Sinhala story Blog

ජූලි 15, 2011

අපි ජීවත්වන්නෝ -233 මේ කාලයේ සත්‍ය මිනිස්සු කොච්චර හිඟ ද!

Filed under: Uncategorized — sinhalashortstories @ 9:56 පෙ.ව.

ඇය තම කබාය ගැලවූවාය.

අළුත්ම විලාසිතාවට මහන ලද නව, අධික මිල සහිත සිල්ක් රෙද්දකින් නිමා වූ චාම් කළු ගවුමක් ඇය හැඳ සිටියාය. කොළ පැහැති විදේශීය සෙලියුලොයිඩ් කරාබු ජෝඩුවක් පැළඳ සිටියාය. කොණ්ඩය තදින් ඇද නළල මතින් පිටුපසට පීරා තිබුණි. කොණ්ඩ තීරු දෙකක් සුදු පව්ඩර් වගයක් තැවරී කම්මුල් හි ඇල වී තිබුණි. ඇයගේ කෙස් කළඹ විශ්මය ජනක තැඹිලි පැහැයකින් විය. පැද්දෙන ලම්බකයක් මෙන් ඇයගේ කොණ්ඩ කැරැල්ල එහාට මෙහාට දුව ගොස් ඇය හැරෙද්දී ඇයගේ කුස මත වැදෙයි. පුළුල් උකුලෙන් කුඩා වී පහතට ඇදී යන ඇයගේ ගවුම තදින් ඇඟට ඇලී ඇත. ඇයගේ කකුල් තර ය. වළලුකරයන් ඉතා සිහින් ය. ඇයගේ පතුල් ඉතා කුඩා ය. අසමාන වූ බරකින් වූ දේහයෙන් පෑගී යන්නා සේ ය. ඇය වාඩි වූවාය. ඇයගේ ඔඩොක්කුව මත ඇයගේ බඩේ පත රෝලක් තැන්පත් විය.

“ඔයා කවදා ද ආපහු ආවේ, ටෝනියා?” ලියෝ ඇසුවේය.

“ඊයේ. කුමන ගමනක් ද ඒ!” ඇය සුසුම් හෙලුවාය. “මේ සෝවියට් ‍කෝච්චි! මම හිතන්නේ මම සනීපාරක්ෂක ස්ථානයට ගිහින් ජයගත්තු සියල්ල මට නැතිවුණා කියල ඒ ගමනේ දී. මගේ ස්නායු දුර්වලතාවයට මම පොඩි විවේක ප්‍රතිකාරයක් ගනිමින් සිටියේ.” කීරා දිහාට නිකට දික් කර ඇය කීවේය. “මොන සංවේදී පුද්ගලයාට ද පුළුවන් මේ දවස්වල ස්නායු දුර්වලතාවයට භාජනය නොවී ඉන්න? ක්‍රිමියාව! ඒ ස්ථානය මගේ ජීවිතය බේරුවා.”

“එතැන දර්ශනීයයි,” ලියෝ එකඟ විය.

“නමුත්, ඇත්තෙන්ම, ලියෝ ඔබ පිටත් වෙලා ගියාට පස්සෙ එතැන තිබිච්ච ලස්සන නැතිවුණා. ඔයා දන්නවා ද, ඒ රසවත් බවකින් තොර වූ සනීපාරක්ෂක ස්ථානයේ හිටපු වඩාත්ම ප්‍රශංසනීය ලෙඩා තමයි ලියෝ. හැමෝම ඔහුව ගොඩාක් ප්‍රිය කළා. ඔහ්, ප්ලතෝනික විදියකට තමයි, මගේ ප්‍රියාදරිය, ඔය ඒ ගැන හිත කරදර කරගන්න එපා,” ඇය කීරා දෙස බලා ඇසක් ගැසුවාය.

“මම හිත කරදර කරගන්නෙ නැහැ,” කීරා කීවාය.

“ලියෝ මට මගේ ප්‍රංශ පාඩම් වලට උදව් කරන්න කරුණාවන්ත වුණා. මම ඉගෙන ගන්නවා .. ඒ කියන්නෙ මගේ ප්‍රංශ දැනුම වැඩි කරගන්න. ලියෝ වගේ කෙනෙකු හමුවන්නට ලැබීම සිතට මහත් සැනසිල්ලක් ගෙන දුන්නක්. ඔයා මට සමාව දෙන්න ඕන ලියෝ. මම දන්නවා සමහර විට මම අනවශ්‍ය අමුත්තෙක් වෙන්නැති. ඒත් මේ විපර්යාස යුගයේ දී කාන්තාවක් වෙතින් බලාපොරොත්තු වෙන්නෙ කොහොම ද ඇයට හමුවුන ලස්සන මිතුරුකමක් අත්හරින්න යැයි කියා. මේ කාලයේ සත්‍ය මිනිස්සු කොච්චර හිඟ ද!”

“ඇයි, නැහැ, ‍ටෝනියා, මට සතුටුයි, ඔයා මාව හොයන්න කාලය යෙදෙව්වාට.”

“අ‍හෝ, මේ ඉන්න මිනිස්සු! මම ඒ බොහෝ පිරිසක් දන්නවා. අපි හමුවෙනවා, අපි කතා කරනවා, අපි අතට අත දෙනවා. ඒකෙන් මොනවා ද කියන්නෙ? කිසිවක් නැහැ. කරනවාට කරන හැදියාවක් මිස කිසිම තේරුමක් නැහැ. ඒ අය අතරින් කවුද දන්නේ අපේ ජීවිත වල සත්‍ය අර්ථය ගැන හෝ ස්ප්‍රීතුවේ වැදගත්කම ගැන?”

ලියෝගේ මුවේ යාන්තමින් පෙනි සිනාව අවබෝධයක් ලද්දකුගේ සිනාවක් නොවීය. “කෙනෙකුට තමන්ගේ කරදර අමතක කරන්න පුළුවන් මුළු අවධානයම යොමු කරන්න පුළුවන් කටයුත්තකට යෙදෙව්වාම. ඒත් ඒ වගේ කටයුතු වලට මේ දවස්වල අවසර ලැබෙන්නෙ නැහැනෙ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: