Sinhala story Blog

ජූනි 2, 2011

අප ජීවත්වන්නෝ -207 කීරා … මගේ ම කෙල්ල

Filed under: Uncategorized — sinhalashortstories @ 8:04 පෙ.ව.

පළමු සීනුව නාද වෙද්දී ලියෝ මෙසේ කීවේය:

“කරුණාකරලා, කීරා, දුම්රිය යන්න පටන් ගත්තාම අපි පිස්සු නටන්නෙ නැතිව ඉම්මු. මම ‍ජනේලයෙන් පිටත බලන්නෙ නැහැ. අත වනන්නෙ නැහැ. දුම්රිය පිටිපස්සෙන් දුවගෙන එන්න එපා. ඒ වගේ කිසිම දෙයක් කරන්නෙ නැතිව ඉම්මු.”

“නැහැ, ලියෝ.”

යකඩ කණුවක වූ පෝස්ටරයක් දිහා ඇය බැලුවාය. විසාල වාදක කණ්ඩායමක්, විදේශ ෆොක්ස් ට්‍රොට් නැටුම් හා රසවත් කෑම පොරොන්දු දුන් උත්සවශ්‍රීයෙන් විවෘත කරන අළුත් ම කැබරේ විනෝදාස්වාදය අද රාත්‍රී නවයට පටන් ගන්නා බව එය ‍දැනුම් දුන්නේ ය. කල්පනා කරමින්, කරකියා ‍ගත නොහැකිව, බියෙන් තැතිගත් ඇය ප්‍රථම වතාවට එය වැටහී ගියා සේ මෙසේ කීවේය: “ලියෝ .. අද රෑ නවයට … ඔයා තව දුරටත් මෙතන නැහැ.”

“නැහැ, මම නැහැ.”

තුන්වෙනි සීනුව නාද විය.

ඇයව තදින් අල්ලා ගත් ඔහු දිගු වූ ද, හුස්ම හිර කරන්නා වූ ද ලෙසින් ඇය තොල් සිපගත්තේය. ඒ චුම්භනය දුම්රියේ නලා හඬ මෙන් ඒ තරම් දිග කාලයක් ද, එහි හඬ තරම් දැඩි ලෙසින් ද විය. “කීරා … මගේ ම කෙල්ල … මම ඔයාට ආදරෙයි … මම ඔයාට ගොඩාක් ආදරෙයි…”

ඉදිරියට ඇදී යන දුම්රියේ පඩියට ඔහු එල්ලී ඇතුලට නොපෙනී ගියේය. ඔහු ජනේලය වෙත ආවේ නැත.

ඇය සිටගෙන සිටියාය. යකඩ දම්වැල් දිගට ඇරෙන හඬ ඇසුවාය. ‍රෝද පීලිවල තෙරපෙන හඬ අසා සිටියාය. ඉදිරියේ ඈතක වූ එන්ජිම හති දමනා හඬ ඇසුවාය. යකඩ පෙට්ටි යටින් සුදු හුමාලය පැතිර යන හැටි දුටුවාය. කහ පැහැති හතරැස් ජනේල ඇය පසු කරගෙන ගියේය. දුම්රිය නැවතුම් පළ කාබොලික් ඇසිඩ් ගන්ධයෙන් යුතුවිය. යකඩ පරාලයක සායම් දිය වී ගිය රතු බැනරයක් ලෙල දුනි. ජනේල තව තවත් ඉක්මණින් ඇය පසුකරගෙන යයි. එය දිගු කහ ඉරක් මෙන් දිස්වන්නට වෙයි. ඇයට ඉදිරියෙන් වූයේ යකඩ පමණි. හුමාලය පමණි. දුම් පමණි. ඈත එපිට ආරුක්කුවක් යටින්, අහසේ තුඩක් කළු හිලක්‍ සේ පෙනිණ.

හදිසියේ ම එය දුම්රියක් බවත්, ලියෝ ඒ දුම්රියේ බවත්, දුම්රිය ඇය හැර දමා යන බවත් ඇයට අවබෝධ විය. භීතියට එපිටින් වූ, දැවැන්ත, නම් ‍කළ නොහැකි වූ, මිනිස් නොවූ ආවේගයක් ඇයව අල්ලා ගති. ඇය දුම්රිය පිටුපසින් දිව්වාය. යකඩ අල්ලුවක් අල්ලා ගන්නට සමත් වූවාය. දුම්රිය නවතන්නට ඇයට උවමනා වුණි. ඇයව ගසාගෙන යන නැබළ වූ සමාව නොදෙන්නකට තමා හසු වී ඇති බව ඇයට දැනුනි. එය නවතන්නට ඇයට උවමනා විය. එය නවතන්නට ඇය තනි වී ඇතැයි, එය කළ නොහැකි යැයි සිතුණි. ඉදිරියට තල්ලු වී ඇයව ඇදගෙන ගියේය. දුම්රිය පදිකවේදිකාවේ ලී පර මතින් ඇය ඇදී ගියේය. පුෂ්ටිමත් සිරුරකින් යුතු, රතු තරුවකින් යුතු සීරුවෙන් නැවූ කාකි කැප් තොප්පියක් පැළඳි සොල්දාදුවෙක් ඇයගේ උරහිස් වලින් අල්ලාගෙන ඇයව යකඩ අල්ලුවෙන් ගලවා ඇද ගත්තේ ය. ඔහුගේ වැලමිට ඇයගේ පපුවේ වැදී ඇයව දුම්රියෙන් ඉවතට ගෙන අහකට විසි කර දැමුවේය.

“ඔබ මොකක් කරනවා කියල ද ඔබ හිතන්නෙ, පුරවැසියෙනි?” ඔහු ගිගුලේ ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: