Sinhala story Blog

සැප්තැම්බර් 1, 2011

අපි ජීවත්වන්නෝ -273 අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු

Filed under: Uncategorized — sinhalashortstories @ 9:19 පෙ.ව.

“මගේ ප්‍රියාදර හිත මිතුරනි,”

වික්ටර්ගේ වදන් පැහැදිලි ය, ඔහුගේ උණුසුම් අනුන් නතු කරගන්නා කටහඬ ජවයෙන් ප්‍රමුදිත ය, “මගේ ජීවිතයේ මේ වැදගත් දවසේ ඔබ සැවොම මට දක්වන කරුණාවට ස්තූති පූර්වක බව විස්තර කරන්න මට වචන නැහැ. මගේ හදවතට සමීප වූ ප්‍රියාදරයෙක් වෙනුවෙන් සව්දිය පතන්නට අපි එකතු වෙමු, ඥාතියෙක් පමණක් නෙවෙයි, ප්‍රශස්ත උදාහරණයක් සංකේත කරන මිනිහෙක්, අප වැනි තරුණ විප්ලවවාදීන් අපේ ජීවිතයේ කම්කරුවන් සඳහා සේවය පටන් ගන්නා අවදියේ සිටිය දී, ඒ අරමුණ වෙනුවෙන් ජීවිතය කැප කළ අයෙක්, සාර්ගේ කෲර පාලනයට එරෙහි ව නිර්භීතව නැඟී සිටියෙක්, තම ජීවිතයේ හොඳම කාලය සයිබීරියාවේ හිම අතර කැප කළ අයෙක්, ජනතා නිදහස නැමති උදාර අරමුණ වෙනුවෙන් සටන් වැදි අයෙක්. ඉතින්, ඒ අරමුණ අපි හැමෝගේ ම අත්‍යුත්කෘෂ්ටය නිසා, ඒක සෑම පුද්ගලික සතුටු සිතුවිලි වලට වඩා වැදගත් නිසා, අපි අපේ පළමු සව්දිය උගුර බොමු ශ්‍රමික-පිටිසරවැසි සෝවියට් ජයග්‍රහණයේ පළමු සටන්කරුවෙකුට, මගේ ආදරණීය මාමණ්ඩියට, ගිලෙබ් ඉලියිච් ලැව්රොව්!”

හඬ නැඟෙන ලෙසින් දෑත් එකට වැදිණ. වීදුරු ගැටෙමින් ඉහළට එසවිණ. හැම දෙනාගේ ම දෑස් කොණක වාඩි වී සිටි කුදු වී ගිය වැහැරුණු සිරුරින් යුතු මරීෂාගේ පියා සෙමෙන් නැඟිටින දෙස යොමු වූහ. ලැව්රොව් තම වීදුරුව අල්ලා ගෙන ය. එහෙත් ඔහුගේ මුහුණේ සිනාවක් නැත. ඔහුගේ නහර ඉල්ලිපුන අත නිහඬතාවය ඉල්ලී ය. ඔහු කතා කළේ සෙමින් ය. ස්ථිර ලෙස ය. හඬ එක සේ පවත්වා ගෙන ය:
“තරුණ පෝතකයන් වන ඔබලා මේ අහන්න, මම සයිබීරියාවේ වසර හතරක් ගෙව්වා. මම එහෙම ගෙව්වෙ මම සාගතයෙන් හිටපු, රෙදිකඩමාලු ඇඳගෙන හිටපු, බූට් සපත්තු වලට පෑගිච්ච මිනිස්සු දැක්ක නිසයි. මම ඉල්ලුවේ නිදහසයි. මම තාම දකිනවා සාගතයෙන් ඉන්න, රෙදිකඩමාලු ඇඳ ගත්ත, බූට් සපත්තු වලට පෑගෙන මිනිස්සු. එකම වෙනස දැන් බූට් සපත්තු රතු පාටයි. මම සයිබීරියාවට ගියෙ පාලන බලයෙන් මත් වෙච්ච පිස්සු වැටිච්ච, ලේ පිපාසයෙන් ඉන්න කල්ලි වලට වෙන කවදා වත් නැති විදියට මිනිස්සු තලා පෙලා දාන්න ඉඩ දෙන්න නෙවෙයි. ඒ මිනිස්සු අද අත්විඳින්නේ කිසිම සාර් කෙනෙක් ගෙ කාලයක අත් වින්ඳෙ නැති නිදහස කප්පාදුවක්! ඔබලා කැමති තරමක් බී ගන්න, ඔබලාගේ මෝඩ මොළයේ අන්තිම සිහිකල්පනාවත් නැති වෙන්න බොන්න, ඔබ කැමති දේකට‍ බොන්න. ඒත්, සෝවියට්ස් යැයි කියා බොද්දී මා වෙනුවෙන් නම් බොන්න එපා!”

කාමරය සම්පූර්ණයෙන් නිහඬ විය. හදිසියේ ම පුරුෂයෙක් හඬ නඟා සිනා වූයේය. ඒ සිනාව දෝංකාරය දෙන්නකි, ශබ්දය පැතිර යවන්නකි. ඒ අන්ද්‍රෙ ටැගනොව් ය.

උඩ පැන්න පවෙල් සියරොව් තම අත වික්ටර්ගේ කරවටා යවමින් තම වීදුරුව වනමින් කෑ ගැසුවේ ය: “සහෝදරවරුනි, කම්කරුවන් අතර ද ද්‍රෝහියෝ ඉන්නවා! අපි බොමු පක්ෂපාතී වූවන් වෙනුවෙන්!”

ඉන් අනතුරුව මහත් ශබ්ද ඝෝෂාවක් පටන් ගැනිණ. පමණට වඩා සද්දයෙන් වීදුරු ගැටිණ. කට හඬවල් ඉහළ ගියේය. අත් වලින් උරහිස් වලට තට්ටු වැදිණ. හැමෝම එකවර කෑ ගැසූහ. කවුරුත් ලැව්රොව් දිහා බැලුවේ නැත.

ඔහු අසලට ගිය එකම පුද්ගලයා වසිලි ඉවානොවිච් පමණි. සෙමෙන් ලැව්රොව් අසලට ගිය වසිලි ඉවානොවිච් ඔහු ‍දිහා කෙළින් බලා ගෙන සිටියේ ය. ඔවුන් ඇස් මුණ ගැසුණි. තම වීදුරුව ඉදිරියට ගනිමින් ඔහු මෙසේ පැවසුවේ ය: “ඔයා ඒ දෙන්නා සතුටින් කල් ගෙවයි යැයි සිතුවේ නැතත්, මා ද එසේ සිතුවේ නැතත්, අපේ දරුවන්ගේ සතුට වෙනුවෙන් අපි සව්දිය පුරමු.”

ඔවුන් දෙදෙන බිව්වහ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: