Sinhala story Blog

ජූලි 29, 2011

අපි ජීවත්වන්නෝ -243 මම රැකියාවක් කරනවා. මම සෝවියට් සේවකයෙක්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:12 පෙ.ව.

“මට ලැබෙනවා, සහතිකයෙන්ම,”

ගලීනා පෙට්‍රොව්නා කීවේ ආඩම්බරයෙනි. “අපේ බඩු භාණ්ඩ බෙදාහැරීම තවම අඩුලුහුඬු නැති තත්වයකට ඇවිත් නැහැ. පහුගිය සතියෙ ගෙනාපු සූර්යකාන්ත මල් ඇට තෙල් කොච්චර මුඬු වෙලා ද තිබුණා කිව්වොත් අපිට පාවිච්චි කරන්න බැරි වුනා … ඒත්, මේක තාවකාලික කාලයක් …”

“ … රජයේ ඉදි කිරීම්!” ඇලෙක්සැන්ඩර් ඩිමි‍ට්‍රියෙවිච් හදිසියේම, කලබලයෙන්, හරියට හොඳින් කට පාඩම් කරගත් පාඩමක් ලෙස බෙරිහන් දුන්නේ ය.

“ඔබ කුමක් ද කරන්නේ, ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච්?” ලියෝ ඇසුවේය.

“ඔහ්, මම රැකියාවක් කරනවා!” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් ගැස්සුනේ ඉදිරියට පනින්නට සූදානමින් සිටි ලෙසකිනි. තමන් වෙත එල්ල වූ බලවත් දෝෂාරෝපණයකට කරුණු ඉදිරිපත් කරන්නා ලෙසිනි. “ඔව්, මම රැකියාවක් කරනවා. මම සෝවියට් සේවකයෙක්.”

“ඔව් සහතිකයෙන්ම,” ගලීනා පෙට්‍රොව්නා ඇද පැද කීවාය, “ඇලෙක්සැන්ඩර්ගෙ තනතුර මගේ තනතුර තරම් වගකීමකින් යුත්තක් නෙමේ. වැසිලිවෙස්කි දූපතේ කොහේද තියන කාර්යාලයක ඔහු පොත් තබන්නෙක්. හැමදාම දුර ගමනක් යන්න ඕන! ඒක මොන වගේ කාර්යාලයක් ද, ඇලෙක්සැන්ඩර්? ඒත්, කොහොම වුනත්, ඔහුට තියනවා පාන් සලාක පොතක්. ඒත් ඒකෙන් එයාට ප්‍රමාණවත් තරමට වත් පාන් ලැබෙන්නෙ නැහැ.”

“ඒත් මට රැකියාවක් තියෙනවා,” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් බයාදු හඬකින් පැවසීය.

“සහතිකයෙන්ම,” ගලීනා පෙට්‍රොව්නා කීවාය, “මට වඩා හොඳ සලාක පොත් ලැබෙනවා මොකද මම ඉන්නෙ ගුරු වෘත්තියේ වඩාත් හිතකර පංතියක නිසා. මම සමාජයීය වශයෙන් බොහොම ක්‍රියාකාරීයි. ඇයි, ඔබ දන්නවා ද, ලියෝ, ගුරුවරුන්ගේ කවුන්සිලයේ මම සහකාර ලේකම්වරිය සේ තේරී පත්වුනු බව. අද තියන පාලනය නායකත්වයේ ලක්ෂණ අගය කරන බව දැන ගන්නට ලැබීම සන්තුෂ්ටියට කාරණයක්. අන්තර් සමාජීය රැස්වීමක දී මම කතාවක් ද පැවැත්වූවා, නූතන අධ්‍යාපනයේ ක්‍රමවේදය ගැන. ලිඩියා එහි දී ලස්සනට ‘අන්තර්ජාතිකය’ වාදනය කළා.”

“සහතිකව,” ලිඩියා කිව්වේ දොම්නස් හඬින් ය, “ඔව්, ‘අන්තර්ජාතිකය.’ මමත් රැකියාවක් කරනවා. ශ්‍රමිකයන්ගේ සමාජයක සංගීත අධ්‍යක්ෂකවරිය සහ පියානෝ වාදනය. සතියකට වතාවක් පාන් රාත්තලක්. බස් ගාස්තුව. හැම මාසයකම ගාස්තු ගෙවලා ඉවර වුනාම සමහර විටෙක සල්ලි ලැබෙනවා.”

“ලිඩියා කැමති නැහැ කාලයට අනුව හැඩ ගැහෙන්න,” ගලීනා පෙට්‍රොව්නා සුසුම් ලෑවා ය.

“ඒත් මම ‘අන්තර්ජාතිකය’ වාදනය කළා,” ලිඩියා කීවාය, “රතු අවමංගල ප්‍රයාණය -ඔබ ඇද වැටුණා ගොදුරක් වී- සහ සමාජ සිංදු. අම්මා කතාව පැවැත්වූ සමා‍ජයේ දී මට අත්පොළසන් ද ලැබුණ.”

කීරා විඩාවෙන් යුතුව නැඟිට්ටේ තේ හදන්නට ය. ප්‍රයිමසය පණ ගන්වා ඇය කේතලය ඒ මත තැබුවාය. ඒ දිහා කල්පනාවක ගිලී බලාගෙන සිටියාය. සූස් ගා පත්තුවෙන දැල්ල අස්සෙන් පංතියක් අමතන සේ මහත් හඬින්, රිද්මයකට කතා කරන ගලීනා පෙට්‍රොව්නාගේ කටහඬ ඇයට ඇසිණ. “ … ඔව්, දෙවරක්, හිතන්න පුළුවන් ද? අපේ සිසු සිසුවියන්ගේ බිත්ති පුවත්පතේ දෙවතාවක් ගෞරවනීය සඳහනක් ලැබුණ. ගුරු වෘත්තියේ නූතන සහ යුතුකම් නොපිරිහෙලා ඉටු කරන තුන් දෙනා අතරින් අයෙක් විදියට. ඔව්, මට යම් තරමක බලපෑමක් කරන්න පුළුවන්. අර තරුණ ගුරුවරිය පාසැල පාලනය කරන්න තැත් කරද්දී ඇයව ඉක්මණින් අස් කරන්න ලැබුණ. ඔයාට සහතිකයෙන් කියන්න පුළුවන් මම ඒ ගැන යමක් කියන්න තිබුණ කියලා …”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: