Sinhala story Blog

අප්‍රේල් 5, 2011

අපි ජීවත්වන්නෝ -173 මොකක් ද මම නොකරපු දෙය

Filed under: Uncategorized — sinhalashortstories @ 9:59 පෙ.ව.

ඇය නිශ්චලව සිටගෙන තම හදවත ගැහෙනා රිද්මයට සවන් දුන්නා ය.

බිත්ති පුවත්පත දිගු කරන බලවත් ඇඟිල්ල නොතකන්නට කිසිවකුටත් නොහැකිය. හැමෝම එය බැලුවේ නොසන්සුන් සිත් වලිනි. සුපරීක්ෂාකාරීවය. නීනා සහ ටීනා ඇතුළු වොරනොව් සහෝදරයා දක්වා එහි අණට හිස නමන්නට සැවොම හුරු වූහ. සමාජ හැසිරීම කියා පාන හඬ බිත්ති පුවත්පත ය. ‘සමාජ විරුද්ධවාදී අදහස්’ ඇත්තෙකු යැයි හංවඩු ගැසි අයෙක් ව බේරා ගන්නට කිසිවකුටත් නොහැකිය. අන්ද්‍රෙ ටැගනොව්ට පවා නොහැකිය. කාර්යාල සේවකයන් අඩු කරන බවට කතාවක් පැතිර ඇත. කීරාගේ ඇඟ සීතල වී ගියේය. පසුගිය රාත්‍රියේ ලියෝට මෙනේරි හැර වෙන කන්නට කිසිවක් නොතිබි බව ගැන ඇය සිතුවාය. ලියෝගේ කැස්ස ගැන ඇය සිතුවාය.

තම මේසය අසල සිට කාමරයේ වූ අනිත් අය දිහා ඇය බැලුවාය. තමාව බිත්ති පුවත්පතට වාර්තා කළේ කවුරුන් ද ඒ ඇයි දැයි කියා කල්පනා කළාය. ඇය මෙතෙක් කාලයක් හැසිරුනේ ඉතා ප්‍රවේසමෙනි. සෝවියට් අයට විරුද්ධ කිසි විවේචනයක් නොකරන්නට ඇය වගබලා ගෙන තිබුණි. බිතියුක් සහෝදරිය තරමට තමාත් රැකියාව ගැන උනන්දුවෙන් වැඩ කරන්නට වෙහෙස වුවාය. නැත‍හොත් ඒ හා උනන්දුවකින් වැඩ කරනා බව පෙන්වන්නට බිතියුක් සහෝදරිය ඒ ආකාරයෙන් ම අනුගමනය කරන්නට පුරුදු වී සිටියාය. කිසි විටෙකත් වාද කරන්නට, කිපි වදනක් දොඩන්නට හෝ කිසිවෙක් තරහ කර නොගන්නට ඇය ප්‍රවේසමින් සිටියාය. කාල් මාක්ස්ගේ කෘති ගණන් කරමින් ඒ මත දුවනා ඇඟිලි අතරින් ඇය තමාටම බලාපොරොත්තු සුන් වී ගිය කලක මෙන්, කරකියා ගන්නට නොහැකි සේ මුමුණා ගත්තේ “මම තාමත් වෙනස් ද? මම තවමත් ඔවුන්ට වඩා වෙනස් ද? කොහොම ද ඔවුන් දන්නේ මම වෙනස් බව? මොකක් ද මම කරලා තියෙන්නෙ? මොකක් ද මම නොකරපු දෙය?”

බිතියුක් සහෝදරිය කාර්යාලයෙන් නික්ම ගිය විට, එය නිරතුරුව සිද්ධ වූවකි, වැඩ නැවතුණි. ටීනාගේ ටයිප් රයිටය අසලින් කාර්යාල සේවකයෝ රොක් වූහ. සමූපාකාරයෙන් බෙදන මුද්‍රිත කැලිකෝ රෙදි ගැන රහස් සාකච්ඡා පැවැත්විණ. ඒවායෙන් මසාගත හැකි ලස්සන බ්ලවුස් ගැන කතාබහ විණ. කළුකඩයක විකිණෙන සිහින් කපු කකුල් ආවරණ කොතරම් සිහින් දැයි කිවහොත් ඒවා සිල්ක් මෙන් යැයි කතාබහ විණ. ආදරවන්තයෝ ගැන කතා වුණි. විශේෂයෙන් ම ටීනාගේ ආදරවන්තයෝ ගැන. කාර්යාලයේ වඩාත්ම රූමතිය වූයේ ටීනා යැයි සැලකිණ. එමෙන් ම පිරිමින් හා වඩාත්ම සාර්ථකත්වයක් ලැබුවේ ද ටීනා යැයි සැලකිණ. ඇයගෙ කුඩා නැහැයේ කෙළවර සුදු පව්ඩර් පැල්ලමක් නැතිව සිටිනවා කිසිවෙක් දැක නැත. ඇය ඇස් පිහාටු කළු කරනවා යැයි කාර්යාලයේ අය සැක කළහ. වැඩ අවසන් කර ගෙදර යන ඇයව කැන්ඳා යන්නට විවිධ පිරිමි බලාගෙන ඉන්නවා දැකිය හැකි විය. හම්කබාය ඇඳි කෙල්ල, පක්ෂ සාමාජිකත්වය තිබි නිසා, සෑම සාකච්ඡාවකම අවසන් වචනය තීන්දු කරන්නිය බවට විවාදයකින් තොරව පත් වී සිටියාය. එහෙත් සෙනෙහස පිළිබඳ කතාබහේ දී ඇය ටීනා වෙත පළමු තැන පිරිනැමුවාය. අනිත් අයට වඩා තමා සුපිරි යැයි වූ පාච්චලයට ලක් කරන සිනහාවකින් යුතු වූවත් ටීනා කතා කරද්දී තම සැබෑ කුතුහලය ඇය සැඟවූයේ නැත.

“.. මිශ්කා දොරේ සීනුව ගැහැව්වා. එතන ඉවාෂ්කා යට ඇඳුම් වලින්. මට ඇහුන එලේනා මැක්සිම්නෝවා -එයා තමයි අනිත් කාමරේ ඉන්න කුලීකාරිය- මට ඇහෙනවා එලේනා මැක්සිම්නෝවා කියනවා: “ටීනා, මෙන්න ඔයාට අමුත්තෙක්,” ඉතින් හැරෙන්න කළින් මෙන්න මිශ්කා ඇවිදගෙන එනවා ඇතුලට. ඉවාෂ්කා තාම යට ඇඳුම් වලින්. දකින්න තිබුනෙ මිශ්කාගෙ මුහුණ. ඒක විකට වැඩසටහනකට වඩා අපූරුයි. මම ඉක්මණට හිතලා කිව්වා: “මිශ්කා ප්‍රියාදරයා, මේ ඉවාන්. අසල්වැසියා. එයා එලේනා මැක්සිම්නෝවා එක්ක ජීවත්වෙන්නෙ. එයාට ටිකක් ඇඟට අමාරුයි කිව්වා. ඉතින් මම කිව්වා එන්න ඇතුලට ඇවිත් ඇස්ප්‍රින් පෙත්තක් ගන්න කියලා. ඔයාල දකින්න තිබුනෙ ඉවාෂ්කාගෙ මුහුණ. ඉතින්, එලේනා මැක්සිම්නෝවා කියනවා ‘සහතිකයෙන්ම. එයා මාත් එක්ක ජීවත්වෙන්නෙ. එන්න මගේ කාමරයට ප්‍රියාදරය.’ කියල. ඉතින් ඔබ හිතන්නේ ඒ කුපාඩියා, ඉවාෂ්කා බැහැයි කිව්වා කියලා ද?”

පක්ෂ සාමාජිකයෙක් වූ තරුණයා ඔවුන්ගේ කතාබහට එකතු වූයේ නැත. ඔහු තම මේසය අසලින් මෑත් නොවීය. එහෙත් ඔවුන්ගේ කතාබහට ඔහු අවධානයෙන් සවන් දුන්නේය. ඉඳහිටක ඔහු “සහෝදර කාන්තාවෙනි! මට ඔට්ටු අල්ලන්න පුළුවන් ඔබලා කියන වදන් පක්ෂ සාමාජිකයෙකු වූ ශාන්ත පුරවැසියෙකුට අහන්න හොඳ නැති එව්වා බව.”

ඔවුන් කිචි බිචි ගා සිනහා වූහ. එය ප්‍රශස්තියක් සේ සලකා ඔහු වෙත හිතවත් බැල්ම එල්ල කළහ.

කීරා තම මේසය අසල වී තම වැඩපල කරගෙන ගියාය. ඇය සවන් දුන්නේ ද නැත. කාර්ය ගැන මිසක පිටස්තර දෙයක් ගැන ඇය කිසිවකු හා කතාබහ කළේ නැත. ඉඳහිටක ඇය වෙත එල්ල වූ බැල්ම එතරම් හිතවත් නොවීය.

සීතල හැඟුමකින් තම බුර්ජුවාසී පැවැත්ම එය වූයේ දැයි කීරා කල්පනා කළාය. ඇයට මේ රස්සාව අත්‍යාවශ්‍ය ය. මේ රස්සාව ලියෝට අවශ්‍ය ය. එය තබා ගැනීමට ඇය දැඩි සේ සිතා ගත්තා ය. එය තබාගත යුතුය.

ඇය නැඟිට කල්පනාකාරීව ටීනාගේ මේසය අසලට පිය නැඟුවාය. ඇයගේ පැමිණීම දැක කුඩා හවුල ඇය වෙත සීතල හා පුදුමයට පත් වූ බැල්ම එල්ල කළහ. නොනවත්වා තම රහස් කෙඳිරිලි කරගෙන ගියහ.

ඔවුන්ගේ කතාවේ ඉස්පාසුවක් ලැබෙන තුරු බලා සිටි ඇය හදිසියේ ම, වැදගත් බවකින් තොරව, හැකි තරම් වෑයමක් යොදා ව්‍යාජ උනන්දුවකින් තම නොසන්සුන් එකම ස්වරයකින් වූ හඬ අවදි කළාය: “විකට වැඩක් වුනා ඊයේ රෑ. මගේ සෙනෙහෙවන්තයා -එයා මාත් එක්ක රණ්ඩු ඇල්ලුවා … මොකද …මොකද එයා දැකලා මම තවත් මිනිහෙක් එක්ක ගෙදර එනවා. ඉතින් එයා … එයා … බෙරිහන් දුන්නා මහ හයියෙන්. මම එයාට කිව්වා ඒ පරණ තාලේ බුර්ජුවාසි අයිතියක් කියල. ඒත් එයා … ඉතින්, එයා මාත් එක්ක රණ්ඩු වුනා.”

උරහිස් තල අතරින් හැඳ සිටි බ්ලවුසය ‍දහදියෙන් තෙත් වී යනු ඇයට දැනින. ටීනාගේ ස්වරය මෙන් කවට විලාසයෙන් ගණනක් නැතිව උච්චාරණයට ඇය තැත් දරුවාය. එය මවා පාද්දී එය විශ්වාස කරන්නට උත්සාහයක් දැරුවාය. අනුන්ගේ ‍කුණු හොයන ඒ සුහද බවින් තොර ඇස් ඉදිරියේ අපූරු සෙනෙහෙවන්තයෙක් ගෙනහැර පෑමට සිතීම අමුතු ය. එසේම අරීනා විසින් නිර්වස්ත්‍ර දෙවියෙක් සේ ඇඳි ලියෝ ගැන සිතීම අසීරු ය.

“ … ඉතින් එයා මට හරියට කෑ මොර ගහලා බැන්න ..”

“අහ් .. හහ්.” නීනා කීවාය.

හම්කබාය හැඳි කෙල්ල කිසිවක් කීවේ නැත.

“කුට්ස්නෙට්ස්කි වෙළඳපොලේ,” ටීනා කීවාය, “මම දැකලා තියනවා එයාල තොල් ආලේපන විකුණනවා. රූපලාවන්‍ය පදනමේ නව සෝවියට් තොල් ආලේපන. ලාබයි. එකම දේ එයාල කියනවා ඒක පාවිච්චි කරන එක අවදානම් කියල. අශ්ව මේද වලින් හදලා තියෙන්නෙ. ඒ අශ්වයෝ හමේ රෝගයකින් මැරිල.”
*

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. ලස්සන කතාවක්…..

    ප්‍රතිචාර විසින් SIRI SANGABODHI-ශ්‍රි සංගබෝධි — අප්‍රේල් 5, 2011 @ 11:26 පෙ.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: