Sinhala story Blog

සැප්තැම්බර් 28, 2011

අපි ජීවත්වන්නෝ -295 එතකොට මට තවත් හිතන්න අවශ්ය වෙන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:48 පෙ.ව.

අන්ද්‍රෙගේ උදුනේ ගින්නක් දැවෙයි.

දර කොටන් තියුණු පුංචි පුංචි පුපුරා යෑම් වලින් යුතු විය. ලොකු දර කොටන් වලින් විනිවිද පෙනෙන, දිළිසෙන රතු පැහැයෙන්, හැම අත විහිදුවන, තැඹිලි පැහැති වැනෙන කුඩා දැල් වැනෙමින්, සැලෙමින්, එකතු වෙමින්, වෙන් වෙමින්, සුමුදු ලෙසින් වක් ගැසෙමින්, හදිසියේ නිවී යමින්, නැවත පණ ලබමින්, කුඩා නිල් පැහැති දිව වල් සේ පෙනෙන කුඩා දැල් වලින් දැවෙන අඟුරු ලෙවකමින් චිමිනියේ අන්ධකාරයේ නොපෙනී යයි. කහ පැහැති දැල්ල ඉහළට දුව ගොස් කළු දුමින් වැසි ගඩොල් වල වැදී නිවී යයි. විසිතුරු රටා අඳිමින් සුදු බිත්තියේ, රතු සොල්දාදුවන් වූ පෝස්ටර් මතින්, ට්‍රැක්ටර් පෝස්ටර් මතින්, තැඹිලි පැහැති ආලෝකයක් නටමින්, වෙව්ලමින් පැතිර ඇත. උදුනට උඩින් වූ රාක්කයේ වූ පිළිරුවක පහතට එල්ලී තිබූ පාදයක් දැල්ලේ එළියෙන් රෝස පාටින් දිස්වුණි.

උදුනට ඉදිරිපිටින් වූ පෙට්ටියක් මත කීරා වාඩි වී සිටියා ය. අන්ද්‍රෙ ඇයගේ කකුල් අසලින් වාඩි වී සිටියේ ය. ඔහුගේ අතට සිල්ක් සේ දැනුනු ඇයගේ පා පතුල පිරිමැදීම සතුටක් විය. ඔහුගේ ඇඟිලි බිමට වැටී නැවත ඇය හැඳි සිල්ක් කකුල් ආවරණ කරා යළි ආවේ ය.

“…. ඊට පස්සෙ, ඔයා මෙහෙ ඉන්න කොට ..” ඔහු රහසින් කියයි, “සේරම වද වේදනා වටිනවා එතකොට. බලාගෙන ඉන්න එක … ඉතින් එතකොට මට තවත් හිතන්න අවශ්ය වෙන්නෙ නැහැ ..”

ඔහු හිස එසැවීය. ඇය දිහා බලාගෙන ඇය කිසිදා ඔහුගෙන් පිටවෙනවා අසා නැති වදන් පිට කළේ ය: “මට හරි මහන්සියි …”

ඇය ඔහුගේ ඔළුව තම අත්ලෙ රඳවා ගෙන සිටියේ ඇඟිලි ඔහුගේ නළල පුරා විසිර තියෙද්දී ය. “මොකක් ද ප්‍රශ්නය, අන්ද්‍රෙ?”

ඔහු ඇයට පිටුපා උදුන වෙත හැරුනේ ය. “මගේ පක්ෂය.” ඔහු කීවේ ය. අනතුරුව ඔහු වේගයෙන් ඇය වෙත ආපසු හැරුනේ ය. “ඔයා ඒක දන්නවා, කීරා. සමහර විට ඔයා ගොඩක් කාලෙකට ඉස්සර වෙලා ඉඳන් දැන සිටියා. ඔයා හරි. සමහර විට ගොඩක් දේවල් ගැන ඔයා හරි. අපි කතා නොකර ඉන්න හදපු ගොඩක් දේවල් ගැන.”

“අන්ද්‍රෙ, ඔයාට ඒ ගැන -මාත් එක්ක කතා කරන්න උවමනා ද? මට ඕන නැහැ ඔයාට රිදවන්න.”

“ඔයාට බැහැ මට රිදවන්න. ඔයා හිතන්නෙ මට තනියම ඒක දකින්න බැහැයි කියල ද? අපේ මහා අරගලය ඇවිත් තියෙන්නෙ මොන තත්වයකට ද කියල මට දකින්න බැහැයි කියල ද ඔයා හිතන්නෙ? අපි එක කාල්පනිකයෙකුට වෙඩි තිබ්බා ම තවත් සියයක් හවසට නෙවස්කියේ ටැක්සි කුලියට ගන්නවා. ඔවුන් කොමියුනිස්ට්කාරයෙක් මැරුවා ම අපි ගම් බිමට සමතලා කරනවා, දොම්නසින් ඉන්න පිටිසරවැසියන් පේලි ගහලා මැෂින් තුවක්කු වලින් වෙඩි තියනවා. ඒ කොමියුනිස්ට් සහෝදරයාගේ යාළුවෝ දහයක් දියමන්ති අල්ලපු කමිසයක් ඇඳ ගත්තු මිනිහෙක් ඉන්න නිවසක ෂැම්පේන් බොන්න එකතු වෙනවා. එයාට කොහෙන් ද දියමන්තියක් ලැබුනෙ? කවුද ෂැම්පේන් වලට ගෙවන්නෙ? අපි ඒක ගැන කිට්ටු වෙලා බලන්නෙ නැහැ.”

“අන්ද්රෙ, ඔයා නිකම් හරි හිතනවා ද ඔයා -ඔයාගෙ පක්ෂය තමයි ඒ ඔයා කාල්පනිකයෝ කියා හඳුන්වන අයව එහෙම කරන්න පෙළඹුවේ කියලා, -ඔවුන්ට වෙන තෝරා ගැනීමක් ඉතිරි නොකරපු නිසා?”

“මම ඒක දන්නවා … අපේ කාර්යය වුනේ අපේ තත්වයට මිනිස්සු උස්සලා ගන්න. ඒත් එයාලා ඉහළට නඟින්නෙ නැහැ, අපි පාලනය කරන අය. එයාලා වර්ධනය වෙන්නෙ නැහැ, එයාලා හැකිළෙනවා. මිනිස් සත්වයෙක් හැකිලිච්ච නැති තරම් කුඩා ප්‍රමාණයකට එයාලා හැකිළෙනවා. අපිත් එයාලගෙ තත්වයට හෙමිහිට ඇදගෙන වැටෙනවා. අපිත් ඇදගෙන වැටෙනවා, හරියට බිත්තියක් කඩාගෙන වැටෙනවා වගේ, කෑල්ලෙන් කෑල්ල. එක්කෙනා එක්කෙනා ගානේ. කීරා, මම කවදාවත් බය දැනිච්ච කෙනෙක් නෙමේ. ඒත් දැන් මට බයයි. ඒක අමුතු හැඟීමක්. මම බයයි හිතන්න. මොකද … මොකද මම හිතනවා, සමහර අවස්ථා වල දී, අපේ උත්කෘෂ්ටයන් වලට වෙනත් ප්‍රතිඵල නැහැයි කියල.”

“ඒක ඇත්ත! වැරැද්ද තියෙන්නෙ මිනිස්සු අතේ නෙමෙයි, ඔයාලගේ උත්කෘෂ්ටයේ ස්වභාවය අතේ. ඉතින් මම .. නැහැ, අන්ද්රෙ, මම ඒ ගැන කතා කරන්නෙ නැහැ. ඔයාට උදව් කරන්න පුළුවන් නම් මම කැමතියි. ඒත් ඉන්න සේරම මිනිස්සු අතරින්, ඔයාට අඩුවෙන් ම උදව් කරන්න පුළුවන් එක්කෙනා මමයි. ඔයා ඒක දන්නවා.”

ඔහු හෙමින් සිනාසුනේ ය: “ඒත්, ඔයා මට උදව් කරනවා, කීරා. මේ ලෝකේ ඉන්න මට උදව් කරන එකම එක්කෙනා ඔයා විතරයි.”

“ඇයි?” ඇය රහසින් විමසුවා ය.

“මොකද, වෙන ඕනෑම දෙයක් සිද්ධ වුනත්, මට ඔයා ඉන්නවා. මොකද, මොන මිනිස් සුන්බුන් ගොඩක් මගේ වටේ තියෙනවා දැක්කත්, මට ඔයා ඉන්නවා. ඉතින් -ඔයා තුලින්- මම දන්නවා තව දුරටත් මනුෂ්‍යත්වය කියන්නෙ කුමක් දැයි කියල.”

“අන්ද්රෙ,” ඇය රහසින් කීවා ය, “ඔයා හරියට ම දන්නවා ද මා කවුදැයි කියල?”

“කීරා, මිනිහෙක් තුල තියෙන ඉහළ ම තැන එයාගෙ දෙයියො නෙවෙයි. එයා දෙයියොන්ට දිය යුතු තැන දැන සිටීම යි. ඉතින් ඔයා, කීරා, ඔයා තමයි මගේ ඉහළ ම තැන ..” ඔහු මැතිරුවේ ඔහුගේ තොල් ඇයගේ අත්ලේ රැඳී තිබිය දී ය. ඇයට ඒ වචන ඇසුනේ ඒවා එකින් එක අත්ලට අහුලනවා ලෙසකිනි.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: