Sinhala story Blog

අගෝස්තු 29, 2011

අපි ජීවත්වන්නෝ -269 තමන් දෙදෙනාට පමණක් හිමි රහසක්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:51 පෙ.ව.

වික්ටර් ඇය වෙතින් ගැල වී ගිය විටෙක ගලීනා පෙට්‍රොව්නා තට්ටු කළේ වසිලි ඉවා‍නොවිච්ගේ උරහිසට ය.

“මට හරි සතුටයි, මට හරි ම සතුටුයි, වසිලි. ඔයාට ඉන්නවා ආඩම්බර විය හැකි පුතෙක්,” යැයි නැවත නැවතත් කියමිනි. වසිලි ඉවානොවිච් හිස වැනුවේ එය ඔහුට නොඇසුන ලෙසකිනි.

කීරා ඇතුල් වූ කල ඇය දැකි ප්‍රථම පුද්ගලයා වූයේ තනිවම ජනේලයක් අසල හිටගෙන සිටි අන්ද්‍රෙ ය.

ඇය දොර ළඟ මඳක් නතර වූවා ය. ඔහුගේ දෑස් ඇයගේ දෑස් හමු වී අනතුරුව ඇයගේ අත අල්ලා ගෙන සිටි මිනිසා වෙත දිව ගියේ ය. ලියෝ යාන්තමින් වූ අවඥා සහගත සිනාවක් පෑවේ ය.

කීරා කෙළින් ම අන්ද්‍රෙ වෙත පිය නැඟුවා ය. ඇයගේ සිත්කලු ලාලිත්‍යය, කෙළින් සිටගත් ඉරියව්ව, අති ඉහළින් වූ ආත්ම විශ්වාසය, ඇයගේ රාජකීය විලාසිත කළු ගවුම යනාදියෙන් ඇය අන්ද්‍රෙ වෙත සිය අත පා හැමට ඇහෙන සේ මෙසේ කීවාය: “සුබ සැන්දෑවක්, අන්ද්‍රෙ. ඔයාව මෙහි දී දකින්නට ලැබීම මට මහත් සතුටක්.”

තමන් වටහා ගත් බව ඔහුගේ දෑස් නිහඬව ඇයට කියයි. තමන් ප්‍රවේසම් වන බව ද, වෙනසක් නොදක්වන සිනාවක් පාමින්, මිත්‍රශීලී ලෙසින් අතට අත දෙමින් ඒ ඇස් කියයි.‍

ලියෝ ඔවුන් වෙත ඇදුනේ හෙමිහිට ය. කිසිත් ගණනකට නොගෙන ය. ඔහු කඳ නවමින් අන්ද්‍රෙ ට ආචාර කරමින්, වදන් ආචාරශීලී වුව ද, අහංකාර වූ හිනාවකින් ඔහු ඇසුවේ “ඉතින් ඔබත් වික්ටර්ගේ මිත්‍රයෙක් ද?” කියා ය.

“ඔබ වගේ ම යි.” අන්ද්‍රෙ පිළිතුරු දුන්නේ ය.

කීරා ඉදිරියට පියවර තැබුවා ය. කඩිනම් නොවී ඇය ඇදුනේ වික්ටර් සහ මරීෂාට සුබ පතන්නට ය. ඇය දන්නා හඳුනන අයට ඔළුව වනා, සිනාවක් පා ආචාර කළාය. ඇය කතා කරන්නට නැවතුනේ අරීනා සමඟ ය. ජනේලය අසල වූ මිනිසාගේ දෑස් තමා හඹා එන බව ඇය දත්තී ය. එහෙත් ඔහු දෙස බලන්නට ඇය හැරුනේ නැත.

නැවතත් අන්ද්‍රෙ අසලට එන්නට පෙර ඇය අමුත්තන් බොහොමයක් හා කතාබහ කර තිබුණි. එය අහම්බෙන් වූ ලෙසකින් ඇය ඔහු වෙත ආවා ය. කාමරයේ අනිත් ‍කොනේ ලිඩියාට සවන් දෙන ලියෝ වූයේ ය.

අන්ද්‍රෙ උනන්දුවෙන් රහසින් මැතුරුවේ ය: “වික්ටර් හැමදා ම මට ආරාධනා කරනවා. මේක තමයි මම ආරාධනය පිළිගත් පළමු වතාව. මම දැන සිටියා ඔයා එයි කියලා. කීරා, දැන් සති තුනක් ගෙවිලා …”

“මම දන්නවා. මට සමාවෙන්න, අන්ද්‍රෙ. ඒත් මට එන්න විදියක් තිබ්බෙ නැහැ. මම පස්සෙ පැහැදිලි කරන්නම්. ඔයාව දකින්න ලැබීම සතුටක් -ඔයා පරිස්සම් වෙන්න.”

“මම ප්‍රවේසම් වෙන්නම්. හරි ලස්සන ගවුමක්, කීරා. අළුත් එකක් ද?”

“ඔහ් .. ඔව්. මේක අම්මා ගෙන් ලැබිච්ච තෑග්ගක්.”

“කීරා, ඔයා හැම තිස්සේ ම සාදයකට යන්නේ ඔහු සමඟ ද?”

“ඔයා අදහස් කරන්නෙ ලියෝ ව ද?”

“ඔව්.”

“මම හිතනවා ඔයා මා ඇසුරු කරන යාළුවෝ කවුදැයි තීරණය කරන්න පටන් …”

“කීරා!” ඇයගේ දැඩි වූ කටහඬින් ඔහු තැති ගත්තේ ය. ඔහු සමාව අයදින්නට විය. “කීරා, මට සමාවෙන්න. මම එහෙම අදහස් කළේ නැහැ .. සමාව දෙන්න. මම දන්නවා මට එහෙම කියන්න කිසි අයිතියක් නැහැ කියල .. නමුත්, ඔයා බලන්න, මම හැමදාම ඔහුට අකමැති වූ අයෙක්.”

ඇය කිසිත් සිද්ධ වූයේ නැති බව හුවා දක්වන, සතුටින් ඉන්නා බව කියා පාන සිනාවක් පෑවා ය. ජනේල සෙවනැල්ලෙන් ආවරණ වී ඔහුගේ ඇඟිලි හනිකට අල්ලා අත හැරියා ය.

“කමක් නැහැ,” ඇය රහසින් කෙඳුරුවා ය. ඔහුගෙන් ඈතකට පා තැබුවා ය. මඳක් නැවතී හැරී බලා කෙස් කළඹ ගසමින් අවුල් වූ කෙස් රොදවල් මැදින් ඔහු වෙත උණුසුම් වූ ද, ඔහු අදහස් කරන්න තමන් වටහා ගත්තා යැයි කියා පාන බැබළෙන සිනාවකින් සංග්‍රහ කළේ, තමන් දෙදෙනාට පමණක් හිමි රහසක් ප්‍රථම වතාවට අමුත්තන් ඉදිරියේ දී සුරකින බවින් කුල්මත් වූ ඔහුගේ ආවේගයන් වලින් ඔහුගේ උගුර හිරවෙද්දී ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: