Sinhala story Blog

අගෝස්තු 29, 2011

අපි ජීවත්වන්නෝ -270 මම එයාට ගොඩක් ආදරෙයි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:14 පෙ.ව.

ලාම්පුවක් යටින් කාමරයේ කොණක අසුන් ගත් වසිලි ඉවානොවිච් සිටියේ තනිවම ය.

ලාම්පු ආවරණයේ වූ රෝස පැහැති සැටින් මතින් ගලා ආ එළියෙන් ඔහුගේ සුදු කොණ්ඩය රෝස පැහැයෙන් දිස්වුණි. පතුල් අද්දමින් ඇවිදින කකුල් දෙස, තරුණ කොමියුනිස්ට්කාරයන්ගේ මිලිටරි බූට් සපත්තු දෙස, ලිඩියාගේ බෙල්ලේ කළු වෙල්වට් පටියකින් එල්ලෙන රත්තරන් කුරුසිය දෙස, තරප්පු පෙළ මතින් සිවිලිමට ඇදෙනා මෘදු වූ ද, රවුම් වලින් යුතු වූ ද, නිල් පැහැති දුමාරය හරියට විනිවිද පෙනෙන මිශ්‍රණයක් ලෙසින් උණු වෙනවා සේ පෙනෙන හැටි දෙස ඔහු බලා සිටියි.

කීරා පැමිණ ඔහු අසලින් වාඩි ගත්තා ය. ඔහු ඇයගේ අතට තට්ටුවක් දමා කිසිත් නොකීවේ ය. ඇය දන්නා බව ඔහු දනියි. ඔහු නොකියූ සිතුවිලි හඳුනා ගත් ඇය හා කතාව මැදකින්, මෙවර වදනින් පවසමින්, නැවත පටන් ගත්තේ ය. “ .. මම එතරම් අකමැත්තක් දක්වන එකක් නැහැ අඩු ගානේ ඇයට ඔහු ආදරය කරනවා නම්. ඒත් ඔහුට ආදරයක් නැහැ … කීරා, ඔයා දන්නවා, එයා පුංචි කාලේ ඒ ලොකු කළු ඇස් වලින් යුතු පැංචෙක් වගේ ඉන්න කොට, මට මතකයි මගේ පාරිභෝගිකයෝ. එයාල අර අධිරාජිනියගේ පින්තූර වල වගේ කාන්තාවෝ. මම එතකොට කල්පනා කළා එයාල අතරින් කවුදැයි කියා කොහේ දෝ හරි තැනක හැදෙන වැඩෙන, කවදා හෝ මගේ දුව වෙන්න ඉන්න රූමතියගේ අම්මා කියා … ඔබට මරීෂාගේ දෙමව්පියන් මුණ ගැසී තිබෙනවා ද, කීරා?”

ගලීනා පෙට්‍රොව්නා විසින් ලියෝව සංවාදයට අල්ලා ගෙන තිබුණි. ඇය උද්‍යෝගීමත් ලෙසින් “හරි ම සතුටක් ඔයා සාර්ථකයි කියා දැන ගන්නට ලැබීම ගැන, ලියෝ. මම හැම තිස්සෙ ම කිව්වෙ ඔයා වගේ දක්ෂ තරුණයෙක් ට කිසිම කරදරයක් නැහැයි කියල. අර කීරා හැඳගෙන සිටින ගවුම මහේශාක්‍යයයි. මට හරි ම සතුටක් ඔයා මගේ පුංචි කෙල්ල බලා ගන්නා බව දන්න නිසා …”

රතු කෙස් කළඹින් යුතු රීටා එක්ස්ලර් අසුන් ගත් පුටුවේ ඇන්දක වික්ටර් වාඩි ගෙන ය. ඔහු ඇය වෙත සමීපයෙන් නැඹුරු වී ඇයගේ තොල් අතර රැඳි සිගරැට්ටුව තම සිගරැට්ටුවෙන් දල්වා දුන්නේ ය. රීටා විසින් තම තෙවැනි සැමියාව දික්කසාද කර ඇත්තේ ඊයේ පෙරේදා ය. දිගු රතු කෙස් රොදවල් යටින් ඇස් සිහින් කරමින් රහස්‍ය වූ උපදෙස් ඇය කොඳුරයි. ඔවුන් සෙමෙන් සිනාසුනහ.

අඟර දඟර පාන්නට ගත් අසාර්ථක වෑයමකින් මරීෂා ඔවුන් අසලට පැමිණ වික්ටර්ගේ අත බයාදු ලෙසින් අල්ලා ගත්තේ ය. ඔහු අත ගස්සා ඉවතට ඇද ගත්තේ ය. “අපිට අපේ අමුත්තෝ අමතක කරලා දාන්න බැහැ, මරීෂා. බලන්න, අන්න සෝනියා සහෝදරිය තනිවම. ගිහින් ඇයට කතා කරන්න.”

කීකරු ලෙසින් මරීෂා ඊට අවනත වූවා ය. පිට කරන ලද සිගරැට් දුමාරය අස්සෙන් රීටාගේ බැල්ම ඇය යන අත දිව ගියේය. තම කෙටි සාය උඩට අදිමින් රීටා ඇයගේ සිහින් දිගු කකුල් එකක් උඩ එකක් දමා ගත්තේ ය.

“සහතිකයෙන් ම,” අන්තිම බලධාරීයා සතු වන කටහඬකින් සෝනියා සහෝදරිය කිසිත් හැඟීමකින් තොර ලෙසින් කියයි, “මට කියන්න බැහැ මට සුබ පතන්න පුළුවන් යැයි කියා ඔබේ තෝරා ගැනීම ගැන, ලැව්රෝවා සහෝදරිය. සත්‍ය කම්කරුවෙක් තමන්ගේ පංතියෙන් පිටතින් විවාහ වන්නේ නැහැ.”

“ඒත්, ‍සෝනියා සහෝදරිය,” මරීෂා තක්බීරි වී විරෝධය පෑවා ය, “වික්ටර් පක්ෂ සාමාජිකයෙක්.”

“මම හැම තිස්සෙ ම කියා ඇත්තෙ පක්ෂයට බඳවා ගන්න රීතින් අවශ්‍ය තරම් දැඩි නැහැයි කියල,” සොනියා සහෝදරිය කීවා ය.

රැස්ව සිටි අමුත්තන් මැදින් ප්‍රතික්ෂේප වී ගිය ලද්දෙක් ලෙසකින් මරීෂා ඇවිද ගෙන ගියා ය. කවුරුත් ඇය දෙස බැලුවේ නැත. ඇයට කියන්නට කිසිත් දැයක් ද නොවී ය. කෑම රාක්කය අසල වසිලි ඉවානොවිච් තනිවම බෝතල් හා වීදුරු පෙළට තබමින් සිටියි. ඔහු වෙත පැමිණි ඇය පසුබෑමකින් යුතුව සිනාවක් පෑවා ය. ඔහු ඇය දෙස බැලුවේ පුදුමයෙනි. ඉතා ඉක්මණින්, තම වදන් හා දුවමින්, මුහුණ රතු කරගනිමින්, සිතා නොබලා ඇය කීවේ “මම දන්නවා ඔයා මට කැමති නැහැ කියල, වසිලි ඉවානොවිච්. ඒත්, ඔයා බලන්න, මම … මම එයාට ගොඩක් ආදරෙයි.”

වසිලි ඉවානොවිච් ඇය දෙස බැලුවේ ය. අනතුරුව කිසිත් හැඟීමක් නැති කටහඬකින් “ඒක හරි හොඳයි, දරුවා,” යැයි කීවේ ය.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. නියමයි!

    ප්‍රතිචාර විසින් ඉන්දික — අගෝස්තු 29, 2011 @ 10:06 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: