Sinhala story Blog

අප්‍රේල් 4, 2011

අපි ජීවත්වන්නෝ -172 අහංකාර බුර්ජුවාසී හැදියාව පෙන්වපු කාලය දැන් අවසන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:04 ප.ව.

දවසේ පැය ගණනාවක් පුරා, පාට දිය වී ගිය ගවුමෙන් හා කෙට්ටු සිරුරින් වූ කීරා ලිපිගොනු නිසි තැන්වල තැන්පත් කළාය.

ඒ ලිපිගොනු අතර ටයිප් රයිට‍රයෙන් ගැසූ ලිපි, සහතික, වාර්තා, කවුරුත් නැවත සොයා නොබලන අණ පත්‍රිකා විය. ඇය පොත් ගණන් කළාය. පේලි ගැසූ පොත්, කඳු සේ ඉහළට ගැසූ පොත්, මුද්‍රණාලයෙන් පිට වූ ගමන් ගෙනෙන ලද පොත් ඇඟිලි වල තීන්ත ගෑවෙද්දී ඇය ගණන් කළාය. රටේ සෑම පළාතකම වූ ‘පිටිසරවැසි සමාජ’ වෙත බෙදා හැරිය යුතු රතු පොත් හා සුදු කවර ගණන් කළාය: “කලම්පනය සඳහා ඔබට කළ හැකි දෑ”, “රතු පිටිසරවැසියා”, “වැඩ මේසය හා නඟුල”, “කොමියුනිස්ට්වාදයේ අ, ආ යන්න”, “ලෙනින් සහෝදරයා හා මාක්ස් සහෝදරයා”. දුරකතන ඇමතුම් ගණනාවක් ගලා ආවේය. “ස‍හෝදර” යැයි හා “පුරවැසියෙනි” යැයි හැඳින්විය යුතු මහත් පිරිසක් ඇවිත් ගියහ. “එහෙමයි, සහෝදර‍යා ඔබ ඔබගේ කලම්පන කොටස කරන්නෙ,” සහ “සහෝදරයා, කම්කරු ප්‍රගතිය සඳහා අවශ්‍යයයි …” යනාදී වගන්ති බිතියුක් සහෝදරිය අනුගමනය කරමින් නැවත නැවත නිසියාකාරව කරකවන ලද ග්‍රැමෆෝනයක් සේ කාර්මික ස්වරයකින් කියන්නට සිද්ධ වුණි.

සමහර අවස්ථාවක පිටිසරවැසි සහෝදරයෙක් කර්යාලයට ගොඩ වැදිණ. ඔහු වැඩ කරන තැන් වෙන් කරන තීන්ත නොගෑ ලීයක් පිටුපස සිටගෙන, තමන්ගේ ලොම් කැප් තොප්පිය අතේ ගුලි කරමින්, අනික් අතින් හිස කසමින්, සෙමෙන් ඔළුව වනමින්, වික්ෂිප්ත වූ ඇස් වලින් කීරා දිහා බලා අන්දුන් කුන්දුන් වී සිටියි. “… අපි ඔබගේ කණ්ඩායමේ සහෝදරයන් වෙනුවෙන් සැලසුම් කරලා තියෙනවා හේමන්ත මාලිගය බලන්න යන්න චාරිකාවක්. සාර් රජ්ජුරුවෝ ජීවත් වුනේ කොහොම ද කියලා දැනගන්න. පහසු දශ්‍ය පාඩමක්, පංති කෲරත්වය ඉගෙන ගන්න. ඊ ළඟට …”

“අර ධාන්‍ය හිඟය ගැන, සහෝදරිය …” පිටිසරවැසියා තම රන්වන් පැහැති රැවුල අස්සෙන් කොඳුරයි.

“ඊ ළඟට, චාරිකාවට පස්සෙ, අපි විශේෂ දේශනයක් සූදානම් කරලා තියෙන්නෙ ඔබට ‘ධනවාදයේ අවසන් දිනය’ ගැන.”

පිටිසරවැසි සහෝදරයා පිටත් ව ගිය කල, නීනා හෝ ටීනා ඔහු හිටගෙන සිටි ස්ථානය අවට ලී වැට සෝදිසියෙන් පරීක්ෂා කර බැලූහ. වරක් නීනා යමක් තම නියපොත්තෙන් ගලවනවා කීරා දුටුවාය.

අද උදෑසන, කාර්යාලය කරා ඇවිද ගිය කීරා තරප්පු පෙළේ අතරමැද නැවතී බිත්ති පුවත්පත කියැවූවාය. අනිත් සෑම ආයතනයක් සේ ම ‘පිටිසරවැසියාගේ නිවස’ ද කාර්යාල සේවකයන් විසින් ලියන ලද, පළාත් කොමියුනිස්ට් බිලය විසින් අනුමත කරන ලද බිත්ති පුවත්පතකින් යුතු විය. එය වූයේ සෑම සහෝදරයෙකුට හා සහෝදරියකටම කියවිය හැකි ස්ථානයක අලවා ය. බිත්ති පුවත්පතේ අභිප්‍රාය “සමාජ ස්ප්‍රීතුව උත්තේජනය කරනු සඳහා මෙන් ම සාමූහික ක්‍රියාවලියේ සවිඥානය වඩවනු සඳහා ය.” ඒවා වෙන්වූයේ “සමාජීය වැදගත්කමින් යුතු පළාතේ ප්‍රවෘත්ති සහ වැඩදායී කම්කරු විවේචනය සඳහා” ය.

‘පිටිසරවැසියාගේ නිවසේ’ බිත්ති පුවත්පත හතරැස් මීටරයක ප්‍රමාණයෙන් යුතු, ටයිප් රයිටරයකින් ලියන ලද කඩදාසි කෑලි අලවන ලද කළු ලෑල්ලක රතු හා නිල් පැන්සල් වලින් සිරස්තල ලියන ලද්දකි. “කලම්පනය සඳහා මෙහි ඉන්නා අපි සෑම සහෝදර සහෝදරියක්ම කළ යුතු දෑ” නමින් වැඩියෙන් කැපී පෙනුන කතුවර තීරයක් ද විය. “විදේශීය අධිරාජ්‍යවාදයේ බඩ හිල් කරන හැටි” නමින් වූ හාස්‍ය ජනක ලිපියක් විය. පළාතේ කලාකරුවෙක් ලියන ලද “මහන්සි වී වැඩ කරන රිද්මය” නමින් වූ ගද්‍ය රචනාවක් විය. පළාතේ කලාකරුවෙක් අඳින ලද කාටූනයක් විය. එහි උස සිල්ක් තොප්පියක් පැළඳ ගත් තරබාරු මිනිසෙක් වැසිකිළියක වාඩි වී සිටියි. වැඩදායී කම්කරු විවේචනය සඳහා ලිපි සමූහයක් විය.

“නාඩියා චෙර්නෝවා සහෝදරිය සිල්ක් කකුල් ආවරණ පැළඳ සිටින්නීය. එවැනි සුඛෝපභෝගීතාවයන් ප්‍රදර්ශනය කිරීම කම්කරු හැදියාව නොවේ, චෙර්නෝවා සහෝදරිය.”

“ඉහළ තනතුරක ඉන්නා එක සහෝදරයෙක් තම තනතුර ඔළුවට අරන් වැඩි ය. කොම්සොමොල් හි තරුණ සාමාජිකයන්ට කෙටි හා අවිනීත ලෙසින් ඔහු අමතන බව දැනගන්නට ලැබී ඇත. මෙය දැනුම්දීමකි, ….. සහෝදරයා, කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව අඩු කරන තීරණය ගන්නා විට ලොකු ඔළු ඇති අය බොහොමයක් වැටුණු බව අමතක නොකරන්න.”

“වැඩ කටයුතු ගැන කතාබහේ දී ඊ. ඔව්සොව් සහෝදරයා පමණට වඩා වැඩියෙන් කතා කරයි. අගනා කාලය කා දමන අතර මේ හැදියාව කම්කරු ඵලදායික බවේ ජවය හා එකඟ නැත.”

“යම් සහෝදරයෙක්, හැමෝම දන්නා අයෙක්, වැසිකිලියෙන් පිට වී යද්දී ලයිට් බල්බය නිවා නොදමයි. විදුලි බලය සෝවියට් දේශයට වියදමකි, සහෝදරයානෙණි.”

“අපිට ඇහෙනවා, කීරා ආර්ගුනෝවා සහෝදරිය සමාජ සුබ සාධනය ගැන නොතකන බව. අහංකාර බුර්ජුවාසී හැදියාව පෙන්වපු කාලය දැන් අවසන්, සහෝදරිය.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: