Sinhala story Blog

අගෝස්තු 26, 2011

අපි ජීවත්වන්නෝ -266 රස්සාව රැක ගැනීමට නම් ඇය පරණ වස්ත්‍ර හැඳිය යුතු වේ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:16 පෙ.ව.

“සහෝදරවරුනි,

මේ දවස්වල සාමයෙන් කෙරෙන රාජ්‍ය ගොඩනැඟීමේ දී, කම්කරු සංස්කෘතියේ ශ්‍රමිකයෝ තමයි අරගලයේ පෙරමුණේ ඉන්න කම්පනය දරා ගන්න හමුදාව. අපේ රතු සතියේ දවස් තුල දී ගම්බද ශ්‍රමික සමූහයාට අධ්‍යාපනය ලබා දීම තමයි දරුණු ගැටළුව. අපි, මඟ පෙන්වන නායකයෝ හැටියට, අධ්‍යාපන ලබා දෙන සාම කාලයේ වැදගත් හමුදාවක කොටස් කරුවෝ. ‍ඵෛතිහාසික භෞතිකවාදයක ප්‍රායෝගික ක්‍රමවේදයකින් කා වැද්දී ඇති, සෝවියට් උද්වේගයෙන් පිබි දී ඇති, සත්‍ය වූ, කැප වූ …”

කීරා අසුන් ගෙන සිටියේ නව වැනි පේළියේ ය. ඇය යටින් කුමන මොහොතේ දී හෝ කඩා වැටෙන්නට හැකි පුටුවක් උඩ ය. මඟ පෙන්වන සේවකයන් සඳහා වූ රැස්වීම නිමාවකට එයි. ඇය අවට, විඩාවෙන් කඩා වැටෙන ඔළු ගෙඩි වෙති. කතාව පැවැත් වූ අයගේ හිසට උඩින් බිත්තියේ වූ විසල් ඔරලෝසුවක් දිහා හොරෙන්, බලාපොරොත්තු සහගත ව බලනා දෑස් වෙති. ඒත් කීරා සවන් දෙන්නට උත්සාහයක් ගත්තී ය. කතාව පවත්වන අයගේ මුව දිහා ඇස් එල්ල කරගෙන සිටියේ කියන හැම වචනයක් ම අල්ලා ගන්නට ය. වදන් ඊට වඩා වැඩි හඬින් වූවා නම් හොඳ යැයි ඇයට සිතිණ. ඒත් ඒ වදන් ඇයගේ මනස තුල නාද දෙන කටහඬ වල් පලවා හරින්නට සමත් නොවීය. දුරකතනයකින් අයදින බව නොපෙන්වා අයදින කටහඬ: “කීරා, ඇයි මම මෙච්චර කලාතුරකින් ඔයාව දකින්නෙ?”: ගාම්භීර වූ කටහඬක් ඇයගේ කාමරයේ අඳුර මැද්දෙන් විමසයි: “මොනවා ද මේ ඔයා යන ගමන්, කීරා? ඔයා කිව්වා ඔයා ඊයේ අරීනාගේ ගෙදර ගියා කියල. ඒත් ඔයා ගිහින් නැහැ.” තව කොපමණ කලක් ඇය එය කරගෙන යන්න ද? ඇය සති තුනකින් අන්ද්‍රෙ හමු වී නැත.

ඇය අවට පුටු සෙල වෙන්නට පටන් ගති. රැස්වීම හමාර ය. තරප්පු පෙළක් බැස ඇය ඉක්මණින් ඇවිද්දා ය. තමන් හා සේවය කරන තවත් මඟපෙන්වන්නෙකු හා ඇය කතා බහේ යෙදෙයි: “ඔව්, ඔව්, ඉතා සාර ගර්භ දේශනයක්. සහතිකයෙන් ම, අපේ සංස්කෘතික වගකීම කම්කරුවන් වෙනුවෙන් වැඩ කිරීම තමයි අපේ මූලික අරමුණ …” එය පැවසීම පහසු ය. එය පහසු ය, ලියෝ දිහා එක එල්ලේ බලා සිනා වී: “ලියෝ, ඇයි මේ මෝඩ ප්‍රශ්න? ඔයා මාව විශ්වාස කරන්නෙ නැද්ද?” යැයි තම අත්ල පපුවේ වූ අන්ද්‍රෙගේ දත් පහරක් වසන්නට තැත් කරමින් කියූ පසු එය පහසු ය.

ඇය ඉක්මණින් ගෙදර ගියා ය. මරීෂාගේ කාමරයේ ගමන් පෙට්ටි දෙකකුත්, වේවැල් කූඩයකුත් පොළව මැද තිබුණි. හිස් ලාච්චු ඇරී ඒවායේ කිසිවක් නැති ආකාරය දිස්විය. බිත්තියේ වූ පෝස්ටරයන් ගලවා ගමන් පෙට්ටි මත ගොඩ ගසා තිබුණි. මරීෂා ගෙදර සිටියේ නැත.

කීරාගේ කාමරයේ සූස් හා හඬ නඟන ප්‍රයිමසය අසල වූ මෙහෙකාරියක් වහා අවුත් කීරාගේ කබාය ගලවන්නට උදව් වූවා ය.

“ලියෝ තාම ඇවිත් නැහැ, නේද?” කීරා ඇසුවා ය.

“නැහැ, මැඩම්.”

කීරාගේ කබාය පරණ විය. වැලමිට අසලින් රබර් පැලැස්තර අලවා තිබිණ. ඇයගේ ගවුමේ කොලරයේ තෙල් පැල්ලම් ද, වාටියේ නූල් ඇදී එළියට පැන තිබුණි. ක්ෂණික වූ සංචලනයකින් කීරා එය ඔළුවට උඩින් ඇද එක පහරින් ඉවත් කර මෙහෙකාරිය වෙත විසි කළාය. අනතුරුව අවුල් වූ හිසකෙස් ඔළුව සොලවා නැවත හරි ගස්සා ගත්තා ය. ඉක්බිතිව ඇය ඇඳට වැටුනා ය. අඩි දිය වී ගිය පරණ සපත්තු ගලවා දැමූ ඇය එළලූ කපු රෙදි වලින් නිමැ වූ කකුල් ආවරණ ගලවා දැමුවා ය. ඇඳ අසලින් දණ නමාගත් මෙහෙකාරිය කීරාගේ සිහින් කකුල් වලින් උඩට සිල්ක් කකුල් ආවරණ ඉහළට ඇද්දේ ය. ඇයගේ කකුල් වලට සුමුදු උස් අඩි ඇති සපත්තු පැළඳ විය. ඇය නැඟිට කීරාට තද පැහැති වුලන් ගවුමක් අඳින්නට උදව් කළාය. පරණ කබාය හා සපත්තු අළුත් කබා හතරක් හා අළුත් සපත්තු කුට්ටම් හයක් තිබි අල්මාරියක් ඇතුලට මෙහෙකාරිය දැම්මා ය.

සෝවියට් සේවකයෙක් යැයි කියා ගැනීම සඳහා කීරා ට තම රස්සාව රැක ගත යුතු වේ. රස්සාව රැක ගැනීමට නම් ඇය පරණ වස්ත්‍ර හැඳිය යුතු වේ.

ලියෝගේ අළුත් ම තෑග්ග, මිල අධික ලිලී මල් පොකුරක් මේසය මත තිබුණි. ප්‍රයිමසයෙන් වැදි ගිනි අවුළු වලින් සුදු මල්පෙති මත අළු තැනින් තැන වැටී ඇත. කීරාට මෙහෙකාරියක් සිටියි. එහෙත් ඇයට මුළුතැන් ගෙයක් නැත. ජනේලය අසලින් වූ ප්‍රයිමසයේ ඔවුනට ආහාර උයා දෙන්නට හැම දිනකම පැය පහක් මෙහෙකාරිය පැමිණෙන්නී ය.

පත්තර කඩදහියක ඔතා ගත් සෙව්‍ර මල් පෝච්චිය රැගත් ලියෝ නිවසට ගොඩ වැදුණි.

“තාම රෑ කෑම ලැහැස්ති නැද්ද? කොච්චර වතාවක් කියන්න ඕනා ද මම ගෙදර එනකොට කැමති නැහැ කියල ඕක දුම් ගහනවා දකින්න.”

“කෑම ලෑස්තියි, සර්.” මෙහෙකාරිය ඉක්මණින් ගියේ ප්‍රයිමසය නිවා දමන්නට ය. ඇයගේ ලාබාළ රවුම් මුහුණ යටහත් බවින් හා බියෙන් පිරී තිබුණි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. Enjoyed once again. Keep it up.

    ප්‍රතිචාර විසින් W.A. Wijewardena — අගෝස්තු 26, 2011 @ 9:19 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: