Sinhala story Blog

සැප්තැම්බර් 9, 2011

අපි ජීවත්වන්නෝ -279 රස්සාවක් නැති බුර්ජුවාසියෙක්

Filed under: Uncategorized — sinhalashortstories @ 6:02 පෙ.ව.

වික්ටර් ගෙදර ආවේ ය.

තම කබාය ගලවා ඇතුල් වන තැනම වූ පුටුවකට විසි කරමින් තම වරුසා සපත්තු ආවරණ කාමරයේ කොණකට විසි වන්නට පයින් ගැහුවේ ය. වරුසා සපත්තු ආවරණ වැදි කුඩ රඳවනය හඬ නඟමින් බිමට පෙරලී වැටිණ. එය අහුලන්නට වික්ටර් නතර නොවීය.

කෑම කාමරයේ, විවෘත කරගත් පොත් වෙළුම් ගොඩක් මැද මරීෂා වාඩි වී සිටියා ය. පැත්තකට හරවා ගත් ඔළුවකින් ඇය අවධානයෙන් යුතුව යමක් ලියයි. පැන්සලයේ අගිස්ස විකයි.

ජනේලය අසලින් අසුන් ගෙන සිටි වසිලි ඉවානොවිච් ලී පෙට්ටියක් අඹයි. ආසියා බිම වාඩි වී, කැඩුණු බඳුනක දමාගත් ලී කුඩු, අල පොතු හා සූර්යකාන්ත-ඇට පොතු මිශ්‍රණය කරයි.

“රෑ කෑම ලැහැස්ති ද?” වික්ටර් කඩා පැන්නේ ය.

මරීෂා තිගැස්සී නැඟිට වික්ටර් වටා තම අත් යවන්නට තැත් කළාය. “නැහැ, … හරියට ම හදල නැහැ, ඩාලිං,” ඇය සමාව ඉල්ලුවා ය. “අරීනා අවිවේකයෙන්. හෙට දෙන්න ඕන මේ නිබන්ධනය ලියන්න තියනවා මට සහ ..”

නොඉවසුම් සහගතව ඇයගේ දෑත් අහකට විසි කළ ඔහු පිට වී ගියේ දොර හඬ නඟා වසාගෙන ය. මඳ එළියෙන් වූ කොරිඩෝව පසුකර අරීනාගේ කාමරය වෙත ගිය ඔහු එහි දොරට තට්ටු නොකර එහි පියන් දෙපැත්තට විසි කරමින් හැරියේ ය. අරීනා ජනේලය අසල වූයේ සාෂාගේ තුරුලේ ඔහුගේ තොල් ඇයගේ තොල් මත තිබිය දී ය. “වික්ටර්!” කියා කෑ ගසමින් ඇය ඔහුගේ තුරුලින් අහකට පැන්නා ය. අවමානයෙන් සලිත වූ ඇයගේ වදන් හිර විණ. වදනක් නොදෙඩූ වික්ටර් ආපිට හැරී තමනට පිටුපසින් හඬ නැඟෙන සේ දොර වසමින් පිටත් වී ගියේය.

ඔහු නැවතත් කෑම කාමරයට පිවිසිණ. මරීෂා වෙත ගුගුලමින් කඩා පැන්නේ ය. “මොන යකෙක් ගහලා ද, ඇයි අපේ කාමරයේ ඇඳ හදලා නැත්තෙ? කාමරය හරියට ඌරු වළක් වගේ. ඔයා මොනව ද දවස තිස්සෙ කළේ?”

“ඒත් ඩාලිං,” ඇය පසුබට වූවා ය, “මම .. මම රබ්ෆැක් හිටියෙ, ඊට පස්සෙ ලෙනින් පුස්තකාලයේ රැස්වීමට ගියා, ඊ ළඟට මට මේ නිබන්ධනය තියනවා ලියන්න විදුලිකරණය ගැන හෙට සමාජයේ දී කියවන්න අවශ්‍ය, මම විදුලිකරණය ගැන එච්චර දන්නෙ නැහැ, ඒ නිසා මට කොච්චර කියවන්න තියෙනවා ද ඉතින් ..”

“යන්න ගිහින් ඔයාට මොනවා හරි ප්‍රයිමසයේ උණු කරන්න පුළුවන් ද බලන්න. ගෙදර ආවම මට කන්න දෙයක් තියෙයි කියල මම අපේක්ෂා කරනවා.”

“ඔව්, ප්‍රියාදරය.”

ඇය ඉක්මණින්, නොසන්සුන් ලෙසින්, තම පොත් පත් එකතු කරගත්තා ය. පපුවට පොත් ටික තද කරගනිමින් ඇය ඉක්මන් වෙද්දී, දොර අසල පොත් දෙකක් ඇද හැලුණි. නුහුරු ලෙසින් නැවී එය ඇහිඳ ගත් ඇය පිට වී ගියා ය.

“පියාණෙනි,” වික්ටර් ඇමතීය, “ඇයි ඔබ රස්සාවක් ලබා නොගන්නේ?”

වසිලි ඉවානොවිච් හෙමිහිට හිස ඔසවා ඔහු දෙස බැලුවේ ය.

“මොකද කාරණය, වික්ටර්?” ඔහු විමසීය.

“කිසිත් නැහැ. කිසිවක් ම නැහැ. එකම දේ ඒක හරි මෝඩකමක් රස්සාවක් නැති බුර්ජුවාසියෙක් විදියට ලියාපදිංචි වෙලා නිතරම සැකයට පාත්‍ර වෙලා ඉන්න එක.”

“වික්ටර්, අපි අපේ දේශපාලන අදහස් ගැන ගොඩ කාලයකින් කතාබහ කරල නැති වග ඔයා දන්නව. ඒත් ඔයාට අහන්න ඕන නම් -මම ජීවතුන් අතර ඉන්න කම් ඔයාගේ ආණ්ඩුවට වැඩ කරන්නෙ නැහැ.”

“ඒත් තාත්තෙ, සහතිකයෙන් ම, ඔයා තාම බලාපොරොත්තුවෙන් ඉන්නෙ …”

“මම මොනවා ද බලාපොරොත්තු වෙන්නෙ කියන එක පක්ෂ මිනිහෙක් එක්ක කතා නොකරන දෙයක්. ඔයාට වියදම් කරලා ඇති වෙලා නම් …”

“ඔහ්, නැහැ, තාත්තෙ, ඒක නෙමෙයි කිසිත් ලෙසකින්.”

කෑම කාමරය පහුකරගෙන සාෂා පිටත් වී ගියේ ය. ඔහු වසිලි ඉවනොවිච්ට අතට අත දුන්නේ ය. ඔහු ආසියාගේ හිස අත ගෑවේ ය. ඔහු වික්ටර් දිහා නොබලා, වචනයක් වත් කතා නොකර ගියේ ය.

“අරීනා, මට ඔයා එක්ක කතා කරන්න තියනවා,” වික්ටර් කීය.

“අර මොකට ද?” අරීනා ඇසුවා ය.

“මට ඕනා ඔයාට කතා කරන්න, -තනිවම.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: