Sinhala story Blog

සැප්තැම්බර් 7, 2011

අපි ජීවත්වන්නෝ -277 ලෝකයේ නිදහස් අරගලයේ නියමුවා එක්සත්-වෘත්තීය ‍කොමියුනිස්ට් පක්ෂයයි!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:24 පෙ.ව.

VI

“සහෝදරවරුනි! සමාජවාදී සෝවියට් එක්සත් ජනරජයන් වට කරගෙන රවුමකින් සෑදී ඉන්නේ එහි කඩා වැටීම බලාගෙන, ඒ වෙනුවෙන් කුමන්ත්‍රණ කරන එදිරිවාදීන් ය. නමුත් ඕනෑම බාහිර හතුරෙක්, ඕනෑම ලෝක අධිරාජ්‍යවාදී සාහසික කුමන්ත්‍රණයක් වගේ ම අනතුරුදායක වෙන්නේ අපේ පේළි අතරේ ඉන්නා අපි හා එකඟ නොවෙන අභ්‍යන්තර හතුරන් ය.”

සරත් අහස අළු පැහැයෙන් වූ හිස් බවකින් යුතු ය. අහස නොපෙනෙන්නට ජනේල හතරැස් එකතු වී හැදෙන දිගු ජනේල වැසී ඇත. අඳුරු බොකු වහලට දුවන ලා පැහැති රත්තරන් කුළුණු ඉහළට ඇදී යයි. ආගමික පිළිරූ වල ඇති තැන්පත් ගතියෙන් වූ ලෙනින්ගේ ඡායාරූප පහක්, පහත ඉන්නා රතු ලේන්සු හැඳගත්, හම් කබා පැළැඳ ගත්, නොසෙල්වෙන පිරිස දිහා බලාගෙන ය. උස කථිකාසනයේ, හරියට උස සිහින් පන්දමක අගිස්ස වැන්නක් ශාලාව ඉදිරියේ තබා ඇත. කථිකාසනයට ඉහළින්, හරියට උස පන්දමේ දැල් සිවිලිම දක්වා දුවන ලෙසකින්, තද රතු වෙල්වට් බැනරයක් රත්තරන් අකුරෙන් ලියා ඇත: “ලෝකයේ නිදහස් අරගලයේ නියමුවා එක්සත්-වෘත්තීය ‍කොමියුනිස්ට් පක්ෂයයි!” ශාලාව එක්තරා දිනයෙක මාලිගාවක් විය; එය පන්සලක් මෙන් පෙනිණ; එහි වූ අය හමුදාවක් මෙන් පෙනිණ, දැඩි වූ, නිහඬ හා සීරුවෙන් සිටගත්, අණ ලැබෙන තෙක් ඉන්නා අයයි. එය පක්ෂ රැස්වීමකි.

කථිකාසනයේ හිටගත් කථිකයෙකි. ඔහුට කුඩා කළු රැවුලක් තිබුණි. හිරු බැස යන සැන්දෑවේ ඔහුගේ අඬු නැති කණ්ණාඩි කුට්ටම දිළිසෙයි; ඔහු කුඩා දෑත් වලින් යුතු දිගු අත් වැනුවේ ය. ඔහු ඉදිරියෙන් වූ ශාලා‍වේ කිසිවක් හෙලවුනේ නැත. වැසි බිංදු හෙමිහිට ජනෙල් පියන් මතින් වැටී පෙරළී යනවා ඇසුණි.

“සහෝදරවරුනි! පසුගිය වසර තුල දී අළුත් භයානක උවදුරක් අප අතරින් වර්ධනය වෙනවා. මම ඒකට කියන්නේ අත්‍යුත්කෘෂ්ටයන් වැඩි නිසා වන උවදුරක් කියා ය. ඒ රැවටිල්ලට ගොදුරු වූවන් කියනා පැමිණිලි අප අසා ඇත. ඔවුන් කෑ ගහන්නේ කොමියුනිස්ට්වාදයට වැරදී ඇතැයි කියා ය. අපේ මූල ධර්මයන් අප පාවා දී ඇතැයි කියා ය. අපේ නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දීමත් සමඟ කොමියුනිස්ට් පක්ෂය පසුබසිනවා යැයි කියා ය. දැන් අපේ රට පාලනය කරන පුද්ගලික ලාභ උපයන්නන් ඉදිරියේ පළා යනවා කියා ය. ඔවුන් කියන්නේ අපි බලය අල්ලා ගෙන ඉන්නේ බලය අල්ලාගෙන සිටිනු පිණිස පමණක් යැයි කියා ය. අපේ උත්කෘෂ්ටයන් අපට අමතක වී ඇතැයි කියා ය. එවැනි කණ්දොස්කිරියාවන් නැඟීම ප්‍රායෝගික සත්‍යයට මුහුණ දෙන්නට නොහැකි දුර්වලයන්ගේ හැදියාවයි. අපිට හමුදා කොමියුනිස්ට්වාදය අත් හරින්නට සිද්ධ වූ බව සත්‍යයකි. එය අපව සම්පූර්ණ අහේනියක් කරා ගෙන ගියා. පුද්ගලික ව්‍යාපාරිකයන්ට නොයෙකුත් සහන සලසන්නට සිද්ධ වූ බව ඇත්ත. ඉතින් මොකද? පසුබැස්මක් යනු පරාජයක් නොවේ. තාවකාලික සම්මුතියකට එළඹීම යටත් වීමක් නොවෙයි. අපිට ද්‍රෝහී වූයේ පිටරට වල හිටපු කොන්ද පණ නැති, කෙළින් හිටගන්න බැරි, තමන්ගෙ බුර්ජුවාසී අයිතිකරුවන්ට කත් අදින, තව දුරටත් කත් අදිමින්, වැඩ කරන කම්කරුවන්ව විකුණපු බෙලහීන සමාජවාදීන්. ලෝක විප්ලවය, ලෝකයේ පිරිසිදු කොමියුනිස්ට්වාදය පැතිරීම පොඩ්ඩක් ප්‍රමාද කරන්න සිද්ධ වෙලා. අපිට, ඒ නිසා, සම්මුතියකට එකඟ වෙන්න සිද්ධ වුනා. ටික කාලයකට පමණක්. අපේ පිරිසිදු කොමියුනිස්ට් න්‍යායයන් පැත්තකට දාලා ‍මහ පොළවට බහින්න වුනා. අපිට එහෙම කරන්න සිද්ධ වුනේ නීරස වූ ආර්ථික ප්‍රතිසංස්කරණයට. සමහරු හිතනවා ඇති ඒක හෙමින් යන, මොට්ට, උද්දීපනයක් ඇති නොකරන පිළිවෙතක් කියා. නමුත් පක්ෂ හිතෛෂී කොමියුනිස්ට්වාදීන් දන්නවා අපේ නව ආර්ථික පෙරමුණේ තියන වීර ශ්‍රී විභූතිය. පක්ෂ හිතෛෂී කොමියුනිස්ට්වාදීන් දන්නවා අරගලයක අගය. අපේ සලාක පත්‍ර වල වැදගත්කම. අපේ ප්‍රයිමසයේ වටිනාකම. අපේ සමූපාකාර පෝලිම් වල ප්‍රයෝජනය. අපේ විශිෂ්ඨ නායකයා, ලෙනින් සහෝදරයා, එයාගේ සාමාන්‍ය දූර දර්ශී භාවයෙන්, එයා අපිට වසර කිහිපයකට පෙර අවවාද කළා ‘අති උත්කෘෂ්ටවාදී’ වීමේ අවදානම ගැන. ඒ අනතුරුදායක දුර්මතයෙන් අපේ සමහර හොඳම මොළ කිහිපයක් අන්ධ වෙලා. අපේ මුල් ම නායකයෙක් වූ -ලියොන් ට්‍රොට්ස්කි ඒක නිසා අපෙන් ඈත් වෙනවා. අද අපි කොමියුනිස්ට්වාදයට ද්‍රෝහී වූවා යැයි චෝදනා කිරීමෙන් ඔහුට ගැලවෙන්න බැහැ කොච්චර තරම් කම්කරුවන් වෙනුවෙන් ඔහු අතීතයක දී මෙහෙයන් රැසක් කර තිබුණත්. අපේ නායකයෝ අතරින් ඔහුගේ අනුගාමිකයෝ පිටුවහල් කරලා තියෙන්නෙ. ඒකට තමයි අපිට පක්ෂ සුද්ද කිරීම් කරන්න වෙන්නෙ. ඒක නිසා ම තමයි ඉදිරියට ත් අපිට පක්ෂ සුද්ද කිරීම් අවශ්‍ය වෙන්නෙ. අපේ පක්ෂය විසින් අණ කරන වැඩ පිළිවෙල පරම විනයකින් යුතුව අකුරට ම පිළිපදින්න අපි සූදානම් වෙන්න ඕන. බුර්ජුවාසී ඒකීය පුද්ගලවාදයෙන් තමන්ගේ හදවතට අනුව, තමන්ගේ පුද්ගලික මතය අනුව, පුංචි සැකයන් අනුව වැඩ කරන අය අනුගමනය කරන්න අවශ්‍ය නැහැ. තමන් හිතන විදිය හරි යැයි කියා ආත්මාර්ථකාමී වූ, පරණ තාලේ ආඩම්බරයකින් වැඩ කරන අය අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය පොඩ්ඩක් සම්මුතියකට එළඹෙන්න බිය නොවන අය. යකඩ වගේ නොනැමෙන, නහයට අහන්නෙ නැති කොමියුනිස්ට්වාදීන් අපට අවශ්‍ය නැහැ. නව කොමියුනිස්ට්වාදීන් රබර් වගෙයි! උත්කෘෂ්ටවාදය, සහෝදරවරුනි, තරමට පමණින් සුදුසු වූවක්. වැඩියෙන් තිබීම හරියට හොඳ පරණ වයින් වැඩියෙන් තියෙනවා වගේ තමයි; ඒකෙන් හොඳ සිහිය නැතිවෙනවා. ඉතින් මේක අනතුරු ඇඟවීමක්, තවමත් පක්ෂයේ රැඳී ඉන්නා රහසින් ට්‍රොට්ස්කි හිතවාදියෙක් වූ ඕනෑම කෙනෙකුට. ඊ ළඟ පක්ෂ සුද්ද කිරීමේ පොරවෙන් ගැලවෙන්න බැහැ කිසිම අතීතයේ කරපු සේවයකින් හෝ පරණ වාර්තාවකින්. ඔවුන් ද්‍රෝහියෝ. ඔවුන් ව පන්නා දමනවා. ඔවුන් කවුරු වුවත් කමක් නැහැ. ඔවුන් අතීතයේ කොපමණ සේවයක් කළා දැයි ද සැලකෙන්නෙ නැහැ!”

කාල ගෝට්ටියකින් යුතුව අත්පොළසන් හඬ වැදිණ. නොසෙල්වී සිටගත් හම්කබා හැඳි කළු පේලි සෙලවෙන්නට ගති. පිරිමි නැඟිට්ටහ. රැස්වීම අවසන් විය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: