Sinhala story Blog

අප්‍රේල් 24, 2011

අපි ජීවත්වන්නෝ -188 මට නිශ්චිතවම දවසක් ඕන

Filed under: Uncategorized — sinhalashortstories @ 5:32 ප.ව.

ලියෝගේ හම තවත් සුදුමැලි විය.

ඔහු තවත් නිහඬ විය. නළලේ දැකිය හැකි නිල් පැහැය ගරුඬපාෂාණ මත දුවන නහර මෙන් දිස්විය. ඔහු කැස්සේ උගුර හිරවෙද්දී ය. කැස්ස සඳහා බෙහෙත් ගත්තේය. එයින් පිහිටක් නොලැබුණි. ඔහු වෛද්‍යවරයෙක් වෙත යෑම ප්‍රතික්ෂේප කළේය.

කීරා නිතර අන්ද්‍රෙ හමු වූවාය. කමක් නැද්ද යැයි ඇය ලියෝගෙන් විමසූ විට ලියෝ “එයා ඔයාගෙ යාළුවෙක්, කිසි ප්‍රශ්නයක් නැහැ, එකම දේ, ඔයාට පුළුවන් නම්, එයාව මෙහෙ එක්කගෙන එන්න එපා. මට විශ්වාස නැහැ මට පුළුවන් වෙයි කියලා … ඒ අයගෙන් කෙනෙකුට ආචාරශීලී වෙන්න,’ යැයි පිළිතුරු දුන්නේ ය.

ඇය අන්ද්‍රෙ නිවසට කැඳවාගෙන ආවේ නැත. ඉරිදා දිනයන්හි ඔහුව අමතා ඇය සිනාවෙමින් දුරකතනයට කීවේ: “මාව දකින්න හිතෙනවා ද, අන්ද්‍රෙ? දෙකට. ගිම්හාන උද්‍යානයට. තොටුපල අසල දොරටුව ළඟ දී.”

ඔවුන් බංකුවක් මත වාඩි ගත්හ. හිස් මත්තෙන් ඕක් ගසක කොළ හිරු රැස් හා සටන් වදිති. ඔවුන් දර්ශනය ගැන කතා කළහ. සමහර විටෙක ඇය සිනා වුනේ තමාට සිතුවිලි ගැන හිතන්නට හා කතා කරන්නට ඉන්නේ අන්ද්‍රෙ පමණැකයි වැටහී ගිය නිසා ය.

දෙදෙනා හමුවිය යුතු හේතුවක් ඔවුනට තිබුනේ නැත. එහෙත් ඔව්හු හමු වූහ. නැවතත් හමු වන්නට දින කතිකා කර ගත්හ. ඇයට ආගන්තුක වූ සැනසිල්ලක් හමුව තුලින් ලැබුණි. ඔහු ඇයගේ කෙටි ගිම්හාන ගවුම් ගැන සිනා වූයේය. ඔහුගේ සිනාව ඔහුට ආගන්තුක සතුටකින් යුතු වූවකි.

වරක්, ඔහු ඇයට ගම්මානයක ඉරිදාව ගෙවන්නට ආරාධනා කළේය. මුළු ගිම්හානය පුරා ඇය සිටියේ නගරයේ ය. ඒ නිසා එය ප්‍රතික්ෂේප කරන්නට ඇයට නොහැකිය. ඉරිදා දවසේ ලියෝට වීදි අළුත්වැඩියා කරන කල්ලියක් සමඟ පදික වේදිකා‍වක ලී ගඩොල් කඩන වැඩක් ලැබී තිබුණි. ඇයගේ විනෝද ගමනට ඔහු අකමැති නොවීය.

ගම්මානයේ දී ඇයට සූර්යාලෝකයෙන් බැබළෙන සංසුන් මුහුදක් දකින්නට ලැබිණ. රත්තරන් පාට මුහුදු වැල්ල සහ සුළං හමා අවුත් තීරූ පටි සේ පෙළට වදින රැල්ලක් දකින්නට ලැබිණ. පයින් ගස්වල රතු පාටින් ඉටිපන්දම් සේ එල්ලෙන දිගු ශංකු දැක්කාය. සුළඟින් හා වැල්ලෙන් ඇරී නිර්වස්ත්‍රව ඉන්නා සේ වූ ඇඹරී ගිය ගස් මුල් දැක්කා ය. බිමට වැටි පයින් ශංකු සුළඟට පෙරළී ගොස් වෙරළේ වූ සිප්පි කටු හමු වෙන අයුරු දැක්කා ය.

කීරා සහ අන්ද්‍රෙ පිහිනන තරඟයක් පැවැත්වූහ. ඇය එය දිනුවාය. එහෙත් පිහිනුම් ඇඳුම් වලින් වැල්ලේ දුවන තරඟයේ දී, ඉරිදා දිනය සුව පහසුවෙන් ගෙවන්නට ආ සංචාරකයන් වෙතට, යටි පතුල් වලින් පියඹා ගිය වැලි හා වතුර වැටෙන සේ දුව ගිය විට අන්ද්‍රෙ දිනුවේය. ඔහු ඇය‍ව අල්ලා ගනිද්දී ඔවුන් දෙදෙනා වෙරළේ පෙරළී ගියහ. අත් පා සහ මඩ සමඟ බියෙන් තැති ගත් මැදිවියේ කාන්තාවකගේ දිවා ආහාරය වූ වට්ටිය අසලට පෙරළී ගිය විට ඇය බෙරිහන් දුන්නාය. එකිනෙකාගෙන් ඈත් වූ ඔවුන් දෙදෙනා එතැන වාඩි වී මහා හයියෙන් නවතා ගත නොහැකිව සිනහා වූවෝය. මැදිවියේ කාන්තාව අමාරුවෙන් නැඟිට ගෙන, දිවා ආහාර වට්ටියත් එකතු කරගෙන, පැද්දි පැද්දී වෙනතක ගියාය. “මේ නූතන අසීලාචාර තරුණ අය. තමන්ගෙ ආදර සබඳතා තමන්ට තියාගන්න බැරි,” කියමින් මැදිවියේ කත මුමුණවා ඇසී ඔවුන් තවත් හයියෙන් සිනාසුනහ.

කුඩා කිළිටි අවන්හලක ඔවුන් රාත්‍රී ආහාරය ගත්හ. කීරා අවන්හල් සේවකයාට ඉංග්‍රීසි බසින් කතා කළාය. ඔහුට වචනයකුදු වැටහුනේ නැත. එහෙත් කඳ නවමින්, ගොත ගසමින්, මේසයේ වතුර හලමින් ඔහු ඉතා කැමැත්තෙන් සියල්ලන්ටම අමතක වී ගම්මාන කොනක ඉන්නා ඔහුට හමු වූ ප්‍රථම විදේශීය සහෝදරියට කෑම බෙදුවේය. ඔවුන් පිටව යද්දී අන්ද්‍රෙ ඔහුට කෑම වලට ගෙවිය යුතු මුදලට වඩා දෙගුණයක් මුදල් දුන්නේය. සේවකයා බිම ගෑවෙන තරමට නැවී ආචාර කළේ තමා ඇත්තෙන්ම සලකන්නේ සත්‍ය විදේශිකයන්ට යැයි සිතා ය. කීරා මඳක් තුෂ්නිම්භූත වූවාය. එහෙත් අන්ද්‍රෙ ඔවුන් පිටත ට ගිය පසු සිනහවක් පෑවේය. “ඇයි එපා? සේවකයා සතුටු කරන එක කමක් නැහැ. මම හම්බ කරනවා මට වියදම් කරන්න බැරි තරම් මුදලක් කොහොමටත්.”

දුම්රිය ගැස්සෙමින්, අඳුර වැටී එන දුමින් පිරි නගරයට ළඟා වෙද්දී, අන්ද්‍රෙ “කීරා, කවදද ආයෙත් මම ඔයාව දකින්නේ?” යැයි ඇසුවේය.

“මම ඔයාට ඇමතුමක් දෙන්නම්.”

“නැහැ. මට දැන් දැනගන්න ඕන.”

“ටික දවසකින්.”

“නැහැ. මට නිශ්චිතවම දවසක් ඕන.”

“එහෙනම්, ඉතින්, බදාදා රෑ?”

“හරි.”

“වැඩ ඇරිලා ආවට පස්සෙ, පහමාරට, ගිම්හාන උද්‍යානයේ දී.”

“හරි.”

ඇය නිවසට පැමිණි පසු පුටුවක නිදනා ලියෝ දැක්කාය. අත් දුහුවිල්ලෙන් පිරී ඇත. දහදියෙන් තෙත්වුනු, රතු පාටින් පැහැ ගැන්වුනු මුහුණේ ද දුහුවිල්ල පිරී ඇත. කළු ඇස් පිහාටු කහ පැහැයෙන් දුහුවිල්ලෙන් පිරී පෙනෙයි. ඔහුගේ මුළු ගත විඩාවෙන් අඩපණ ය.

ඇය ඔහුගේ මුහුණ සේදුවේය. හැඳ සිටි වස්ත්‍ර ගලවා දමන්නට උපකාර වූවාය. ඔහු කැස්සේ ය.

ඊ ළඟට ගෙවී ගිය සන්ධ්‍යාවන් දෙක ගොරනාඩු වලින් පිරි දෙකකි. දිගු සන්ධ්‍යාවන් බවට පත්විය. තදින් වාද කෙරුණි. ඒත් අවසානයේ ලියෝ යටත් වූයේය. බදාදාට වෛද්‍යවරයෙක් හමුවන්නට යන්නම් යැයි ලියෝ පොරොන්දු විය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: