Sinhala story Blog

ජූනි 14, 2011

අපි ජීවත්වන්නෝ -215 රජකුමරෙකුගේ රහස් ආදර කැදැල්ල

Filed under: Uncategorized — sinhalashortstories @ 6:13 ප.ව.

පඩිපෙළ මුදුනේ වූ දොරට කීරා තට්ටු කළාය.

අන්ද්‍රෙ ටැගනොව් දොර හැර නැවත අඩියක් පිටුපස්සට ගත්තේ ය. ඔහු පුදුමයට පත් වී සිටියි. හැදියාවක් නොවත හැකි හාස්කමක් දකින මිනිසකුගේ විස්මිත බැල්මකින් ඔහුගේ දෑස් විසල් වුනි. ඔහුට හෙලවෙන්නට අමතක වුනි. ඔහු ඇය ඉදිරියේ හිටගෙන ය. අව්වෙන් රන්වන් පැහැ වැටුණු උගුර පෙනෙන්නට ඔහුගේ සුදු කමිසයේ කොලරය විවෘත වී ඇත.

“කීරා!”

ඇය සිනාසුනාය, එය පැහැදිලි, ලෝහමය සිනාවකි: “සැප සනීප කොහොම ද, අන්ද්‍රෙ?”

ඔහුගේ දෑත් ඇයගේ උරහිස් මත මෘදු ලෙසින්, ඉතා සෙමෙන් රැඳිණ. ඔහුගේ දෑත් කොතරම් මොළොක් වූවා ද කියතොත් ඇයට ඒ දෑත් දැනුනේ නැත. ඇයට දැනුනේ එහි ශක්තිය පමණි. දෑත්වල වූ අභිප්‍රාය ඇයව අල්ලා ගෙන සිටියි. ඒ අභිප්‍රාය ඇයව නතුකර ගනියි. නමුත් ඇයගේ තොල් මත රැඳි ඔහුගේ තොල් වල වූයේ පාලනයකින් තොර රළු බවකි. ඔහුගේ දෑස් පියැවී ඇත. ඇයගේ දෑස් විවෘත ය, කිසිත් අරමුණක් නැතිව සිවිලිම දිහා එල්ල වී ය.

“කීරා! අද රෑ වෙනකම් ඔයාව මම අපේක්ෂා කළේ නැහැ.”

“මම දන්නවා. ඒත් ඔයා මාව එළියට පන්නලා දාන්නෙ නැහැ නේද?”

ඇය පැත්තකට විය. ඔහුට ඉදිරියෙන් ගමන් කළ ඇය කුඩා අඳුරු ඇතුල් වූ තැනින් කාමරය ඇතුලට ගමන් කළාය. අත් බෑගය පුටුවක් මතට ද, තොප්පිය මේසය මතට ද ඇය විසි කළාය. ඇය හැසිරුනේ තමනට ඉතා හුරු පුරුදු කාමරයක රජකරන්නියක් ලෙසිනි.

ඒ හේමන්තයේ දී අන්ද්‍රෙ ටැගනොව්ට සිය ආර්ථිකය සකසුරුවමින් ගෙවන්නට වූයේ මන්දැයි ඇය පමණක් දැන සිටියාය. ඔහු තම කුලී කාමරය අත්හැර මේ මාලිගාවේ පාළුවට ගිය මහලේ පදිංචියට ආවේ මන්දැයි ඇය දැන සිටියාය. පක්ෂ සමාජ කාර්යාලය පාවිච්චි නොකරන මේ පාළු මහල ඔව්හු අන්ද්‍රෙට කුලියක් නොගෙවා පාවිච්චියට ඉඩ දී තිබුණහ.

එය රජකුමරෙකුගේ රහස් ආදර කැදැල්ල විය. වසර ගණනාවකට පෙර, අමතක වී ගිය රජ දරුවෙක් මෙතැන ආලෝකය එන තෙක්, රහසින් තබන පා හඬ ඇසෙන තෙක්, ගරුඬපාෂාණ පඩිපෙලේ සිල්ක් ගවුමකින් ඇහෙන සිරි සිරිය ඇසෙන තෙක් බලා සිටියේය. ඔහුගේ මහේශාක්‍ය ලී බඩු දකින්නට නැත. නමුත් බිත්ති, ගිනි උදුන සහ සිවිලිම ඉතිරි වී ඇත.

සුදු පාට පසුබිමක සියුමැලි නිල් මල් මාලා හා රිදීයෙන් වූ කුඩා කොළ අතු වලින් රටා ඇඳි අතින් ගෙත්තම් දමන ලද එම්බෙ‍්‍රායිඩරි වලින් බිත්තිය පිරී තිබුණි. ගරුඬපාෂාණයෙන් ඉදි කරන ලද මල් මාලා පැළඳි අනංගයන් පේලියක් සහ සමෘද්ධිය දක්වන අඟකින් මිදුණ සුදු මල් එළියට ඒම කාමරයේ බිත්ති ශීර්ෂයේ දිස්විය. ගරුඬපාෂාණ පිරිපුන් දේහයක ලේඩා ප්‍රතිමාවක් සුදු පියාපත් මැදින් වට වී ගිනි උදුන අසලින් දිග ඇදී තිබුණි. සුමුදු නිල් පැහැයෙන් අහස පාට කරන ලද සිවිලිමේ, පුළුන් ‍රොද මෙන් දිස් වූ ලා පැහැති වළාකුළු අතරින් සුදු පරෙවියෝ දිස් වූහ. ඔවුන් අතීතයේ දී සුඛෝපභෝගී සතුටු සාජ්ජයන් දැක ඇත්තා නිසැක ය. අද ඔවුන් බලා සිටින්නේ යකඩ ඇඳක් දිහා ය. කැඩුන පුටු දිහා ය. දිගු සායම් නොගෑ මේසයක් මත ගොඩ ගැසුණ දීප්තිමත් රතු කවර ඇති පොත් දිහා ය. ඇඳුම් අල්මාරිය තෙක් ඉහළට තැබි ලී පෙට්ටි දිහා ය. සුදු ගෙත්තම් අතරින් කැඩුන තැන් වහන රතු හමුදාවේ සොල්දාදුවන් වූ පෝස්ටර් දිහා ය. කොනක ඇණයක එල්ලෙන හම් කබායක් දිහා ය.

කිසිවක් අහන්නට පෙර “මම ආවේ මට රෑට එන්න බැරිවන බව කියන්නයි,” කීරා කියුවා ය.

“ඔහ්! .. ඔයාට බැහැ, කීරා?”

“බැහැ. මට විදියක් නැහැ. දැන් ඛේදවාචයක් වූ විදියට බලන්න එපා. මෙන්න, මම ඔයාට පුංචි දෙයක් ගෙනාවා ඔයාව සතුටු කරන්න.”

ඇය සාක්කුවෙන් කුඩා සෙල්ලම් බඩුවක් එළියට ගත්තී ය. එය වීදුරු ටියුබයකි. අග වූයේ බල්බයක් වැනි රවුමකි. එය රතු සාන්ද්‍රණයකින් පිරී ඇත. එහි කුඩා කළු රුවක් වෙව්ලමින් පාවෙයි.

“ඒ මොකක් ද?”

ඇයගේ අල්ලේ බල්බය වැසෙන්නට ඇය අල්ලා ගත්තා ය. ඒත් කුඩා රුව සෙලවුනේ නැත. “ම‍ට බෑ කරන්න. ඔයා උත්සාහයක් ගන්න. මෙන්න මේ විදියට අල්ලන්න.”

ඇය ඔහුගේ අල්ලේ බල්බය සැඟවූයේය. ඇයගේ අත ඔහුගේ අත උඩින් විය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: