Sinhala story Blog

අප්‍රේල් 1, 2011

අපි ජීවත්වන්නෝ -170 සෝවියට් කෙල්ලන්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:55 පෙ.ව.

‘පිටිසරවැසියාගේ නිවස’ ඉහත කලක දී කාටදෝ අයිති වූ මන්දිරයක ලැගුම් ගෙන ඇත.

ලෝකඩ අත්වැටකින් යුතු රෝස පැහැති ගරුඬ පාෂාණයෙන් යුත් තරප්පු පෙළක් එහි විය. පැහැයෙන් යුතු වීදුරු වලින් නිමි ‍විසාල ජනෙල් පියන්වල දම්පාට මිදි පොකුරු හා රෝස පැහැති පීච් ගෙඩි රත්තරන් සමෘද්ධිශෘඞ්ගයෙන් එළියට පෙරලී එන සේ පෙනෙයි. පඩිපෙළ උඩින් දැන්වීමක් ගසා ඇත: සහෝදරවරුනි! පොළවට කෙළ නොගසන්න.

තවත් අඩයාළම් තිබුණි: කඩදාසි තලපයෙන් හැදි දොයිරාදු කරන ලද දැවැන්ත දෑ කැත්තක් හා මිටියක්; තිරිඟු මිටියක් හා පිටිසර කාන්තාවක් රැගත් පෝස්ටරයක්; තිරිඟු මිටි, රත්තරන් තිරිඟු මිටි, කොළ තිරිඟු මිටි, රතු තිරිඟු මිටි රැගත් පෝස්ටර; ලෙනින්ගේ පින්තූරයක්; පිටිසරවැසියෙක් සපත්තුවකින් මිරිකා දමන මකුළුවාගෙ හිස පූජකවරයෙක් වන පින්තූරයක්; ට්‍රොට්ස්කිගේ පින්තූරයක්; පිටිසරවැසියෙක් හා රතු ට්‍රැක්ටරයක පින්තූරයක්; කාල් මාක්ස්ගෙ පින්තූරයක්; “ලෝක කම්කරුවනි, එක්වෙයව්!” “වෙහෙස නොවෙන්නාට කන්න නොලැබේ!” “ශ්‍රමිකයා හා දුප්පත් පිටිසරවැසියා කරන පාලනයට දීර්ඝායුෂ වේවා!” “පිටිසරවැසි සහෝදරවරුනි, ඔබ අතර සම්පත් හංගාගෙන ඉන්නා අය තලා දමන්න!”

පුවත්පත් හා පෝස්ටර මඟින් කෑ මුර දී අළුත් මෙහෙයුමක් දියත් කර ඇත. ඒ “ශ්‍රමික හා පිටිසරවැසියන් අතර වඩා ළං වූ අවබෝධයක් ඇති කර ගැනීම” සඳහා ය. “නගර අදහස් පිටිසරයේ වැඩියෙන් පතුරුවා හරින වෑයමකි.” ඒ මෙහෙයුම නගරය හා ගම කලම්ප ගහන්නට උත්සාහයකි. මේ කලම්ප ගහන වෑයම වෙ‍නුවෙන් ‘පිටිසරවැසියාගේ නිවස’ කැප වී සිටියි. ශ්‍රමිකයන් හා පිටිසරවැසියන් අතට අත දෙන පෝස්ටර තිබුණි; ශ්‍රමිකයෙක් හා පිටිසර කාන්තාවක්, එමෙන්ම පිටිසරවැසියෙක් හා ශ්‍රමික කාන්තාවක්. වැඩ කරන බංකුවක් හා නඟුලක්. දුම් ලෑලි හා තිරිඟු වගාබිම්. “අපේ අනාගතය නගර හා ගම්මාන කලම්ප කිරීම මත රඳා පවතී!” “සහෝදරවරුනි, කලම්පනය ශක්තිමත් කරනු!” “සහෝදරවරුනි, කලම්පනය සඳහා ඔබගේ කොටස ඉටු කරන්න!” “සහෝදරවරුනි, කලම්පනය සඳහා ඔබ කළ ඇත්තේ කුමක් ද?”

ඇතුල්වීමේ දොරටුව අසලින් පටන් ගෙන, තරප්පු පෙළ දිගේ, කාර්යාලය දක්වා පෝස්ටර පෙන මෙන් ඉහළට නැඟී ගියහ. කාර්යාලයේ අඹන ලද ගරුඬ කුළුණු සහ වැඩ කරන තැන් වෙන් කරන්නට තීන්ත නොගෑ ලී තිබුණි. එසේම, මේස, ලිපි ගොනු, කම්කරු නායකයන්ගේ පින්තූර හා ටයිප් රයිටරයක් විය. එසේම කාර්යාල කළමනාකරුවා වූ බිතියුක් සහෝදරිය, කාර්යාල සේවකයෝ පස් දෙනා අතර සිටි කීරා ආර්ගුනෝවා ද වූහ.

බිතියුක් සහෝදරිය කෙට්ටු, තඹවිට හිසකින් හා උස සිරුරකින් යුක්ත වූවාය. ඇය හමුදා නිලධාරී පැවතුමක් තිබියෙක් වූ අතර සෝවියට් ආණ්ඩුව හා තද විශ්වාසයකින් යුතු වූවාය. ජීවිතයේ ඇයගේ ප්‍රධාන අරමුණ වූයේ ඒ තද විශ්වාසය ඔප්පු කරනු සඳහා සාක්කි පෙන්වීම ය. ඇය කාන්තා විද්‍යාලයකින් උපාධි ලත්තියකි. ඇය ඔප දමන ලද රිදීයෙන් නිමැවුන ගැටයක පරණ තාලයේ ඔරලෝසුවක් පපුවේ පැළඳ සිටියාය.

ඇයගේ කාර්යාල සේවකයන් හතර දෙනා අතර දිගු නැහැයක් තිබි උස, හම්කබායක් ඇඳි කෙල්ලෙක් සිටියාය. ඇය පක්ෂ සාමාජිකාවකි. තම හිතුමතය අනුව සුළු කාරණයක් සඳහා ද බිතියුක් සහෝදරිය තැති ගන්වන්නට ඇය සමත් වූවා පමණක් නොව එය කළ හැකි යයි ද ඈ දැන සිටියාය. හමේ වර්ණය අයහපත් වූ තරුණයෙක් ද සිටියේය. ඔහු පක්ෂ සාමාජිකත්වය සඳහා අයැදුම් කර තිබිණ. ඒ සඳහා වරම් ලබන්නට බලා සිටින්නේ ය. ඒ ගැන හැකි හැම අවස්ථාවක දී ම සඳහන් කරන්නට ඔහු පසුබට නොවීය. ත‍රුණ කෙල්ලන් දෙදෙනෙක් වූහ. ඔවුන් රැකියාව කළේ වේතන අවශ්‍ය නිසා ය. ඔවුන් දෙදෙ‍නා නමින් නීනා හා ටීනා වූහ. නීනා අරුංගල් පැළඳ සිටියාය. ඇයගේ කාර්ය භාරය වූයේ දුරකතනයට පිළිතුරු දීම ය. ටීනා නැහැයට පව්ඩර් තවරා ටයිප් රයිටරය වෙත දුවන්නට පුරුදු වී සිටියාය. කවුරු කොහෙන් පටන් ගත්තා දැයි කිසිවකු නොදන්නා පුරුද්දක් රට පුරා පැතිර ගියේය. පක්ෂ සාමාජිකයෝ ද ඊට පුරුදු වී සිටි හෙයින් එය නවතන්නට නොහැකි ය. ඊට කවුරුත් වගකීමක් නොගත් නිසා දඬුවම් දෙන්නට ද කෙනෙක් නැත. එය වැඩ නොකරන හැම දෙයකටම ‘සෝවියට්’ යැයි හඳුන්වන පුරුද්දකි. ඇවිලෙන්නේ නැති ගිනිකූරු ‘සෝවියට් ගිනිකූරු’; පැළඳි මුල් දවසේ ම ඉරී යන ‘සෝවියට් ලේන්සු’; කාඩ්බෝඩ් අඩි සහිත ‘සෝවියට් සපත්තු’ ලෙසින් මෙම හුරුව පැතිර ගියේය. නීනා සහ ටීනා වැනි කෙල්ලන් හැඳින්වෙන්නට පටන් ගත්තේ ‘සෝවියට් කෙල්ලන්’ යනුවෙනි.

Advertisements

එක් ප්‍රතිචාරයක් »


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: