Sinhala story Blog

අගෝස්තු 12, 2011

අපි ජීවත්වන්නෝ -253 මේ කූටෝපායේ අවදානම් තැන එතැනයි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:43 පෙ.ව.

නිහඬව ඇය පුටුවක් ඇද මේසයට ළං වී වාඩිගත්තා ය.

මේසයට ගසාගත් වැලමිටි දෙක මැදින් ඇය මොරොසොව් දිහා මුහුණ ලා සිටියාය. තම කටින් පිටවන හැම වදනක්ම සනිටුහන් කරගන්නා සේ වූ ඇයගේ දෑස් දිහා නොබලා කතා කරගෙන යන්නට මොරොසොව් පටන් ගත්තේය. “මේ කටයුත්තෙ වාසිය ඔබ දන්නවානෙ, ලෙව් සර්ගියේවිච්. පුද්ගලික වෙළෙන්ඳෙක් කියන නාමය මේ දවස්වල ඉසිලීම ලෙහෙසි නැහැ. සලකා බලන්න මේ ජීවත්වෙන කාමරයේ කුලිය ගැන. ඒක විතරක් ගෙවන්න සේරම ලාභය වැය වෙයි. දැන් ඔබ කිව්වොත් ඔබ තමයි සම්පූර්ණ අයිතිකරුවා කියල -එතකොට කුලිය එතරම් වැඩි නැහැ මොකද මේ කාමරයට විතරයි කුලිය ගෙවන්න ඕන. දැන් මට, ඔන්න බලන්න, අපිට ලොකු කාමර තුනක් තියනවා, ටෝනියාටයි මටයි, එතකොට එයාල මාව පුද්ගලික වෙළෙන්ඳෙ ක් කියල හංවඩු ගැසුවොත් -ශුද්ධ වූ දෙවියනි! -ඒකෙ කුලිය මුළු ව්‍යාපාරයම බංකොළොත් කරාවි.”

“ඒකට කමක් නැහැ,” ලියෝ කීවේය. “මම ගෙන යන්නම්. මට ප්‍රශ්නයක් නැහැ මාව පුද්ගලික ව්‍යාපාරිකයෙක් කියල හැඳින්වූවාට හෝ මට දෙවැනි නිකලස් කියා හෝ මට මෙෆිස්ටොෆලීස් කිව්වත්.”

“අන්න එහෙමයි,” මෙවර මොරොසොව් පමණට වඩා වැඩි හඬකින් කෙකර ගෑවේය. ඔහුගේ නිකටත් මුවත් සෙලවුණි. “අන්න ‍එහෙමයි. ඉතින්, ලෙව් සර්ගියෙවිච්, සර්, ඔබ පසුතැවිලි වෙන්නෙ නැහැ. ලාභ -දෙවියන්ගේ ආශීර්වාදය අපට ලැබේවා! – ලැබෙන ලාභ වලින් පරණ ඉස්සර-කාලේ-බුර්ජුවාසි-කියපු-අයව හිඟන්නො වගේ පෙනෙයි. අපේ පුංචි කූටෝපායෙන්, අපි රූබල් අතූ ගාලා ළං කර ගනිමු. හරියට පාරෙන් ඇහිඳිනවා වගේ. වසරක් දෙකක් ගියාම අපි අපේම ස්වාමියෝ. නිසි තැන්වලට සිය ගණනින් අතේ රැඳෙව්වම අපිට පිටරටවල් වලට පියාඹන්නත් පුළුවන් -පැරීසියට, නැත්නම් නීස්, නැත්නම් මොන්ටෙ කාලෝ, එහෙම නැත්නම් සුන්දර කලාත්මක වෙන ඕන විදේශීය තැනකට.”

“ඔව්,” ලියෝ කීවේ විඩාබරිතව ය. “පිටරට.” අනතුරුව ඔහු හිස සොලවා දැම්මේය. හරියට දරාගත නොහැකි සිතුවිල්ලකින් කඩා දමනවා සේ ය. තමන්ට රැකියාවක් දෙන මිනිසා වෙත මහේශාක්‍ය ලෙසකින් හැරී ඔහු අණ ‍නිකුත් කරන්නට පටන් ගති. “අර ඔයාගෙ යාළුවා -කොමියුනිස්ට්කාරයා- මේ කූටෝපායේ අවදානම් තැන එතැනයි. ඔබට ඔහු ‍විශ්වාස ද?”

මොරොසොව් තම ප්‍රථුල අත් දෙපැත්තට විහිදී ය. හෙමින් හිස දෙපැත්තට වැනී ය. අවලාද කියන ලෙසකින්, ඔහුගේ සිනාව වැස්ලින් සේ සහනය දෙමින් මෙසේ කීවේය: “ලෙව් සර්ගියෙවිච්, මගේ ආත්මය පල්ලා, ව්‍යාපාරික ලෝකයේ කරකියා ගන්න බැරි දරුවෙක් වගේ මුල් පියවර තියන කෙනෙක් යැයි කියා ඔබ මා ගැන හිතන්නෙ නැහැ නේද? අපේ අමරණීය ආත්මයේ ගැලවීම වගේ මට ඔහු ගැන විශ්වාසයි. ඒ තරම් දැඩියි මගේ විශ්වාසය. ඔබට හොයාගන්න බලාපොරොත්තු විය නොහැකි තරම් දක්ෂයෙක්. ඉක්මණින් වැඩ කරන සහ කතාබහ කරලා දේවල් විසඳගන්න පුළුවන් කෙනෙක්. අර තමන් කරනවා අහාගෙන ඉන්න කැමති දිගින් දිගට කතා කරන්නෙක් නෙමෙයි. ලොකු වචන හා වියළි හෙරින් මාළු බලාපොරොත්තුවෙන් වැඩ කරන කෙනෙකුත් නෙමෙයි, නෑ, සර්. එයා දන්නවා තමන්ගෙ අතේ පාන් සහ බටර් තියෙන්නෙ කොයි වෙලාවෙ ද කියල. -ඒවා ලිස්සලා යන්න එයා ඉඩ තියන්නෙ නැහැ. ඉතින් ආයෙමත්, එයා තමයි ලොකු අවදානම ගන්න කෙනා. අපි වගේ සාමාන්‍ය මිනිස්සු, අහුවුනොත්, අපිට ගැලවෙන්න පුළුවන් සයිබීරියාවේ අවුරුදු දහයකින්, ඒත් ඒ වගේ පක්ෂයේ මිනිහෙක්ට, එයාට සමුගන්නවත් ඉඩක් නොලැබී වෙඩි පාර කන්න හිටගන්නයි වෙන්නෙ.”

“ඔයාට හිත කරදර කරගන්න කිසි හේතුවක් නැහැ, ලියෝ,” ඇන්ටෝනියා පැව්ලොව්නා සිනා වූවාය. “මම මේ තරුණයා හමුවෙලා තියනවා. අපි එයාව පොඩි තේ සංග්‍රහයකට කැඳෙව්ව -හරියටම කිව්වොත් ෂැම්පේන් සහ කැවියාර්. ඔහු දක්ෂයෙක්. විශ්වාස කළ හැකි කෙනෙක්. කොකෝගේ ව්‍යාපාරික තීරණය ගැන ඔයාට සම්පූර්ණ විශ්වාසය තබන්න පුළුවන්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: