Sinhala story Blog

අප්‍රේල් 11, 2011

අපි ජීවත්වන්නෝ -178 ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා

Filed under: Uncategorized — sinhalashortstories @ 6:09 ප.ව.

මාක්ස් සමාජය තම රැස්වීම් පැවැත්වූයේ ‘පිටිසරවැසියාගේ නිවසේ’ පුස්තකාලයේය.

එහි පුස්තකාලය එම බිල්ඩිමේ අනික් සියළු කාමර හා සමාන වුවත් එහි පෝස්ටර බෙහෙවින් තිබුන අතර පොත් අඩුවෙන් තිබුණි. තිබි පොත් රාක්කවල රැඳී තිබුණි. අනික් කාමරවල තිබුණා සේ, බෙදා හරින්නට යවන පොත් සේ උසින් උසට බිම ගොඩ ගසා නොතිබුණි.

හම්කබාය ඇති කෙල්ල සමාජයේ සභාපතිනියයි. ‘පිටිසරවැසියාගේ නිවසේ’ සේවකයෝ එහි සාමාජිකත්වයයි. සමාජයේ අරමුණ වූයේ ‘දේශපාලනය තමන් විසින් ඉගෙනීම’ සහ ‘‍ඵෛතිහාසික අරගලයේ දර්ශනය’ හැදෑරීමට ය. සතියකට දෙවතාවක් ඔවුන් හමුවෙති. තමන් ලියන ලද නිබන්ධනයක් සාමාජිකයෙක් කියවන අතර අනික් අය එකතු වී එය සාකච්ඡා කරති.

අද කීරාගේ වාරයයි. ඇය තමා ලියූ ‘මාක්ස්වාදය හා ලෙනින්වාදය’ ගැන කියැවීය.

“ලෙනින්වාදය යනු රුසියන් යථාර්ථයට හැඩ ගැසුණු මාක්ස්වාදයයි. කාල් මාක්ස්, කොමියුනිස්ට්වාදයේ පිතෘවරයා, විශ්වාස කළා ඉහළින් දියුණු වූ කාර්මිකරණය හා ඉහළ තලයක පංති සවිඥානය හඳුනන කම්කරුවෝ ඉන්නා රටක, සමාජවාදය යනු ධනවාදයේ තාර්කික ප්‍රතිඵලය බව. ඒත්, අපේ විශිෂ්ඨ නායකයා, ලෙනින් සහෝදරයා, ඔප්පු කළා …”

කීරා තම නිබන්ධනය කොපි කරගත්තේ, වචනයකුදු වෙනස් නොකර, ‘කොමියුනිස්ට්වාදයේ අ ආ’ පොතෙනි. ඒ පොත හැදෑරීම රටේ සෑම පාසැලකටම අනිවාර්ය වූවකි. තමන්ට සවන් දෙන සියල්ලෝම එය අසා ඇති බව ඇය දත්තීය. එසේම තමා කියවන්න ද, පහුගිය වසර හය පුරා, හැම පත්තරයක හැම කතුවැකියකින්ම, නැවත නැවතත් ඔවුන් කියවා ඇති බව ද ඇය දත්තීය. ඇය වටා ඔවුන් උරහිස් අකුලා ගෙන හිඳගෙන උන්හ. අඩපණ කකුල් ඉදිරියට දමාගෙන, කබායන් ඇතුලෙන් වෙව්ලමින් සිටියහ. ඇය මෙන්ම තමන් ද මෙහි පැමිණ ඉන්නේ එකම හේතුවක් නිසා බව ඔව්හු දත්හ. ඉඳහිටක ඈනුමක් අරිමින් හම්කබාය ඇඳ සිටි කෙල්ල මුලසුන දැරුවාය.

කීරා කතාව අවසන් කළ පසු, නිදිමත අත් වලින් කෙනෙක් දෙන්නෙක් අත්පුඩි ගැසූහ.

“කාට ද අවශ්‍ය ප්‍රතිචාර සපයන්න, සහෝදරවරුනි?” සභාපතිනිය විචාර කළාය.
තරුණ කෙල්ලක්, රවුම්ම රවුම් මුහුණකින් හා අනාථ අසරණ වූ දෑසින්, ඇයගේ ක්‍රියාකාරී උනන්දුව විදහා පාමින්, සමහර අකුරු වැරදියට උච්චාරණය කරන හැදියාවෙන් යුතුව මෙසේ කීවාය. “මම හිතනවා ඒක හරි සුන්දර නිබන්ධයක් කියල. ඒ වගේම හරි වටිනා නිබන්ධනයක්, කරුණු කියා දෙන්නක්, මොකද ඒක හරි ලස්සනයි, සහ පැහැදිලියි, සහ විස්තර කළා වටිනා නව මතයක්.”

ක්ෂයරෝගී වු බුද්ධිමත් තරුණයෙක්, නිල් පැහැ ගත් ඇසි පිය ඇති, අඬු නැති කණ්ණාඩි පැළඳ ගත්, විද්‍යාඥයෙකුගේ වෘත්තීය විලාසයෙන් මෙසේ කීවේය. “මම මේ විචාරය කරනවා, ආර්ගුනෝවා පුරවැසියෙනි, ඔබ ලෙනින් පිටිසරවැසියන් සඳහා කම්කරු ශ්‍රමිකයන් හා සමානව තැනක් දෙනකොට, ඔහු අදහස් කළේ පිටිසර වූ දුප්පත් වැසියන් බව පැහැදිලි කරන්න ඕන. මොකද හැමෝම දන්න කාරණයක් තමයි ගම්මාන වල ධනවත් පිටිසරවැසියන් ද ඉන්න බව. එයාල ලෙනින් විරෝධී බව.”

තම කතාව සඳහා තමන් විසින් වාදයට යා යුතු බව කීරා දත්තීය. ක්ෂයරෝගී තරුණයාට වාද කර ඔහුගෙ ක්‍රියාකාරිත්වය පෙන්විය යුතු වූ බව ඇය දත්තීය. ඔහුට සංවාදය ගැන ඇයට වඩා උනන්දුවක් නැති බව ඇය දත්තීය. ඔහුගේ නිල්පැහැ ගත් ඇස් පිය නින්ද නොමැති විඩාව නිසා බව ඇය දත්තීය. අත් ඔරලෝසුව දිහා බලන්නට බියෙන්, තමා වෙනුවෙන් ගෙදර ඇති පහසුකම් ගැන සිත දුවන්නට ඉඩ නොදී, ඔහුගේ සිහින් ඇඟිලි ඔහු එකිනෙකට බැඳ ඉන්නේ නොසන්සුන් නිසා බව ඇය දත්තීය.

ඇය කිසිත් ආවේගයක් නැතිව මෙසේ කීවාය. “ලෙනින් සහෝදරයාගේ මතවාදය ගැන කියද්දී මම පිටිසරවැසියන් හා එකට සිටින ශ්‍රමිකයන් ගැන සඳහන් කරද්දී, එය ගත යුත්තේ අනිවාර්යෙන්ම මම දුප්පත් පිටිසරවැසියන් ගැන කියනවා හැටියට. වෙන කිසිවෙකුට කොමියුනිස්ට්වාදයේ ඉඩක් නැහැ.”

තරුණයා නිදිමතෙන් මෙසේ කීවේය. “ඔව්, ඒත්, මම හිතනවා අපි විද්‍යාත්මක ක්‍රමය අනුව කියන්න ඕන: දුප්පත් පිටිසරවැසියා කියල.”

“මම අන්තිමට අදහස් දැක් වූ අය හා එකඟ වෙනවා. නිබන්ධය නිවැරදි කරලා ලියන්න ඕන දුප්පත් පිටිසරවැසියා කියල. වෙන මොනවා හරි අදහස් තියනවා ද, සහෝදරවරුනි?” සභාපතිනිය කීවාය.

කිසිත් නොවීය.

“අපි හැමෝම ස්තූති කරමු ආර්ගුනෝවා සහෝදරියට එයාගෙ අගනා මෙහෙයට.” සභාපතිනිය කීවාය. “අපේ ඊ ළඟ රැස්වීම අපි වෙන් කරනවා ලෙස්කොව් සහෝදරයා ලියන “මාක්ස්වාදය සහ සමූහවාදය” ගැන නිබන්ධනය සඳහා. මේ රැස්වීම දැන් අවසන් බව ප්‍රකාශ කරනවා.”

තිගැස්සීමෙන් හා ඇදෙන පුටු හඬින් ඔවුන් පුස්තකාලයෙන් පිටත් ව ගියහ. අඳුරු තරප්පු පෙළෙන් පහළට ගියහ. අඳුරු වීදි වලට පිවිසියහ. ඔවුන් තම යුතුකම් ඉටු කර ඇත. සැන්දෑව, -සැන්දෑවෙන් ඉතිරියක් ඇත්නම්- දැන් එය ඔවුන්ගේ ය.

කීරා වේගයෙන් පියවර තැබුවාය. තම පියවර වලට සවන් දෙමින් ඇවිද්දා ය. ඊට සවන් දුන්නේ වෙනත් කිසිවක් ගැන නොසිතා ය. ඇයට දැන් සිතන්නට ඉඩකඩ ලැබී ඇත. එහෙත් මේ තරම් දිගු පැය ගණනාවක් සිතන්නට මහත් උත්සාහයකින් ඉඩ නොදී අවහිර කරගත් සිත, සිතන්න‍ට එපා, සිතන්නට එපා යැයි මතක තියාගන්නට වෙහෙසුනු සිත දැන් අවදි කර ගැනීම අපහසු ය. සිතුවිලි ගලා එන්නට අදිමදි ය. තම පියවර වේගයෙන්, ස්ථිරව, නියතව වදිනා බව ඇය දත්තීය. එහි ශක්තිය සහ එහි බලාපොරොත්තු ඉහළට නැඟ සිරුර කරා එන තෙක්, එය හදවත කරා එන තෙක්, එය නළල දෙදරවන්නට වදින තෙක්, ඇය පියවර තැබුවාය. ඇය හිස පිටුපසට දැම්මාය. පසු ආකාර පිහිනන සේ, ගිමන් නිවනා සේ, පැහැදිලි කළු අහසක් හමුවේ, නැහැය අගින් තරු දකිද්දී, තරු එළියේ පියස්සන් මතින් දිස්වෙන අපවිත්රර හිම ඇය දැක්කේ සුදු හිම පිරි නැවුම් කඳු යායක් සේ ය.

තිගැස්සී ඉදිරියට ඇදි ඇය, තියුණු බරින් අඩු සංචලනයකින් කීරා ආර්ගුනෝවාගේ ශරීරයෙන් තමාට රහසින් කතා කළාය. පසුගිය මාස දෙකේ වැඩිපුර ඇය තමාටම කතා කරගත් විලසින් කියා ගත්තාය: “ඉතින්, ඒක යුද්ධයක්. ඒක යුද්ධයක්. ඔයා අත හරින්නෙ නැහැ නේද කීරා? ඒක අවදානම් නැහැ ඔයා අතහරින්නේ නැති තෙක්. ඔයා සොල්දාදුවෙක් කීරා. ඔයා ඒ නිසා අතහරින්නේ නැහැ. දුෂ්කර වැඩි වෙන්න වෙන්න ඔයා වැඩියෙන් සතුටු වෙන්න ඕන, ඔයාට දරා ගන්න පුළුවන් කියල. ඒකයි කරන්න ඕන. දුෂ්කර වැඩි වෙන්න වෙන්න වැඩියෙන් සතුටු වෙන්න ඕන. ඒක යුද්ධයක්. ඒ වගේම ඔයා හොඳ සොල්දාදුවෙක්, කීරා ආර්ගුනෝවා.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: