Sinhala story Blog

අප්‍රේල් 10, 2011

අපි ජීවත්වන්නෝ -177 එපා මෙතන දී මාව ඉඹින්න

Filed under: Uncategorized — sinhalashortstories @ 10:29 පෙ.ව.

ඇය තම කම්මුලෙන් ඔහුගේ හිසකෙස් වලට තට්ටු කළාය. ඇයගේ දෑත් අර්තපල් අල සුද්ද කර ඇලෙන සුළු ගතියෙන් විය. “සහතිකයෙන් ම … දයාබර .. ගිහින් පොඩ්ඩක් ඇලවෙලා මහන්සි අරින්න යන්නෙ නැත්තෙ ඇයි? රෑ කෑම තව ටිකක් පරක්කු වෙයි.”

“ඇයි ඔයාට උදව් කරන්න මට ඉඩ දෙන්නෙ නැත්තෙ?”

“දැන් ඒ වාදය අපි ගොඩක් ඉස්සර නේද ඉවර කරලා දැම්මෙ?”

ඔහු ඇය වෙතට නැවුනේය. ඇයගේ නිකට අතින් අල්ලා ඉස්සුවේය. ඇය ගත කිළිපොලා ගියේය. “එපා, ලියෝ. එපා … මෙතන දී මාව …ඉඹින්න.” ඇය තම කිළිටි දෑත් ප්‍රයිමසයට උඩින් අල්ලා සිටියාය.

ඔහු ඇයව සිප ගත්තේ නැත. මුවේ කොණක සෙලවුණු දොම්නස රැඳි කුඩා සිනහවකින් තමා අවබෝධ ලද බව කියා පෑවේය. ඔහු ඇඳ වෙත පා නඟා එයට ඇද වැටුනේ ය.

ඔහු හිස ඉහළට ඔසවා ගෙන, අතක් ඇඳෙන් පහතට වැටෙන්න හැර කොතරම් නිශ්චලව සිටියා ද කියතොත් ඇයගේ සිත චංචල කළේය. ඉඳහිට වරක් ඇය සුමුදු හඬින් “ලියෝ” කියා ආමන්ත්‍රණය කළේ ඔහු දෑස් අරිනවා දකින්නට ය. එවිට තමා ඔහුට කතා නොකළා නම් හොඳ යැයි ඇයට සිතිණ. ඇස් ඇරගෙන, තමා දෙස එක එල්ලේ බලාගෙන ඔහු සිටිනවාට ඇය කැමති නොවූවාය. තමා අකැමති ආකාරයකින් ඔහු තමාව දකිනු නොහැකි වන්නට දොර වසා දමන්නට හුරු වී සිටි ඇය අද ඔහු ඉදිරියේ හිටගෙන, ප්‍රයිමසය වෙත නැඹුරුව සිටින්නී ය. භූමිතෙල් ගන්ධය හා ළූණු සුවඳ මිශ්‍ර වී ඇත. ඇයගේ දෑත් මඩ වලින් ලිස්සයි. පව්ඩර් නොමැති දිළිසෙන නැහැයක් උඩින් වැටුණු ඇලවෙන කෙස් රොදකි. සුදු මුහුණක ඇයගේ නාස් පුඩු හා ඇස් රතු පැහැති ය. සෝදන්නට ඉඩක් නොලැබුණු කිළිටි ඒප්‍රනය යටින් ඇයගේ විඩාබර ගත කඩා වැටෙයි. ඇයගේ සංචලනය බරින් යුතුය. වැනි වැනී ය. මාංශ පිඬු තියුණු ලෙසින් කරන හැසිරවීම නොව සෙමෙන් වූ හැලෙන අත් පයෙන් යුතුය. ඒ සියල්ල පාලනය කරගත නොහැකි විඩාවෙන් යුතු වූවකි.

රාත්‍රී ආහාරය සූදානම් වූ පසු ඔවුන් දෙදෙන මේසයේ එකිනෙකා ඉදිරියෙන් අසුන් ගත්හ. ඔහු දැක්කේ ඇයගේ දුම් නිසා ඉදිමුණ ඇස් ය. වසන් කරගත නොහැකි ‍උත්සාහයෙන් සිනාවක් ඇඳුනු සුදුමැලි මුහුණකි. ඔහු ඉදිරියේ තාරුණ්‍යයෙන්, කෙළින්, ජවයකින් යුතුව සිටීමට උවමනා වූ ඇයට එසේ නොමැතිව මෙසේ සිටීමට සිදුවීම පුරුද්දක් බවට නොවේවා යැයි ඇය වේදනාවෙන් පැතුවාය.

ඔවුනට රාත්‍රී ආහාරය සඳහා මෙනේරි, අර්තාපල් හා ලයිනෝරු තෙල් වලින් බැදගත් ළූණු තිබිණ. ඇයගේ බඩගින්න කොතරම් දරුණු වූවා ද යත් ඇයගේ අත් උස්සන්නට බැරි තරම් කඩා වැටී ඇත. ඒත් ඇයට මෙනේරි අල්ලන්නට සිත් දුන්නේ නැත. පාලනය කරගත නොහැකි අප්පිරියාවක් ඇයට දැනිණ. මේ තම ජීවිතය පුරා ම කෑවා මෙන් දැනෙන අපුල කෑම තවත් අහුරක් කනවාට වඩා සාගතයෙන් මැරී යනවා නම් හොඳ යැයි ඇයට සිතුණි. ලෝකයේ කොහේ හෝ තැනක, කටේ දා ගන්නා හැම අහුරකින්ම අපුල බවක් නොවිඳ කන අයෙක් සිටිනවා දැයි ඇයට සිතුවාය. බිත්තර, බටර්, සීනි, යනු අති උදාර සංකල්පයන් පමණක් නොවන, සන්තාපයෙන් යුතු දැඩි ආශාවකින් පතන, කවදාවත් නොලැබෙන දෑ පමණක් නොවන තැනක් ලෝකයේ කොහේ හෝ ඇත්දැයි ඇය සිතුවාය.

සීතල වතුරෙන් ඇය පිඟන් සේදුවාය. තෙල් වතුරට උඩින් සාස්පානේ මතුවිය. ඇය ලොම් සපත්තු දා ගත්තා ය. “මම එළියට යන්න වෙලා, ලියෝ,” ඇය කීවේ සිත් පිත් නැති ස්වරයකිනි. “අද තමයි මාක්ස් සමාජය හමුවන රාත්‍රිය. සමාජ ක්‍රියාකාරකම්, ඔබ දන්නවානෙ.”

ඔහු කිසිත් කීවේ නැත. ඇය පිටත් වී යද්දී ඔහු ඇය දෙස බැලුවේ නැත.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: