Sinhala story Blog

සැප්තැම්බර් 24, 2011

අපි ජීවත්වන්නෝ -292 අම්මා කිව්වා ගෙදර යන්න එපා කියල

Filed under: Uncategorized — sinhalashortstories @ 8:28 පෙ.ව.

ඉක්මණින් ගෙදර දුවන සාෂා චෙරනොව් තම වීදි කොනට හැරුණි.

එය අඳුරු ඔක්තෝබර් සන්ධ්යාවක් විය. ඔහුගේ කබා පටියේ රැඳි පුංචි අත, ඇදී ආවේ කොහෙන් දැයි සිතගත නොහැකි තරම් වේගයකිනි. පුංචි හිසක් මතින් දමාගත් සළුවක් අතරින් විසල් වූ, ඇසිපිය නොගහන, තැතිගත් දෑස් තමන් දිහා උඩට හැරී බලා සිටිනවා ඔහු දැක්කේ ය.

“චෙරනොව් පුරවැසියෙනි,” කෙල්ලක් රහසින් කීවා ය, ඇයගේ වෙව්ලන සිරුර ඔහුගේ කකුල් වලට තෙරපී ඔහුගේ ගමන නවතා ඇත, “ගෙදර යන්න එපා.”

තම අසල්වැසියාගේ දුව ඔහු හඳුනාගත්තේ ය. ඔහු සිනා සී ඇයගේ හිස පිරිමැද්දා ය. එහෙත් සහජ හැදියාවකින් මෙන් වහාම අඳුරු සෙවනැලි වැටි බිත්තියට මුවා විය. “මොකක් ද කලබලේ, කාටියා?”

“අම්මා කිව්වා,” කෙල්ල වචන හිරකර ගනිමින් කියන්නී ය, “අම්මා කිව්වා ඔබට කියන්න කියලා ගෙදර යන්න එපා කියලා … නාඳුනන මිනිස්සු ඇවිත් කියල … ඔවුන් ඔබේ පොත් කාමරය පුරා හැම තැනම විසි කරලා කියල …”

“මා වෙනුවෙන් ඔබේ අම්මට ස්තූති කරන්න, දරුවෝ,” සාෂා රහසින් පැවසුවේ ය. ඔහු ඉක්මණින් හැරී ‍වීදි කොනෙන් අතුරුදහන් විය. ඔහුගේ නිවසේ දොර අසල කළු ලිමොසීනයක් නවතා තියනවා ඇස් කොණකින් දකින්නට ඔහුට ඉඩක් ලැබුණි.

කොලරය ඔසවා ගත් ඔහු ඉක්මණින් ඇවිද්දේ ය. අවන්හලක් තුලට වැදි ඔහු දුරකතන ඇමතුමක් ගත්තේ ය. කර්කශ කටහඬින් නාඳුනන අයෙක් ඊට පිළිතුරු දුන්නේ ය. සාෂා කිසිත් නොකියා ඇමතුම විසන්ධි කළේ ය. ඔහුගේ මිතුරා අත් අඩංගුවට ගෙන ඇත.

එදා රාත්‍රියේ ඔවුන් රහස් රැස්වීමක් පවත්වන්නට යෙදුණි. කම්කරුවන් අතර වික්ෂෝහයක් සඳහා, නව මුද්රණාලයක් හරින්නට ඔවුන් සැලසුම් යොදා තිබිණ. තමාගේ කාමරයේ වූ සෝවියට්-විරෝධී පත්‍රිකා ගොන්න දකින රහස් පොලීසි ඒජන්තවරුන්ගේ මුහුණු සිහි වී සාෂාගේ මුහුණේ සිනාවක් ඇඳිණ. හෙට පෙට්රොගෑඩයේ කම්හල් වල දී ඒ පත්රිකා සියල්ල බෙදා හරින්නට කටයුතු යොදා තිබි බව මතක් වී ඔහු රැව්වේ ය.

ට්රෑම් රථයකට ගොඩ වූ ඔහු තවත් මිතුරෙකු ගේ නිවසක් බලා ගියේ ය. වීදි කොනින් හැරෙද්දී ඒ නිවසේ දොර අසල ද කළු ලිමෝසීනයක් නවතා ඇති ආකාරය ඔහු දුටුවේ ය. ඔහු එතැනින් ඉක්මණින් ඉවත් විය.

දුම්රිය නැවතුම් පොළක් වෙත ගිය ඔහු තවත් අංකයක් ඇමතුවේ ය. කවුරුත් පිළිතුරු දුන්නේ නැත.

ඔහු ඇවිද්දේ ය. හිම ගොහොරු මැද්දෙන් කකුල් අදිමින් ඔහු තවත් ලිපිනයක් කරා ගියේ ය. තම හිතවතාගේ කාමරයේ ජනේලයෙන් එළියක් නොපෙනුණි. එහෙත් වත්ත පිටුපස වැට අසල වැසිකිලි සුද්ද කරන්නාගේ භාර්යාව අසල්වැසියෙක් සමඟ උද්දාමයෙන් රහස් කියනවා ඔහුට දකින්නට ලැබුණි. ඔහු නිවස වෙත ගියේ නැත.

අත්වැසුම් නැති මිදී ඇති අත් වලට ඔහු පිම්බේ ය. තවත් එක ලිපිනයක් වෙත ඇවිද්දේ ය. ඔහු ඇස් යොමු කළ ජනේලයේ එළියක් පෙනිණ. එහෙත් ජනෙල් පඩියේ අමුතු තාලයක මල් පෝච්චියක් තිබිණ. අනතුරක් ඇතැයි අඟවන සලකුණක් හැටියට ඒ ඔවුන් කතාබහ කරගත් සංඥාව විය.

ඔහු තවත් ට්රෑම් පාරක ගමන් ගත්තේ ය. රෑ බෝ වී ඇත. ට්රෑම් රථයේ හිටියේ ඉතා සුළු පිරිසකි. එය මහත් එළියකින් දල්වා තිබිණ. ඊ ළඟ නැවතුම් පොලේ දී හමුදා නිල ඇඳුමක් පැළඳි පුරුෂයෙක් එයට ගොඩ විය. සාෂා එළියට බැස්සේ ය.

අඳුරු ලාම්පු කණුවකට හේත්තු වී ඔහු නළල පිස දා ගත්තේ ය. දිය වී යන හිමට වඩා සීතල වූ දහදියෙන් ඔහුගේ නළල පිච්චී යයි.

අඳුරු වීදියක ඉක්මණින් ඇවිද යද්දී පරණ ඩාර්බි තොප්පියක් හිස පැළඳ ගත් මිනිහෙක් පාරේ අනිත් පැත්තේ සංසුන් ගමනින් යනවා සාෂා දැක්කේ ය. ‍කොනක දී හැරුණු සාෂා, කඩපිල් දෙකක් පහු කළේ ය. නැවත හැරුනේ ය. තවත් කඩපිලක් පසු‍ කළේ ය. ආයෙත් හැරුනේ ය. ප්රවේසමින් ඔහු තමා උරහිසින් පිටුපස දිහා බැලුවේ ය. පරණ ඩාර්බි තොප්පිය දා ගත් පුරුෂයා ගෙවල් තුනකට එහායින් වූ පාමසියක ජනේලයකින් ඇතුලත දිහා බලාගෙන සිටියි.

සාෂා ගමන තවත් ඉක්මන් කළේ ය. වැහිච්ච ගේට්ටු වලට උඩින් කහ එළියෙන් අළු හිම වැටෙනා ලෙස පෙනුණි. වීදිය පාළුවට ගොසින් ය. තමන්ගේ පයට පෑගෙන මඩ හඬ හැරෙන්නට ඔහුට වෙනත් හඬක් ඇසුනේ නැත. නමුත් ඒ හඬට ඔබ්බෙන්, ඈතක ගැටෙන රෝද හඬ හා ඔහුගේ පපුවේ දඩිස් බිඩිස් හඬ අස්සෙන් හුස්මක් ගන්නා තරම් වූ මුදු හඬකින් ඔහු පසුපසින් එන කකුල් අද්දන සද්දය සාෂාට ඇසිණ.

ඔහු නැවතී ආපසු හැරී බැලුවේ ය. ඩාර්බි තොප්පිය දාගත් අය බිමට නැවී සපත්තු ලේස් ගැට ගහයි. සාෂා හිස ඔසවා වටපිට බැලීය. ඔහු හොඳින් දන්නා නිවසක් අසලට ඔහු පැමිණ තිබුණි. ඔහුට ගියේ තත්පරයකටත් අඩු කාලයකි. ඔහු වහාම දොරින් ඇතුලට ගොස් අඳුරු ඉස්තෝප්පුවක බිත්තියට හේත්තු වී සිටියේ ය. හුස්ම නොගෙන ඔහු දොර පියනේ වූ හතරැස් වීදුරු කෑල්ලෙන් පිටත බලාගෙන සිටියේ ය. ඩාර්බි තොප්පිය දමාගත් අය නිවස පහුකර යනවා ඔහු බලාගෙන සිටියේ ය. ඔහුගේ පියමන් හිම ගොහොරුව බිඳමින් ගොස්, ගමනේ වේගය අඩු වී, නැවතී, ආපසු එන හඬ සාෂාට ඇසිණ. හතරැස් වීදුරු කොටුව පසු කරමින් ඩාර්බි තොප්පිය අනිත් පැත්තට ගියේ ය. පියමන් හඬ කිරීස් කිරීස් ගා වැඩියෙනුත් අඩුවෙනුත්, එහාටත් මෙහාටත්, ළඟ පාතක වැදෙනා හඬ ඔහු අසා සිටියේ ය.

හඬ නොනඟා තරප්පු පෙළ නැඟ ගිය සාෂා‍ දොරකට තට්ටු කළේ ය.

අරීනා එය විවෘත කළා ය.

ඔහු ඇඟිල්ලක් තම තොල් මතට තබා රහසින් මැතුරුවේ ය: “වික්ටර් ගෙදර ද?”

“නැහැ,” ඇය හුස්මක් ඇද්දා ය.

“එයාගෙ නෝනා?”

“එයා නිදි.”

“මම ඇතුලට එන්න ද? ඔවුන් මා පසුපස එනවා.”

ඇය ඔහුව ඇතුලට ඇදගෙන කලබලයෙන් තොරව, කල්පනාවෙන් යුතුව ප්‍රවේසම් වන්නට මොහොතක් ඉඩ ගනිමින් දොර හිමින් වසා දැමුවා ය. එය වැසුනේ සද්දයකින් තොරව ය.

*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: