Sinhala story Blog

සැප්තැම්බර් 8, 2011

අපි ජීවත්වන්නෝ -278 ඔයා ලෙනින්වාදී දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය සමිති සමාජයේ උප සභාපති

Filed under: Uncategorized — sinhalashortstories @ 8:56 පෙ.ව.

ඔවුන් කල්ලි ගැසුණහ.

රහසින් කොඳුරන්නට වූයේ උනන්දුවෙනි. අත්වලින් කටවල් වසාගෙන හඬ පිට වන්නට නොදී කෙකර ගෑහ. තනිවම ඉන්නා අයව ඇඟිලි දිගු කර රහසින් පෙන්වූහ. කොටු වලින් පිරි ජනේලයෙන් පිටුපස, අළු පැහැති අහස තද පැහැති නිල් පැහැයකට ‍හැරෙයි.

“සුබ පැතුම්, මිතුරා,” කවුදෝ පවෙල් සියරොව්ගේ උරහිසට තට්ටුවක් දැම්මේ ය. “මට අහන්න ලැබුණා ඔයා ලෙනින්වාදී දුම්රිය කම්කරුවන්ගේ වෘත්තීය සමිති සමාජයේ උප සභාපති හැටියට තේරී පත් වුනා කියල.”

“ඔව්,” නිහතමානීව සියරොව් උත්තර දුන්නේ ය.

“වාසනාව පතනවා, පවුලූෂා. ඔයා අපි හැමෝටම අනුගමනය කරන්න හොඳ හැදියවක් පෙන්වන්නවා. පක්ෂ සුද්ද කිරීම් ගැන ඔයාට බය වෙන්න අවශ්‍ය නැහැ.”

“මම හැම තිස්සෙ ම මගේ පක්ෂ ළැදියාව සැකයක් ඇති නොවෙන ඉහළකින් තියාගන්න වෑයම් කරලා තියෙන්නෙ.” සියරොව් කීවේ නිහතමානීව ය.

“කියන්න, හිතවතා, ඔන්න බලන්න, තව සති‍ දෙකක් තියනවා ලබන මාසයට. මට … මට .. ඉතින් .. මට පොඩ්ඩක් මුදල් ඕන කරලා තියනවා .. ඉතින් .. ඒක … මම හිතුවා .. සමහර විට ..”

“සහතිකයෙන් ම,” සියරොව් තම පසුම්බිය අරින ගමන් කීවේය, “සතුටෙන් කරන්නම්.”

“ඔයා කවදාවත් යාළුවෙක් ව අමතක කරන්නෙ නැහැ, පවුලූෂා. අනික ඔයාට හැම තිස්සේ ම ඇති තරම් ..”

“මගේ පඩියෙන් සකසුරුවමින් ඉන්නවා විතරයි,” සියරොව් කීවේ නිහතමානීව ය.

සෝනියා සහෝදරිය ඇයගේ කොට අත් වනන්නී ය. ඇය පිටුපසින් උනන්දුවකින් එන පිරිසක් යට කරගෙන එන්නට ඇය තැත් දරන්නී ය. ඇය ඔවුන් වෙත කඩා පනියි: “සමාවෙන්න, සහෝදරයා, ඒක කෙසේවත් කරන්න බැහැ … ඔව්, සහෝදරයා, මම කැමැත්තෙන් ඔබට හමුවීමක් ලබා දෙන්නම්. සෙනොට්ඩෙල් හි මගේ ලේකම්ට කතා කරන්න … මගේ උපදෙස අනුගමනය කිරීම බුද්ධිමත් බව ඔයා හොයා ගනීවි, සහෝදරිය … ඔයාගෙ වටරවුමට මම කතා කරන්න සතුටුයි, ඒත් කණගාටුයි කියන්න ඒ පැයේ දී ම මම රබ්ෆැක් සමාජයේ කතාවක් පවත්වනවා…”

රැස්වීමේ කතාව පැවැත් වූ රැවුලකින් යුතු කථිකයා පැත්තකට ඇදගත් වික්ටර් උනන්දුවකින්, ඒත්තු ගන්වමින්, ඔහුට රහසින් කතා කරයි: “සහෝදරයා, මගේ ඩිප්ලෝමා සහතිකය මට විද්‍යාතනයෙන් ලැබිලා සති දෙකක් ගිහින් … සම්පූර්ණ ඉංජිනේරුවෙකුට මට දැන් තියෙන රැකියාව ප්‍රමාණවත් නැති බව ඔයාට වැටහෙනවා නේද .. ඉතින් ..”

“මම දන්නවා, ඩුනේව් සහෝදරයා, මම දන්නවා ඔයා කැමති තනතුර මොකක්ද කියලා. පුද්ගලිකව මම කියන්න කැමතියි, වෙන ඒ තනතුර පුරවන්න හොඳ අයෙක් ව මා දන්නේ නැහැ කියල. මගේ හිතවතිය වන මරීෂා ලැව්රෝවාගේ සැමියා වෙනුවෙන් මට පුළුවන් ඕනෑම දෙයක් කරන්න මම සූදානම්. ඒත් ..” ඔහු තම අඬු නැති කණ්ණාඩියට උඩින් පරීක්ෂාකාරීව වටපිට බැලුවේ ය. වික්ටර් වෙත ළං වූයේය. හඬ පහත් කරමින් “ඔයයි මායි අතර මේ, සහෝදරයා, ඔයා යන මාර්ගයේ දැවැන්ත බාධකයක් තියෙනවා. වර්තමානයේ දී ජනරජය බාරගත් මහත් ආශ්චර්යමත් කර්තව්‍ය තමයි ජලවිදුලි බලාගාර ව්යානපෘතිය. ඒකට සම්බන්ධ රැකියා සේරම දෙන්නෙ මහත් ප්‍රවේසමකින් යුතුව නිසා ..” ඔහුගේ හඬ තවත් පහත් විය, “ඩුනේව් සහෝදරයා, ඔයාගේ පක්ෂ වාර්තාව අතිවිශිෂ්ඨයි, ඒත් ඔයා දන්නවා නේ ඒක කොහොම ද කියා, සැක කරන්න හුරු වෙච්ච අය තවම ඉන්නවා, ඉතින් … අවංකව ම, මට ඇහිලා තියෙනවා අතීත සමාජ තත්වය .. ඔයාගේ තාත්තයි ඔයාගෙ පවුලේ අයයි, ඔයා දන්නවානෙ … ඒත් ඉතින් බ‍ලාපොරොත්තු නැති කරගන්න එපා. මම කරන්න පුළුවන් දෙයක් කරලා දෙන්නම් ඔයාට.”

හිස් වී යන පුටු පෙළක් අතර අන්ද්‍රෙ ටැගනොව් සිටගෙන සිටියේ ය. හෙමිහිට ඔහු තම හම් කබායේ බොත්තම් පියවයි. කථිකාසනයට උඩින් වූ තද රතු පැහැති බැනරය දිහා ඔහුගේ නෙත් යොමු වී තිබිණ.

ඔහු පිටත් වී යද්දී, පඩිපෙළ මුදුනේ දී, සෝනියා සහෝදරිය ඔහුව නවත්තා ගත්තා ය.

“ඉතින්, ටැගනොව් සහෝදරයා,” ඇය මහ හඬින් විචාලා ය. හඬ ඇසුනු අනිත් අය හැරී ඔවුන් දෙස බැලූහ. “කතාව ගැන ඔබ මොකක් ද හිතුවේ?”

“ඒක සවිස්තරාත්මකයි,” අන්ද්‍රෙ පිළිතුරු දුන්නේ හෙමිහිට ය, සියළු වචන පැහැදිලිව උච්චාරණය කරමිනි. හඬ නොවෙනස් කරමින් ය. යකඩ වලින් හැදූ ධාන්‍ය ඇට පෙරළෙන විදියට ය.

“ඔබ කථිකයා හා එකඟ වෙන්නෙ නැද්ද?”

“මම කැමැති ඒ ගැන කතා නොකරන්නට.”

“ඔහ්, ඕන වෙන්නෙ නැහැ ඔබ‍ට,” ඇය සතුටු සිනාවක් පා කීවා ය, “ඕන වෙන්නෙ නැහැ ඔබට. මම දන්නවා -අපි දන්නවා- ඔබ හිතන්නෙ කුමක් ද කියා. ඒත්, මම කැමති මේ ප්‍රශ්නයට ඔබේ උත්තරය දැන ගන්නටයි: ඇයි ඔබ හිතන්නේ ඔබගේ සිතුවිලි වලට ඔබට අයිතියක් ඇතැයි කියා? සාමූහිකත්වයේ වැඩිපුර මනාපයට එරෙහිව යමින්? නැත්නම් වැඩිපුර දෙනාගේ කැමැත්ත ඔබට ඇති ද, ටැගනොව් සහෝදරයා? නැත්නම් ටැගනොව් සහෝදරයා ඒකීය පුද්ගලයෙක් වෙන්න හදනවා ද?”

“මට ගොඩක් සමාව දෙන්න, සෝනියා සහෝදරිය, ඒත් මට ඉක්මණින් යන්න ඕන.”

“මට ඒ ගැන ගැටළුවක් නැහැ, ටැගනොව් සහෝදරයා. මට කියන්න දෙයක් ඉතිරි‍ වෙලා නැහැ. පොඩි උපදේශයක් විතරයි. යාළුවෙක් ගෙන්. තමන් පක්ෂයට වඩා දක්ෂ යැයි සිතනා අයට ඉදිරියේ දී විය හැකි දේ ගැන පැහැදිලිව කතාවේ දී කිව්ව බව මතක තියා ගන්න.”

අන්ද්‍රෙ පඩිපෙළ බැස ගියේ හිමිහිට ය. පරිසරය අඳුරින් වෙළී ඇත. ඈතකින් වු බිම් මහලේ නිල් පැහැයෙන් වූ මඳ දීප්තියකින් ඔප දැමූ ගරුඬ බිම පෙනේ. දිගු ජනේලයෙන් එපිටත වූ වීදි ලාම්පුවෙන් එන එළිය නිල් කොටුවකින් වූ දීප්තියක් කොටු ජනේලයෙන් ගෙනැවිත්, තරප්පු පෙළ ළඟ වූ බිත්තියේ ද පතුරුවා හරියි. බිත්තියේ පහළට රූ රා හැලෙන වතුර බිංදු වල සෙවනැලි වැටේ. අන්ද්‍රෙ තරප්පු පෙළ බැස්සේ ය. ඔහුගේ සිරුර හීන්දෑරී ය. කෙළින් ය. කළබලයෙන් තොර ය. ස්ථිර ලෙසකින් යුතු ය. ශතක ගණනාවකට ඉහත දී රෝමන්වරුගේ සටන් වස්ත්‍ර හැඳි සිරුරක් වැනි ය. එහි අද වූයේ හම් කබායකි. එහි දිගු අඳුරු සෙවනැල්ල නිල් පැහැති එළියෙන් වූ කොටුව සහ බිත්තියේ වූ වතුර බිංදු සෙවනැලි පසු කරමින් හරහට වැටී හිමිහට ඇදී ගියේය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: