Sinhala story Blog

අප්‍රේල් 21, 2011

අපි ජීවත්වන්නෝ -186 ඔව්, ඒ ඌරා තාම මෙහෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:54 පෙ.ව.

මේස රෙද්දක් නොමැති මේසයක් අසල, ලාම්පු ආවරණයක් නැති ලාම්පුවක් යටින් වසිලි ඉවානොවිච් වාඩි වී චෙකෝව්ගේ පරණ වෙළුමක් කියවමින් සිටියි.

අරීනා ඇයගේ කොණ්ඩය පීරා නැත. පත කඩදාසියක අරමුණක් නොමැතිව හැඩ රූප කුරුටු ගාමින් ඇය සිටියි. අඳුරු කොණක, බැහැරක යන සේ වස්ත්‍ර හැඳගත් ආසියා ඇඳි පුටුවක ගුලි වී නිදයි. මළකඩ කෑ බුර්ජුවාසිය දුම් දමයි.

“අලෝ,” අරීනා කීවාය, ඇයගේ තොල් බෙරි වී නළියයි. ඇය එසේ සිනා පානවා කීරා කිසි දිනෙක දැක නැත.

“ඔයා කැමති ද තේ ටිකක් බොන්න, කීරා? උණු තේ? එකම දේ … එකම දේ අපි ළඟ සැකරින් වත් නැහැ.”

“එපා. බොහොම ස්තූතියි, අන්කල් වසිලි, මම රෑ කෑම කෑවා විතරයි.”

“ඉතින්?” අරීනා කීවාය. “ඇයි ඔයා කියන්නෙ නැත්තෙ? නෙරපා දැමුවා ද?”

කීරා හිස ඉහළට පහළට වැනුවාය.

“ලියොවත්?”

කීරා හිස ඉහළට පහළට වැනුවාය.

“ඉතින්? මොකද ඔයා අහන්නෙ නැත්තෙ? ඔහ්, මම ම ඔයාට කියන්නම්. සහතිකයෙන්ම, මමත් නෙරපා හැරිය අයෙක්. මොනවා ද ඔයා බලාපොරොත්තු වුනේ? ධනවත් ලොම් වෙළෙන්ඳෙක්ගේ දියණියක්!”

“එතකොට -වික්ටර්?”

අරීනා හා වසිලි ඉවානොවිච් එකිනෙකා දිහා බැල්ම හුවමාරු කරගත්හ. අමුතු බැල්මකි. “නැහැ” අරීනා හෙමිහිට උත්තර දුන්නාය. “වික්ටර්ව නෙරපා හැරලා නැහැ.”

“මට හරි සතු‍ටුයි, අන්කල් වසිලි. ඒක සුබ ආරංචියක් නේද?” ඇයගේ මාමාව සතුටු කරන හොඳම ක්‍රමය ඇය දැන සිටියාය. “වික්ටර් කොච්චර කුසලතාවයන් තියෙන තරුණයෙක් ද? මට සතුටුයි එයාගෙ අනාගතය බේරිච්ච එක ගැන.”

“ඔව්,” වසිලි ඉවානොවිච් කිව්වේ හෙමිහිට ය. දැඩි වේදනාවකිනි. “වික්ටර් කුසලතාවන් තියන තරුණයෙක්.”

“ඇයට තිබුණ සුදු ලේස් ගවුමක්,” අරීනා කියුවේ අවසිහියෙන් මෙනි. “ඒ වගේම, ඇත්තටම, ඇයට තිබුණ රසවත් කටහඬක් -ම්… මම කියන්නේ… මම මේ කතා කරන්නේ ‘ලා ට්‍රැවියාටා’ වේ අළුත් නිෂ්පාදනය ගැන. මිකායෙලොවිස්කි නත්‍යාගාරයේ. ඔයා දැක්කා නේද? ඔහ්.. එහෙනම් ඔයා ගිහින් බලන්නම ඕන. පරණ සම්භාවනීය… තමයි … පරණ සම්භාවනීය තමයි …”

“ඔව්,” වසිලි ඉවානොවිච් කීවේය, “පරණ සම්භාවනීය නිෂ්පාදන තමයි තවමත් අගනා. ඒ කාලේ, එයාලට සංස්කෘතියක් තිබුණ. සදාචාරයක් තිබුණ. ඒ වගේම අවංක භාවයක් තිබුණ.”

“ඇත්තටම,” කීරා කිව්වේ නොසන්සුන් හා විමතියෙන්, “මම ගිහින් බලන්න ඕනා ‘ලා ට්‍රැවියාටා’.”

“අන්තිම ජවනිකාවේ,” අරීනා කීවාය, “අන්තිම ජවනිකාවේ, ඇය .. ඔහ්.. යකාට ගියාවේ!” කියූ ඇය කුරුටු ගාමින් සිටි කඩදාසිය සහ රූප අඳින්නට කඩදාසි තබන ලෑල්ල උස්සා විසි කළාය. එය මහත් සද්දයකින් බිම පතිත විය. ඒ හඬ ඇසී ආසියා නිදි කඩමින් නැඟිට ඇස් විහදා ඔවුන් දෙස බලා සිටියාය. “ඔයාට ආයේ වැඩි දවසක් යන්න කළින් ඇහෙයි. වික්ටර් පක්ෂ සාමාජිකත්වය අරගෙන!”

චෙකෝව්ගේ පොත උස්සා ගෙන සිටි කීරා අතින් එය බිමට ලිස්සා ඇද වැටුණි. “ඔහු … මොකක්?”

“ඔහු පක්ෂ සාමාජිකත්වය අරගෙන. සියළු වෘත්තීය සමිති කොමියුනිස්ට් පක්ෂය. රතු තරුවක්, පක්ෂ සාමාජික පත්‍රයක්, පාන් සලාකයක්, ඒ එක්කම හලපු ලේ සේරම ගැවිච්ච එයාගෙ අත, ඉස්සහරට හලන ලේ සියල්ලත් එක්ක!”

“අරීනා! කොහොම ද…. කොහොම ද එයා සාමාජිකත්වය ගත්තෙ?”

වසිලි ඉවනොවිච් දිහා බලන්නට ඇය බිය වූවාය. තමන් ප්‍රශ්න ඇසිය නොයුතු බව ඇය දත්තාය. පිහි තලයකින් තුවාලයක් පාරන්නා සේ අහන ප්‍රශ්න ඇසිය නොයුතු බව දත්තාය. එහෙත් ඇයට අසා සිටිනු නොහැකිය.

“ඔහ්, බලාගෙන යනකොට එයා ඒක කාලයක් තිස්සෙ සැලසුම් කරලා. යාළුවෝ හදාගෙන ඉඳලා. ප්‍රවේසමෙන් හා හොයලා බලලා එකතු කරගත්ත පිරිසක්. මාස ගණනාවක් සිට සාමාජිකත්වය අපේක්ෂාවෙන් ඉඳලා තියෙන්නෙ. අපි දැනගෙන හිටියෙ නැහැ. එතකොට ඒක ලැබිල. ඔහ්, එයාගෙ කම්කරු පාර්ශවීය බව ගැන එයා වෙනුවෙන් සහතික කරන පිරිසක් හො‍යාගෙන සිටිය නිසා. එයාගෙ තාත්තා සාර්ට ලොම් විකුණුවාට කිසි ප්‍රශ්නයක් නැහැ!”

“ඔහු දැනගෙන සිටියා ද… මේ ශුද්ධ කිරීම ගැන, මම කියන්නෙ… මේක එනවා කියලා?”

“ඔහ්, පිස්සු කතා කියනවා ද? ඒක නෙමෙයි. එයා ඒක ගැන කළින් දැනගෙන හිටියෙ නැහැ. එයාගෙ බලාපොරොත්තුව විද්‍යායතනයේ තැන තියාගෙන ඉන්නවාට වඩා ඉහළ තැනක්. ඔහ්, මගේ වික්ටර් සහෝදරයා අතිදක්ෂ තරුණයෙක්. එයාට ඉහළට යන්න ඕන. එයා දන්නවා පය තියන්න ඕන පඩි මොනවා ද කියල.”

“මදැයි,” කීරා සිනා වෙන්නට උත්සාහයක් ගත්තාය. වසිලි ඉවොනොවිච් වෙනුවෙන් යමක් කියන්නට උත්සාහ කළාය. ඔහු දිහා නොබලා ඇය මෙසේ කීවාය. “ඒක වික්ටර්ගෙ වැඩක්. එයා දන්නවා එයාට මොනවා ද ඕන කියල. එයා තාම … එයා තාම මෙහෙ වාසය කරනවා ද?”

“මට බාර නම් ඒක… ඔහු …,” ඇය තමා කියන්න කුමක් දැයි සලකා බැලුවාය, “ඔව්, ඒ ඌරා තාම මෙහෙ.”

“අරීනා,” වසිලි ඉවානොවිච් විඩාබර හඬකින් පැවසීය, “ඔහු ඔබේ සහෝදරයා.”

කීරා මාතෘකාව වෙනස් කළාය. ඒත් කතාබහක් ගෙනයාම පහසු නැත. පැය භාගයකින් පසුව, වික්ටර් ගෙදර ආවේය. ඔහුගේ බැල්මේ තිබි අභිමානය සහ කබා කොළරයේ වූ රතු තරුව පැහැදිලිව පෙනුනි.

“වික්ටර්,” කීරා කීවාය. “මට ඇහුණා ඔබ දැන් හොඳ කොමියුනිස්ට්කාරයෙක් කියලා.”

“මට සියළු වෘත්තීය කොමියුනිස්ට් පක්ෂයට බැ‍ඳෙන්න වරම් ලැබුණ.” වික්ටර් උත්තර දුන්නේය. “මම පැහැදිලිව කියන්නම්, පක්ෂය සුළුවෙන් සලකන්න එපා කියල.”

“ඔහ්,” කීරා කීවාය, “මට පැහැදිලියි.”

එහෙත් පිට වී යන ඇය වික්ටර් දිගු කල අත නොදැක්කාය.

දොර අසල දී අරීනා ඇයට රහසින් කොඳුරා මෙසේ කීවාය: “මුලින් මම හිතුවේ තාත්තා එයාව දොට්ට ඇදලා දාවි කියල. ඒත් … දැන් අම්මත් නැති නිසා …ඔක්කොම වෙච්ච දේ … ඔයා දන්නවානෙ ඔහු හැම තිස්සෙම වික්ටර් ගැන තමයි වැඩි ආඩම්බරෙන් හිටියේ … ඉතින් දැන් හිතනවා ඔහුගෙ මනස පුළුල් කරගන්න ඕන කියල. මම දන්නවා ඒක ඔහුගෙ අවසානයට හේතු වේවි… දෙයියන්ගේ නාමයෙන්, කීරා, නිතර ඇවිත් යන්න. ඔහු කැමතියි ඔබට.”
*

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. … දෙයියන්ගේ නාමයෙන්, කීරා, මම කැමතියි මේ කථාවට…

    ප්‍රතිචාර විසින් Nayana — අප්‍රේල් 21, 2011 @ 12:05 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: