒක දැනගෙන සිටියෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:14 පෙ.ව.

දවස් තුනක දී වසිලි ඉවානොවිච් නිදහස් කරන ලදි.

අරගල විරෝධී කටයුතුවල නියැළීමේ වරදට සාෂා චෙරනොව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය.

අරගල විරෝධී කටයුතු වලට සහාය දුන් වරදට අරීනා ඩුනේව්ට සයිබීරියානු හිර කඳවුරක වසර දහයක හිර දඬුවමක් නියම විය.

වසිලි ඉවානොවිච් නිලධාරීන් හමුවන්නට තැත් දැරී ය. සහාය ලේකම්වරු ටික දෙනෙක් හමුවන්නට ලියුම් කිහිපයක් ලබා ගත්තේ ය. උණුසුම් නොකළ කාමරවල පැය ගණනාවක් ගුලි ගැහී ඔවුන් හමුවන්නට බලා සිටියේ ය. කටහඬ වෙව්ලන්නට ඉඩ නොදෙන්නට උත්සාහ ගනිමින් දුරකතන ඇමතුම් ගත්තේ ය. කරන්නට කිසිත් නැත. ඒ බව ඔහු දනියි.

ඔහු නිවසට පැමිණි විට, ඔහු වික්ටර් හා කතා නොකළේ ය. ඔහු වික්ටර් දිහා නොබැලුවේ ය. ඔහු වික්ටර් ගෙන් උදව් ඉල්ලුවේ නැත.

ඔහු ගෙදර පැමිණි විට මරීෂා තනිවම වසිලි ඉවානොවිච් පිළිගත්තා ය. ඇය බයාදු ලෙසින්: “මෙන්න, වසිලි ඉවානොවිච්, රෑ කෑම ටිකක් කන්න. මම ඔයා කැමති විදියට නූඩ්ල්ස් සුප් ටිකක් හැදුවා -ඔයාට, විශේෂයෙන් ම.” ඔහු මඳ සිහි කල්පනාවෙන් නිහඬ සිනාවක් පාද්දී ඇය මුහුණ රතු කරගත්තා ය. ස්තූති පූර්වක වූවා ය. ලැජ්ජා වූවා ය.

රහස් පොලීසි හිර කූඩුවක දී වසිලි ඉවානොවිච් අරීනාව හමු වූයේය. ඇයගේ අන්තිම ඉල්ලීම ලබා දෙන්නට සමත් වූ දිනයේ ඔහු තම කාමරයේ අගුල් දමාගෙන ඇතුලට වී ඔහු නිහඬව, සතුටින් පැය ගණනාවක් හැඬුවේ ය. ඔවුන් ව සයිබීරියාවට පිටත් කර හරින්නට පෙර ඇයට සාෂා හා විවාහ වන්නට ඉඩ දෙන්න යැයි ඇයගේ ඒ අවසන් ඉල්ලීම විය.
රහස් පොලීසියේ හිස් හිර කූඩුවක ඔවුන්ගේ විවාහ මංගල්යය පැවැත්වුණි. අවි ගත් සෙබළුන් දොර මුර කළහ. වසිලි ඉ‍වානොවිච් සහ කීරා සාක්කියට අත්සන් කළ අය වූහ. සාෂාගේ තොල් සෙලවුණි. අරීනා සංසුන් ව සිටියා ය. ඇයව අත් අඩංගුවට ගත් දිනයේ සිට ඇය සංසුන් ලෙසින් සිටියා ය. ඇය ටිකක් කෙට්ටු වී ඇත. ටිකක් සුදුමැලි වී ඇත. ඇයගේ හම විනිවිද පෙනෙනා වැනි ය. ඇයගේ ඇස් විසල් ය. ඇයගේ ඇඟිලි සාෂාගේ අතේ රැඳී තිබුනේ නොසෙල්වී ය. මහත් ළැදියාවකින් යුතු දයාබර සිනාවකින් ඇය උත්සවය අවසානයේ දී සාෂාගේ චුම්බනය ලබන්නට මුහුණ ඉස්සුවා ය.

ඊ ළඟ දිනයේ දී වසිලි ඉවානොවිච් හමුවන්නට ගිය නිලධාරියා “ඉතින්, ඔබට ලැබුණා ඔබ ඉල්ලපු දේ. ඒ පිස්සු වැඩෙන් අහවල් එකක් ඔවුන් දෙන්නා බලාපොරොත්තු වුනා ද කියා මම නම් දන්නෙ නැහැ. ඔබ දන්නවා ද ඔවුන්ගේ හිර කඳවුරු තියෙන්නේ එකිනෙකාට කිලෝමීටර් තුන්සිය පනහක් ඈතින් බව?”

“නැහැ,” වසිලි ඉවානොවිච් මහත් බරක් උසුලා ගෙන සිටින ලෙසින් පුටුවේ අසුන් ගත්තේ ය, “මම ඒක දැනගෙන සිටියෙ නැහැ.”

ඒත් අරීනා එය අපේක්ෂා කළා ය. විවාහයට හේතුව එය විය. එම තීරණයට විවාහයෙන් බලපෑමක් සිදුවේ යැයි ඇය අපේක්ෂා කළා ය. එයින් කිසිත් ඵලක් නොවීය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: