Sinhala story Blog

ජූලි 13, 2011

අපි ජීවත්වන්නෝ -231 ආයෙත් ජීවත්වන්නට නිදහස්

Filed under: Uncategorized — sinhalashortstories @ 11:55 පෙ.ව.

ඔහු ඇය දෙස බලාගෙනය.

ඔහුගේ දෑස් බාගෙට අඩවන්ය. තමන් සතු බලය ගැන සමච්චල් කරන ලෙසකින් ඔහුගේ බැල්ම ඇය වෙත එල්ල වී ඇත. ආදරවන්තයෙකුගේ පහසකට වඩා ඒ බැල්ම කාමුක විය.

ඉක්බිතිව ඔහු වෙනතකට හැරී මෙසේ ඇසුවේය: “මේ හේමන්තය -ඒක ඔයාට ගොඩක් දුෂ්කර වුවා ද?”

“ටිකක්. ඒත් අපිට ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. ඒක අතීතය. ඔයා තාම කහිනවා ද ලියෝ?”

“නැහැ.”

“ඉතින් ඔයාට හොඳයි? හොඳටම හොඳයි, සම්පූර්ණයෙන් ම? ආයෙත් ජීවත්වන්නට නිදහස්?”

“මට හොඳයි -ඔව්. ආයෙත් ජීවත්වන එක ගැන නම් …”

ඔහු දෙවුර හැකිළීය. ඔහුගේ මුහුණ රන්වන් පැහැති ය. ඔහුගේ අත් ශක්තිමත් ය. ඔහුගේ කම්මුල් ඇතුලට නෙරා ගොස් නැත. එහෙත් ඔහුගේ දෑස්වල හොඳ වූ නැති දැයක්, තව දුරටත් හොඳ කරන්නට බැරි දැයක් ඇය දැක්කාය.

“ලියෝ, දුෂ්කරම කාලය අවසන් නේද? අපි ආයෙත් පටන් ගන්නට ලෑස්තියි නේද?” ඇය ඇසීය.

“මොනවායින් පටන් ගන්න ද? ඔයාට ගේන්න මට කිසිම දෙයක් නැහැ -නිරෝගී දේහයක් විතරයි.”

“වෙන මොනවා ද මට ඕනෑ?”

“වෙන මුකුත් නැහැ -කාන්තාවගේ පෙම්වතා වීමට පමණයි සුදුසු.”

“ලියෝ!”

“ඇයි, මම එහෙම කෙනෙක් නොවේ ද?”

“ලි‍යෝ, ඔයා මට ආදරේ නැද්ද?”

“මම ඔයාට ආදරෙයි. මම ඔයාට ඕනෑවටත් වඩා ආදරෙයි. එහෙම නැත්නම් හොඳයි කියල හිතෙනවා. ආදරය කළේ නැත්නම් සරලයි. ඒත්, කාන්තාවකට ආදරය කරන්න, ජීවිතයක් කියලා මේ කටුක අපායේ ඇය බඩ ගා ගෙන යනවා දකින්න, ඇයට උදව් කරන්න බැරිකම, ඇයට කියා තමන්වත් කුදලා ගෙන යන්නට වීම …ඔයා හිතනවා ද ඔයා මට දුන් මේ නීරෝගි බව ගැන මම ආශීර්වාද කරයි කියලා? ඒකට මම ද්වේෂ කරනවා ඔයා මට දුන්න නිසා. ඒ මම ඔයාට ආදරය කරන නිසා.”

“ඔයා ඊට වඩා කැමති මට ‍ද්වේෂ කරන්න ද?” ඇය සුමුදු ලෙසින් සිනා සෙමින් ඇසුවාය.

“ඔව්. වඩා කැමති ඒකට. ඔයා තමයි කලකට ඉහත දී මට නැති වී ගිය දැය. ඒත් මම ඔයාට ඇති ආදරය නිසා ජීවත්වෙන්න උත්සාහ කරනවා. ඔයා මම කියලා හිතන දැය වෙන්න හදනවා. මම දන්නවා මම අතීතයක දී එහෙමයි. ඒත් මට තව ගොඩක් කාලයක් එහෙම අල්ලා ගෙන ඉන්න බැහැ. මට ඔයාට දෙන්න තියෙන්නෙ එච්චරයි, කීරා.”

ඇය ඔහු දිහා ඔළුව උස්සා බැලුවේ නිහඬව ය. ඇයගේ දෙනෙත් වියළී ඇත. ඇයගේ සිනාව දරුවකුගේ සිනාවක් නොවීය. එය ගැහැණියකට වඩා දැඩි වූවකි. “එක දෙයයි වැදගත්. අපි ඒ දේ මතකයේ තියා ගනිමු. ඉතිරිය වැඩක් නැහැ. ජීවිතයට කුමක් වෙයි ද, ඒක අපිට කුමක් කරයි ද කියල මට ගාණක් නැහැ. ඒක අපිව විනාශ කරන්නෙ නැහැ. ඔයාව හෝ මාව. ඒක පමණයි අපේ එකම අවිය. අපි වටේට ඉන්න අනිත් අයට පේන්න අපිට ඔසව ගන්න පුළුවන් එකම බැනරය එයයි. අනාගතය ගැන අපි දැනගන්න ඕන එකම දෙය ඒකයි.” ඇය කීවාය.

“කීරා, ඔයා ඔය විදියට නොවුනා නම් යැයි මම පතනවා.” ඔහු කීවේ කවදාවත් ඇයට පෙන්වා නැති ‍මෘදු දයාන්විත හඬකිනි.

එවිට ඇය තම මුහුණ ඔහුගේ උරහිසේ රඳවා ගෙන රහසින් කොඳුරා මෙසේ කීවාය: “අපි මේ ගැන ආයේ කවදාවත් කතා නොකර ඉමු. අපිට මේ ගැන කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ නේද? මම නැඟිටලා මගේ නැහැයට පව්ඩර් ටිකක් දා ගන්න ඕන. ඔයා ගිහින් කබාය ගලවලා ඇඟ හෝදගන්න ඕන. මම ඔයාට දිවා ආහාරයට මොනවා හරි ලෑස්ති කරන්නම්. .. ඒත් මට පොඩ්ඩක් ඔයත් එක්ක වාඩි වෙලා ඉන්න දෙන්න. ටික වෙලාවකට විතරක්. හෙලවෙන්නෙ නැතිව… ඔහොම ඉන්න .. ලියෝ…”

ඇයගේ හිස ඔහුගේ පපුව අසලින්, ඔහුගේ දණහිස් අසලින් සෙමෙන් ඇදී ඔහුගේ පාද අසලට ගියේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: